දෙමළ ජාතියේ ‘ද්‍රෝහියා’දෙමළ ජාතික සංධානයයි

0
746

– ආනන්ද සංගරී

ප්‍රභාකරන්ගේ තුවක්‌කුවේ බලයට එරෙහි වන්නට එදා කිසිවෙකුත් උත්සාහ කළේ නැත. එහෙත් ප්‍රභාකරන්ට ලිපි පහළොවක්‌ම ලියමින් ඔහුගේ කෲර පාලනය අභියෝගයට ලක්‌ කළ ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා ප්‍රභාකරන්ගේ වෙඩි උණ්‌ඩයෙන් බේරුණේය.

ඔහු ප්‍රභාකරන්ට බියෙන් හැංගුණේaද නැත. එල්. ටී. ටී. ඊ. යේ වැරදි ප්‍රතිපත්ති විවේචනය කිරීමෙන්ද නැවතුණේ නැත. මේ අරුම පුදුම දෙමළ දේශපාලන නායකයාව පසුගියදා මට වවුනියාවේදී හමුවිණි. ඔහු සමඟ කළ පිළිසඳරයි මේ.

ප්‍රශ්නය – ඔබ දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වුණේ ඇයි?

“නෑ මම දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වුණේ නෑ. ඒකෙ ඉන්න උම්මන්තක නායකයෝ ටික තමයි මාව අයින් කළේ. දෙමළ ජාතික සන්ධානය හදන්න මුල් වුණේ මමයි. චෙල්වනායගම් මියගිහින් අවුරුදු 26 ක්‌ පිරුණු දා තමයි අපි මේකට මුල පිරුවේ. ඒ කාලෙදි මාවෙයි සේනාධිරාජා වගේ අය කළේ වෙනම දේශපාලනයක්‌. ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ කියන්නේ මේ රටේ පරණම දේශපාලන පක්‍ෂයක්‌. ඉතිං ඒක මූලිකත්වයෙන් හදපු දෙමළ ජාතික සන්ධානයෙන් මට අයින් වෙන්න උවමනාවක්‌ නෑනේ. ඒ අය තමයි මාව අයින් කළේ.

ප්‍රශ්නය -ඔවුන් ඔබව ඉවත් කරන්න මොන වගේ තත්ත්වයක්‌ද බලපෑවේ

“ඒක වුණේ මෙහෙමයි. දෙමළ ජාතික සන්ධානය තියෙන අතරතුරේ මාවෙයි සේනාධිරාජා වන්නියට ගිහිං එල්. ටී. ටී. ඊ. නායකයෝ හම්බ වුණා. එයාලා කියන විදිහට අපි දේශපාලනය කරන්නම් කියලා පොරොන්දු වුණා එල්. ටී. ටී. ඊ. එකත් මේකේ වාසිය බැලුවා. මම ඒකට විරුද්ධ වුණා. අදටත් මම කියන්නෙ මම එල්. ටී. ටී. යට විරුද්ධ නැහැ. ඔවුන්ගේ ප්‍රතිපත්තිවලටයි විරුද්ධ. ඔවුන් හැම ප්‍රශ්නයක්‌ම විසඳන්න තුවක්‌කුව ඉස්‌සරහට දැම්ම ඒකටයි මම විරුද්ධ.

ඊට පස්‌සෙ මාවෙයි සේනාධිරාජා කළේ දෙමළ ජාතික සන්ධානයෙන් මාවත් මගෙ පක්‍ෂයත් අයින් කරලා දාලා එයාගේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‍ෂය දෙමළ ජාතික සන්ධානයට ඇතුල් කරගත්ත එක. මම ඒකටත් විරුද්ධ වුණා. සම්බන්ධන්ටත් කිව්වා ඒත් සම්බන්ධන්ලත් එල්. ටී. ටී. ඊ. එකම කිව්ව දේ ඇහුවා. අමිර්තලිංගම් වගේ නායකයෙක්‌ ඒ වෙලාවෙ හිටිය නම් මාවෙයි සේනාධිරාජාට පලයන් යන්න කියලා කනපැලෙන්න ගහලා පක්‍ෂයෙන් එලවනවා. ඒක මට විශ්වාසයි. අමිර්තලිංගම්ගේ මේ නොනැමුණු නායකකම හන්දා තමයි එල්. ටී. ටී. ඊ. ය එයාව මරල දැම්මෙ.

ප්‍රශ්නය – ඒ වගේ රුදුරු එල්. ටී. ටී. ඊ. සංවිධානයේ නායකයට ලියුම ලියන්න ඔබට බයක්‌ හිතුණෙ නැද්ද?

“ඇයි මම බයවෙන්නේ. ඒක මගෙ අයිතියක්‌ දෙමළ දේශපාලකයෙක්‌ විදිහට මට අයිතියක්‌ වගේම ඒකට බලයකුත් තියෙනවා. මම ලියුම් 15 ක්‌ම ලිව්වා. “ප්‍රභාකරන් තම්බි” කියලා තමයි මම ඒ ලියුම්වලින් ඔහුට ආමන්ත්‍රණය කළේ හැම ලියුමකම මම ලිව්වෙ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින එකම නායකයා ඔබනම් ඔය තුවක්‌කුවෙන් ප්‍රශ්න විසඳන එක නතර කරලා දේශපාලන ක්‍රමයකට එන්න කියලයි. ඕන නම් මේ මගේ පක්‍ෂයේ නායකකම හරි දෙන්නම් කිව්වා. ආණ්‌ඩුවක්‌ එක්‌ක කතා කරන්න ඕනනම් මම ඒකට මැදිහත් වෙන්නම් කිව්වා. එල්. ටී. ටී. ඊ. ය වැරදි තීන්දුවක්‌ තීරණයක්‌ ගත්ත හැම වෙලාවකම මම ප්‍රභාකරන් ලියුමක්‌ ලිව්වා.

ප්‍රශ්නය – ඉතිං ප්‍රභාකරන් මේ ලිපිවලට ඔබට පිළිතුරු එව්වද?

“නැහැ කවදාවත් මට උත්තර ලැබුණේ නෑ. ඒත් මට පසුකලෙක ආරංචි වුණා. මම ඉදිරිපත් කළ යෝජනාවටල ඔහු එකඟ වුණා කියලා. ඒවා ක්‍රියාත්මක කරන්න එයාට කවුරුවත් අනුග්‍රහය දැක්‌වූයේ නැහැ. ඇන්ටන් බාලසිංහම් පවා මගෙ යෝජනා අනුමත කළා. ඒත් දෙමළ ජාතික සන්ධානය ප්‍රභාකරන්ට කියලා තිබුණේ අපි දේශපාලන පැත්තෙන් වෙන්න ඕනදේ අපි බලාගන්නම්. ඔයා අනිත් පැත්ත බලාගන්න කියලා. මම ඒකටත් විරුද්ධ වුණා. ගොඩක්‌ අය මේ වෙලාවෙ මට කිව්වේ හැංගිලා ඉන්න ප්‍රභාකරන් ඔයාව මරයි කියලා. මේ නාකි මාව ප්‍රභාකරන් කවදාවත්ම මරන්නෙ නෑ කියලා මට විශ්වාසයක්‌ තිබුණා. මාව මැරුව නම් ප්‍රභාකරන් මැරුවෙ මම නෙමෙයි සමස්‌ත දෙමළ ජනතාවයි. අමිර්තලිංගම් මරපු එක ගැනත් ඔවුන් පස්‌සෙ දුක්‌ වුණා.

ප්‍රශ්නය – දෙමළ ජාතික සන්ධානය එල්. ටී. ටී. ඊ. සංවිධානයට මේ තරම් ගරු කළා නම් මේ මැතිවරණයට එල්. ටී. ටී. ඊ. යේ හිටපු සාමාජිකයන්ට දෙමළ ජාතික සන්ධානයෙන් තරග කරන්න අවස්‌ථාව දුන්නෙ නැත්තේ ඇයි?

“ඒක තමයි කුහකකම කියන්න. එක මැතිවරණයකදී මාවෙයි සේනාධිරාජා උදේ පැරදිලා හිටියේ දවල් වෙනකොට ඔහු දිනුවෙ එල්. ටී. ටී. ඊ. එකේ විඡ්ජාවකින්. ඒ විතරක්‌ නෙමෙයි දෙමළ ජාතික සන්ධානයේ හැමෝට ම උදව් කළේ එල්. ටී. ටී. ඊ. සංවිධානය දෙමළ ජනතා සන්ධානයට ජාත්‍යන්තරය දොර ඇරලා දුන්නේ එල්. ටී. ටී. ඊ. සංවිධානය එහෙම දරදිය ඇද්ද අයට තමයි අද දෙමළ ජාතික සන්ධානය, මේ විදිහට සලකන්නේ. මම ඒකට විරුද්ධයි. මොකද ඒ අය දැන් එල්. ටී. ටී. ඊ. සාමාජිකයෝ නොවෙයි.

ප්‍රශ්නය – ඉතිං එහෙම නම් ඔබට තිබුණනෙ ඒ අය වෙනුවෙන් අවස්‌ථාවක්‌ දෙන්න.

“ඒ අය මගෙන් එහෙම ඉල්ලුවෙ නෑ. ඒත් අවසාන මොහොතේ කීපදෙනෙක්‌ ඇවිත්a මට කතා කළා. මම මේ අයට අවස්‌ථා දුන්නා. ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ උතුරු නැගෙනහිර පළාත්වලට දුන්න නාමයෝජනා ලැයිස්‌තු අතරේ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයෝ ඉන්නවා. මම අවුරුදු තිහක්‌ විතර කිව්වේ ඒක තමයි. තුවක්‌කු විසිකරලා දාලා දේශපාලනයට එන්න කියලා. මේ වෙනකොට ඒක කොහොම හරි වෙලා තියෙනවා. අපි සතුටු වෙන්න ඕනි. අපි දැන් කරන්න ඕනේ ඒ අයව ආයේ යුද්ධයකට යන්න නොදී එයාලා කැමැති තැනකට යන්න පාර පෙන්නන්න. සම්බන්ධත් වගේම මාවෙයි සේනාධිරාජා නොකළෙත් ඒකම තමයි.

ප්‍රශ්නය(- දෙමළ ජාතික සන්ධානය කියනවනේ ඔබ දෙමළ ජනතාවගේ ද්‍රෝහියෙක්‌ කියලා ඔවුන් ඇයි මෙහෙම කියන්නේ.

මම නෙමෙයි දෙමළ ජනතාවගේ හතුරා. මම නෙමෙයි දෙමළ ජාතියේa ද්‍රෝහියා. දෙමළ ජාතික සන්ධානය තමයි දෙමළ ජාතියේම ද්‍රෝහියෝ. ඔවුන් තමයි දෙමළ ජනතාව මුලා කරන්නේ. මෙයාලගෙ පක්‍ෂය ඇතුලෙ තියෙන අර්බුද එයාලා එළියට දුන්නේ නෑ. ඔක්‌කොම අය එකට ඉන්නවා වගේ තමයි පෙන්නන්නේ. ඒක නෙමෙයි ඇත්ත. මේකට රැවටිලා තමයි දෙමළ අය එයාලට හැමදාම ඡන්දෙ දෙන්නේ. මේකේ ඇත්ත එළිවූදාට දෙමළ ජාතික සන්ධානය ඉවරයි. කෙටියෙන්ම කියනව නම් දෙමළ ජාතික සන්ධානය කියල පක්‍ෂයක්‌ ලියාපදිංචි කරගන්න ඒ අයට තවම බැරි වුණා නම් මොකක්‌ද මේ පක්‍ෂයේ එකමුතුව?

ප්‍රශ්නය – ඔබ දෙමළ ජාතික සන්ධානය ගැන තරහින් නේද කතා කරන්නේ.

ඇයි මම තරහ වෙන්නේ. මම කරන්නේ ඇත්ත තත්ත්වය කියන එකයි. දැන් බලන්න චන්ද්‍රිකා මැතිනිය ජනාධිපතිවෙලා හිටිය කාලෙ රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ ආණ්‌ඩුව විසුරවලා දැම්මා. අද චන්ද්‍රිකා මැතිනියයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි රට ගැන හිතලා එකට වැඩ කරනවා. දෙමළ ජාතික සන්ධානය හිතන්නෙ දෙමළ මිනිස්‌සු ගැන නම් ඇයි සම්බන්ධන්ට මාවෙයි සේනාධිරාජාට ආනන්ද සංගරීත් එක්‌ක වැඩ කරන්න බැරි. මේ අය කරන්නේ හැමදාම දෙමළ ජාතිය උකස්‌ තියලා ඔවුන්ව පාවලා දීලා ඔවුන් සැප විඳින එක විතරයි.

ප්‍රශ්නය – ඔබ එහෙම කියන්නේ කොහොමද?

“2004 මැතිවරණය බලන්න ඒකෙදි මහින්ද රාජපක්‍ෂ මහත්තයා ජනාධිපති වුණේ 1% ක ඡන්ද ප්‍රතිශතයකින් එල්. ටී. ටී. ඊ. ය. කාගෙ හරි වුවමනාවට හරි සල්ලි අරගෙන හරි කාටවත් ඡන්දෙ දෙන්න එපා කියලා උතුරු නැගෙනහිර මිනිස්‌සුන්ට කිව්වා. ඡන්දෙ දාන්න ගිය කෙනෙක්‌ගෙ අතත් කැපුවා හරි ඒක කළේ මොනව හරි උවමනාවකට එල්. ටී. ටී. ඊ. එක කියලා කියමුකෝ. දෙමළ ජාතික සන්ධනාය මොකටද මේක ජනතාව අතරෙ ප්‍රචාරය කරමින් ඡන්දෙ දාන්න එපා කිව්වෙ. මේකෙ දෙමළ ජාතියටම කළ ද්‍රෝහිකමක්‌ නෙමෙයිද?

ඒ විතරක්‌ නෙමෙයි සිංහල දිසාපතිලා එපා කියන සිංහල ආණ්‌ඩුකාරයෝ එපා කියන හමුදාව එපා කියන දෙමළ ජනතා සන්ධානය 2010 දී මොකද කළේ ජෙනරාල් සරත් ෙµdන්සේකාට ඡන්දය දෙන්න කිව්වා. මොකක්‌ද මේ දෙබිඩි ප්‍රතිපත්තිය කාවද මේ රවට්‌ටන්නේ. ඔවුන් රවට්‌ටන්නේ සමස්‌ත දෙමළ ජනතාවයි. එතකොට මම ද දෙමළ ජාතියේ ද්‍රෝහියා හතුරා දෙමළ ජාතික සන්ධානයද?

ඔවුන් මේ විදිහට දෙමළ ජනතාවත් එක්‌ක සෙල්ලම් කරලා තමයි ඔවුන් සැපවිඳින්නේ පක්‍ෂයක්‌ විදිහට ඔවුන් තාන්න මාන්න අරගෙන සල්ලි අරගෙන දෙමළ ජනතාව මුලා කරනවා . පක්‍ෂයක්‌ විදිහට ඔවුන් ලැඡ්ජා වෙන්න ඕනේ. මම නම් කියන්නේ දෙමළ ජනතා සන්ධානයේ නායකයෝ තමන් විසින්ම සියදිවි හානිs කර ගෙන මැරෙන්න ඕනේ. දෙමළ ජනතාවට කළ මේ ද්‍රෝහිකමට වන්දි ගෙවන්න.

ප්‍රශ්නය – හොඳයි එල්. ටී. ටී. ඊ. සංවිධානය ඉල්ලුවෙ වෙනම රාජ්‍යHක්‌. දෙමළ ජාතික සන්ධානය කියන්නෙත් උතුරු-නැගෙනහිරට වෙනම පාලනයක්‌. ඔබ මොකක්‌ද ඉලන්නේ.

“ඇයි මේ රට බෙදන්න ඕනේ කියලා කවුරු හරි ඉල්ලන්නේ. රට බෙදුවොත් මිනිස්‌සුන් බෙදෙනවා. ඉස්‌සර වෙලාම දෙමළ සිංහල කියලා බෙදෙයි. ඊට පස්‌සෙ මුස්‌ලිම් කියලා බෙදෙයි. මම ඒaකට කැමැති නෑ. සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනතාව රටේ සහෝදරයෝ වගේ එකට ඉන්න ඕනේ. මේක එකම රටක්‌ වෙන්න ඕනේ.

ඉන්දියාවෙ කියන විදිහට මේ රටේ බලය බෙදන්න පුළුවන්. ඕනෙ නම් ඊට වඩා වෙනස්‌ පිළිගත් ක්‍රමයක්‌ හොයන්න පුළුවන්. බෙදන්න ඕනේ රටවත් මිනිස්‌සුවත් නෙමෙයි පාලනය, බලය කියන එකය බෙදන්න ඕනේ.

දිනසේන රතුගමගේ
Source : Divaina