හපුගල මහත්තයා

0
766

තන්වැසියා දුටු දෙය

හපුගල මහත්තයට නුගේගොඩ ගෙයක්‌ තියෙනව. මෙයා කොන්ත්‍රාත්කාරයෙක්‌. සල්ලි වකාරෙට. හපුගල මහත්තය කළුතර දොඩංගොඩ පැත්තේ ගේකුත් හැදුව. නමුත් මේ ගෙදර පදිංචියක්‌ නැහැ. ඉඳල හිටල එනව. උඩ තට්‌ටුවේ ඉඳන් අඳුරන කියන අයට අත්පුඩි ගගහ ඉන්නව. වත්තේ මායිමට වෙන්න අඹ ගස්‌ පේර ගස්‌ එහෙමත් වැව්ව. ගස්‌ වවන එක හොඳ වැඩක්‌. මේ ගස්‌ ඇටෙන් පොත්තෙන් ලොකුවෙන කොටම ගේ වටේ තාප්පයකුත් බැන්ද ටික කලක්‌ ගත වුණා.

දැන් තාප්පෙට ඉහළින් බොහොම සන්තෝෂයෙන් අඹ පේර ගස්‌වල අතුත් ලියලලා ගිහිල්ල. හැදෙන ගහ දෙපෙත්තෙන්ම දැනෙන්නේ ගත්තා. පේර ගහේ පෙර වකාරේට හැදුණා. ඉර කියන්නෙ අපේ ප්‍රධාන සම්පතනේ. අනික බාධාවක්‌ නැති පැත්ත. ඉතිං ඉර අව්වයි ඉඩ කඩයි උල්පන්දම් දුන්නෙ ගෙඩි හැදෙන්න. ඒ පැත්තෙ තිබුණේ අල්ලපු ඉඩම. හපුගල මහත්තය මොකද කළේ කිහිප වරක්‌ම අනිත් පැත්තට පෝර දැම්ම. අඹ පේර ගස්‌වල අතු ඉති ඒ දිහාට ලියලාන්න. නමුත් කවදාවත් ඒ පැත්තෙ අතු ලියලනවා බොරු.

පස්‌සෙන් පහු හපුගල මහත්තය පෝර දැමිල්ල නතර කරල මාස කීපයක්‌ ඉඳ හිටලවත් මේ ගෙදරට නෑවිදින් හිටිය. ඔන්න බොලේ එකමත් එක දවසක හපුගල මහත්තය කළුතර ගෙදර ආව. ඇවිත් බැලින්නම් එහා පැත්තට බර වෙච්ච පේර ගහේ ගෙඩි වලු කීපයක්‌ හැදිල. ෂාහ් මට කලින් කියන්න අමතක වුණා. අල්ලපු වත්තේ පුංචි දූ පැටියෙක්‌ ඉන්නව. ඒ චූටි මේ පේර වැටුණම ඇහිඳගෙන කනව. හපුගල මහත්තය උඩ තට්‌ටුවෙ ඉඳගෙන ගම වටේටම ටටා ටටා කියකිය ඉඳල එක පාරටම වළාකුළු අස්‌සෙන් ඉර පෑව්ව වගේ එයාට පහළ බැලුනා.

“අංකල් හරි රසයි පේර කියල අර පුංචි දුව උඩ බලාන කිව්ව හපුගල මහත්තයට තරු පෙණුනා. තරහ ගිල ගත්තා. මෙහෙම කිව්ව “ඔයාට තමයි ඔය පැත්තෙ පේර” හපුගල මහත්තය හුඟාක්‌ ඇඳිරි වෙලා කළේ මොකක්‌ද දන්නවද. උප උපන් ජාති මිනිහෙක්‌ නොකරන පාරහවැඩක්‌ කළා. අල්ලපු වත්තට බර වෙච්ච අතු දෙක තුන ලණු පොටවල් දාලා තාප්පෙන් ඇදල අරගෙන ජනේලයට ඇණ ගහල බැඳ ගත්තා. දවස්‌ කීපයක්‌ ගතවුණා. හපුගල මහත්තයා පේර කැඩුව. නමුත් සේරම පේර ජන්මාන්තර වෛරක්‌කාරයෙක්‌ වගේ සේරම කුණුවෙලා. හපුගල මහත්තය ඊළඟ පාහර වැඩෙත් කළා. අතු ගැට ගහපු කඹ කපල දැම්ම. දැන් ආයෙත් අල්ලපු වත්තට පේර වලු බර වුණා. පහුවදා හවසත් හපුගල මහත්තය කළුතර ගෙදරට ආවා. උඩ තට්‌ටුවෙ ඉඳගෙන වටේටම දිගට හරහට මිනිස්‌සුන්ට සැලියුට්‌ ගහල පහළ බැලුව.

අල්ලපු වත්තෙ කටකාර දූ පැටිය ජනේලෙන් එබිල මෙහෙම කිව්ව. අංකල් පේර ඇඹුලයි. අපේ වත්තට බර වෙච්ච පේර අතු කපා දාන්න.

හපුගල මහත්තයගෙ කලිසම තෙමුනද දන්නෙත් නෑ. එයා මොකද කළේ පොඩි එකාගේ වචන ඇහුණු නෑහුණ ගානට වටපිට බලබල වටේට සැලියුට්‌ ගගහ හිටිය.

අශෝක කාරියවසම්

Source : Divaina