ආරක්‍ෂාව ඇලජික්‌ද?

0
778

ත්‍රස්‌තවාදය ගැන බොහෝදුර දැක “විමර්ශනශීලී අනාවැකි” පළ කරන විද්වතුන්, භික්‍ෂූන් වහන්සේලා, සිවිල් සමාජයේ ක්‍රියාකාරීන් බොහෝමයක්‌ දෙනා පසුගිය දවස්‌වල හංවඩු ගැහුණේ “සමාජයේ බිය වපුරන්නන්” හැටියටය.

එහෙත් ඒ කිසිවකුත් “පේන” කියන්නන් හෝ “නිමිති” බලන්නන් නොව, රටට විය හැකි දේ ගැන නිවැරදි අනතුරු හැඟවීම් කළ අයය. ත්‍රස්‌තවාදය අවසන් කළද බෙදුම්වාදය අවසන්ව නැති බවත්, ත්‍රස්‌තවාදයේ අළු යට ගිනි පුපුරු තවමත් ඇවිළිය හැකි මට්‌ටමින් පවත්නා බවටත් ඔවුන් අනතුරු හැඟවීම් කළේ බොහෝ කාලයකට පෙර සිටය. එදා එම අනතුරු ඇඟවීම් තුට්‌ටුවකට ගණන් නොගත් පිරිස අදද මුඛ පූට්‌ටු වී දඟලනු දක්‌නට ලැබේ.

“අබු සුරෙයියා සයිලානි” ගලේවෙලින් කටුනායකටත් එතැනින් සිරියාවටත් ගොස්‌ අයි.එස්‌.අයි.එස්‌. අන්තවාදී ත්‍රස්‌ත කණ්‌ඩායමට සම්බන්ධ වන තෙක්‌ම සයිලානිගේ අසල්වැසියන්ට තබා රටේ බුද්ධි අංශවලට පවා හසුනොවන්නේ “නැවත ත්‍රස්‌තවාදයක්‌ එන්නේ නැතැයි” පාරම්බෑ මෝඩයන්ට පිංසිදු වන්නටය.

“සයිලානි” අයි.එස්‌.අයි.එස්‌. අන්තවාදී ත්‍රස්‌තයන් සමග එක්‌වීම හුදකලා සිදුවීමක්‌ නොවන බව මුලින්ම කීවේ “දිවයින” කතුවැකියයි. අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තයන් සමග පමණක්‌ නොව තවත් ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් සමග සබඳතා ඇති තවත් බොහෝ පිරිසක්‌ සිටිය හැකි බවද අපි කීවෙමු. මේ වන විට එය සනාථ වන තොරතුරු ලැබේ. සයිලානිට සමීප තවත් පුද්ගලයන් කිහිපදෙනකු අයි.එස්‌.අයි.එස්‌. අන්තවාදී ම්ලේච්ඡයන් සමග එකතුව සිටින බවට අනාවරණය වේ. ඒ අතර “සුරෙයියා සයිලානිගේ” මස්‌සිනාද වේ. සයිලානිගේ මස්‌සිනා පමණක්‌ නොව බාප්පා, පුංචි අම්මා, නැන්දා, මාමා, ඥතී සහෝදරයන්, මිත්‍රයන් පවා අයි.එස්‌.අයි.එස්‌. අන්තවාදීන් සමග එක්‌වීම පුදුමයට පත්වීමට කරුණක්‌ නොවේ. ත්‍රස්‌තවාදයේ ස්‌වභාවය එබඳුය. අන්තවාදයේ ක්‍රමය එබඳුය. දන්නා කියන අය කලින්ම කීවේ එයයි. රට “මිලිටේරිකරණය” කරනවා යෑයි බෙරිහන් දුන් සමහර සිංහල සයිලානිලාට මෙය පෙනුණේ නැත.

ත්‍රස්‌තවාදයේ මුහුණුවර දැන් වෙනස්‌ ආකාරයක්‌ ගෙන තිබේ. ඒයට තුළ විවිධ රටවල මූලධර්මවාදීන්, අන්තවාදීන් ඉතා පහසුවෙන් සිය ජාලයට එක්‌කර ගැනීමේ හැකියාවක්‌ පවතී. ලෝකයේ බොහෝ රටවල් ත්‍රස්‌තවාදය පිටුදකින්නට බොහෝ ක්‍රමෝපායන් උපයෝගී කර ගනියි. බුද්ධි අංශ, ඔත්තු සේවා, හදිසි වැටලීම්, හමුදා මෙහෙයුම් ඒ අතර බහුලය. කිසිදු රටක්‌ එවැනි ආරක්‍ෂක තත්ත්වයක්‌ ප්‍රතික්‌ෂේප කරන්නේ නැත. ඇමරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ල කළ ප්‍රහාරය මතක ඇති කිසිවෙකුත් මිලිටේරිකරණය ප්‍රතික්‌ෂේප කරන්නේ නැත. ඉන්දියාවේ, පාකිස්‌තානයේ සිදුවූ ප්‍රහාර, බෝම්බ පිපිරීම් දුටු කිසිවකුත්, එවැනි ආරක්‍ෂක තත්ත්වයක්‌ ප්‍රතික්‌ෂේප කරන්නේ නැත. අයි.එස්‌.අයි.එස්‌. අන්තවාදීන් සිදුකළ කුරිරු ඝාතන දුටු කිසිවකුත් එවැනි ආරක්‍ෂක තත්ත්වයක්‌ ප්‍රතික්‌ෂේප කරන්නේ නැත. ත්‍රස්‌තවාදයේ කුරිරු බව ගැන ඕනෑවටත් වඩා හොඳින් අත්දැකීම් ඇති අපේ රටේ බොහෝ දෙනකුට ආරක්‍ෂාව “ඇලජික්‌” වීමේ ප්‍රති විපාක “සයිලානි” වර්ගයේ කණ්‌ඩායම් බිහිවීමයි.

ප්‍රභාකරන්ගේ කිට්‌ටුම සගයෙක්‌ යෑයි කියන කොටි සාමාජිකයකු ඉන්දියාවේ රාමේෂ්වරම්වලදී කොටුවන්නේ සයනයිඩ් කරල් තොගයක්‌ද සමගිනි. සයනයිඩ් කරලක ඇති විෂ ප්‍රමාණය එක්‌ මිනිසෙකුට සියදිවි නසා ගැනීමට ප්‍රමාණවත්ය. සයනයිඩ් තොගයක්‌ යනු තවත් කොටි සාමාජිකයන් සිටින බවට ඉඟියකි. “සයිලානි” සිරියාවේදී මිය යැම තවත් කොටි සාමාජිකයන් සිටින බවට ඉඟි පළවීම ආදිය අහඹු සිදුවීම් නොවේ. හිටි හැටියේ දෙමළ සන්ධානය ෙµඩරල් ඉල්ලීමද අහම්බයක්‌ නොවේ. මේ සියල්ල එකට ගැට ගැසුණු සිද්ධි දාමයක්‌ බව අපේ විශ්වාසයයි. ඒ නිසාම අයි.එස්‌.අයි.එස්‌. හෝ එල්ටීටීඊය පමණක්‌ නොව ලෝකයේ ඕනෑම මූලධර්මවාදී අන්තවාදයකට පැමිණ නැටිය හැකි පරිදි මේ රටේ පිටිය සැකසීම නවතා දැමිය යුතුය.

Source : Divaina