කොටළුවාගේ අන්තවාදී චූන් එක

0
789

“… දැන් තියෙන ජාතික කොඩිය ගිනිතියලම දාන්න ඕනෑ. හතරෙන් තුනක්‌ම වෙන් කරගෙන තියෙන්නේ සිංහලයන්ට (හතර කොනේ) බෝ කොළ හතරක්‌ දාල ගෙඩිය පිටින්ම සිංහලයන්ට වෙන් කරගෙන. බුදුදහම සහ මාක්‌ස්‌වාදය කියන දෙකම එකයි. බුදු දහම ඉගෙන ගන්නවා නම් මාක්‌ස්‌වාදයත් ඉගෙන ගන්න. මාක්‌ස්‌වාදය ඉගෙන ගන්නවා නම් බුදු දහමත් ඉගෙන ගන්න…”

ඉහත සඳහන් ප්‍රකාශය කරන ලද්දේ කතා කළ හැකි බූරුවකු විසින් නොව එක්‌තරා චීවරධාරියකු විසිනි. ඔහු මේ ප්‍රකාශය ප්‍රසිද්ධියේ කරන විට එහා පැත්තෙන් හිඳ සිටියේ මාක්‌ස්‌වාදයේ සිංහල පීතෘවරයකු ලෙස සිතාගෙන සිටින ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නය. පෙර කී පුද්ගලයාගේ අදහස ප්‍රතික්‍ෂේප කරමින් ආචාර්ය වික්‍රමබාහු මේ වන විටත් වචනයක්‌වත් කියා ඇතැයි දැනගන්නට නැත. එබැවින් වික්‍රමබාහු සිටින්නේ ද පෙර කී පුද්ගලයාගේ මතවාදයෙහිම යන්න විශ්වාස කිරීමට අපට සිදුවෙයි. මේ පුද්ගලයා වික්‍රමබාහුගේ නව සම සමාජ පක්‍ෂයෙන් කොළඹට තරග කරන්නෙකි. ඔහු ජාතික කොඩියට බුදු දහමට නිග්‍රහ කරන්නේ කොළඹ තිබෙන මුස්‌ලිම් සහ දෙමළ ඡන්ද ඉලක්‌ක කරගෙන විය යුතුය. එහෙත් අපගේ මුස්‌ලිම් සහ දෙමළ සහෝදරවරු මෙකී පුද්ගලයා දෙන ලණු ගිලින්නේ නැත. ඔවුහු මෙවැනි හොරුන් කාලාන්තරයක්‌ තිස්‌සේම දැක ඇත්තාහ. සිංහල බෞද්ධයෝ ද මෙවැනි පුද්ගලයන් ගණන් ගැනීමෙන් වැළකී සිටිති. මන්ද, සිවුරක්‌ පොරවා ගත් පමණින් කෙනකුට භික්‍ෂුවක වීමට බැරි බව ඔවුහු දනිති. උපන් අලුත කොටළු පැටවාගේ පෙනුම අශ්ව පැටවකුගේ පෙනුමට සමාන ය. එහෙත් වයසින් වැඩෙන විට කොටළුවාගේ ස්‌වරූපය අශ්වයාගේ ස්‌වරූපයට වඩා හාත්පසින්ම වෙනස්‌ වන්නේ ය. ඒ අනුව කොතරම් වයස ගියත් කොටළුවා අශ්වයකු වන්නේ නැත. එසේම වික්‍රමබාහුගේ පුද්ගලයාට ද කොතරම් වයස ගියත් බෞද්ධ භික්‌ෂුවක බවට පත් වීමට නොහැකිය.

එහෙත් ජාතික කොඩිය ගිනි තැබිය යුතුය යන්න සෙල්ලම් ප්‍රකාශයක්‌ නොවේ. ජාතික කොඩියෙන් හතරෙන් තුනක්‌ සිංහලයන් විසින් වෙන් කරගනු ලැබ ඇතැයි කීම ජාතිවාදය භයානක ලෙස අවුළුවන ප්‍රකාශයකි. මේ රටේ ත්‍රස්‌තවාදී යුද්ධය අවසන් වී ඇති නමුත් ජාතික ප්‍රශ්නයට හරියාකාර උත්තරයක්‌ තවමත් ලැබී නැත. තමිල්නාඩුවේ සිටින කොටි අදටත් සයනයිඩ් කරල් සමග හසුවෙති. සයනයිඩ් යනු විටමින් වර්ගයක්‌ නොවන අතර, කොටියකු අත සයනයිඩ් තිබුණි නම් ඒ අවශ්‍ය අවස්‌ථාවේදී සිය දිවි නසාගැනීම පිණිස ය. එසේම මේ මොහොත වූ කලී අන්තවාදී ඉස්‌ලාමියයන් විසින් ලොව කළඹමින් සිටිනු ලබන මොහොතක්‌ බවද අප මෙනෙහි කළ යුතුය. පෙර කී චීවරධාරියාගේ ප්‍රකාශය ඕනෑම අන්තවාදියකු තුළ ‘චූන් එකක්‌’ ඇති කරන්නකි. වීවරධාරීයාගේ අරමුණ එය නම් චීවරයට තව දුරටත් නිගරු නොකර එය දෙහි ගහක වනා කලිසම් ෂර්ට්‌ ඇඳගත යුතුය. ඔහු නොකරන්නේ නම් චීවරය බලෙන් ගෙන ඔහු පලවාහැරීමට මෙරට සංඝ සමාජය පියවර ගත යුතුය.

ඡන්දය දිනා බහුතර බලය ලැබුණොත් අරලියගහ මන්දිරයේ ගේට්‌ටු කඩාගෙන ඇතුළට යන බව සන්ධානයේ අපේක්‍ෂකයෙක්‌ පසුගියදා පැවැසීය. මේ ප්‍රකාශය මහජන සාමය කඩකරන ප්‍රකාශයක්‌ සේ සලකා එම අපේක්‍ෂකයා අත්අඩංගුවට ගත යුතු බව ආණ්‌ඩුවේ සමහර දේශපාලනඥයෝ කියති. ප්‍රකාශ ගැන එතරම් බරපතල විදියට හිතන ආණ්‌ඩුව පෙර කී කහකඩ කොටළුවාගේ ප්‍රකාශය ගැන කරන්නට යන්නේ මොනවාද?

Source : Divaina