“පැරණි පරපුරේ” සමහර කවියෝ කුහකයි

0
979

බුද්ධදාස ගලප්පත්ති

ඔබ මෙම රසවින්දන සඳහා වස්‌තුබීජ කරගෙන ඇත්තේ කාව්‍යකරණයේ එළිපත්ත මත සිටින තරුණ කවි කිවිඳියන්. මේ වගේ අලුත් වැඩක්‌ කරන්න ඔබ පෙළඹවූ කාරණාව ගැන මම ඇහුවොත්..

මට මතකයි 2009 දී විතර එවකට “දිවයින”
දිනපතා පුවත්පතේ කර්තෘවරයාව සිටියේ ගාමිණී සුමනසේකර. ඔහුත් විශේෂාංග කර්තෘ ජයන්ත චන්ද්‍රසිරිත් මට ආරාධනා කළා කුමක්‌ හෝ තීරුවක්‌ බදාදා අතිරේකයේ “වටමඩලට” පටන්ගන්න කියලා. ඒ අනුව තමයි මම සතිපතා කවියක්‌ රස විඳීම මේ විදියට පටන් ගත්තේ.

මේ සඳහා ඔබ අනුගමනය කළ ශාස්‌ත්‍රීය විධික්‍රමය?

ඇත්තම කියනවා නම් මේක හරි අමුතු වැඩක්‌. මෙය ශාස්‌ත්‍රීය විදග්ධ රසවින්දන ආකෘතියෙන් බැහැර වුණ ”
රසික රසවින්දනයක්‌”
කියල අරගන්නවාට තමයි මම වඩා කැමති. අලුත් කවි රචකයෙක්‌ගේ නිර්මාණයක්‌ කොහොමද රසිකයෙක්‌ රසවිඳින්නේ කියන සිද්ධාන්තය තමයි මම අත්හදා බැලුවේ.

අපි මෙහිදී දැක්‌කා විශේෂත්වයක්‌. ඔබ රසවින්දන සඳහා තෝරාගන්නේ මුද්‍රිත මාධ්‍යවල පළවූ කවි නිර්මාණ නොවෙයි. ඊට වඩා ඔබ අන්තර්ජාලයේ කාව්‍ය වෙබ් අඩවි වල කවි ලියන කවි කිවි කිවිඳියන්ගේ නිර්මාණ තෝරා ගත්තා මේකට විශේෂ හේතුවක්‌ තිබුණද?

විශේෂ හේතුවක්‌ නම් නැහැ. හැබැයි මම තරුණ කවි කිවිඳියන්ගේ නිර්මාණවලට, ඔවුන් යොදා ගන්නා වස්‌තු විෂයයන්, ඔවුන් භාවිත කරන විධික්‍රම, ඔවුන්ගේ ආකෘතික ලක්‍ෂණ ගැන සෙවිල්ලෙනුයි ඉන්නේ. මම කැමතියි ඔවුන්ගේ අලුත් අදහස්‌වලට. අද පවතින තරුණ සිතුවිලි කොහොමද ප්‍රකාශයට ලක්‌වන්නේ කියල අධ්‍යයනය කරන්න මම කැමතියි. ඉතින් ඒ පරපුර හුඟක්‌ම කවි නිර්මාණ එළිදක්‌වන්නේ වෙබ්අඩවි වලින්. විශේෂයෙන්ම “බූන්දි” කියන කවි නිර්මාණ වෙබ්අඩවිය හරහා.

මට හිතෙනවා තරුණයන්ගේ තරුණ පරපුරේ කවි නිර්මාණ අස්‌සට රිංගලා ඔබ තරුණ වෙන්න හදනවද කියලා. ඒත් ඔබ ඉන්නේ ඒ පරපුරේ නොවෙයි. ඔබ අයිති පරාක්‍රමලගේ, ආරියවංශ රණවීරලගේ, නන්දන වීරසිංහලාගේ පරපුරේ නූතන යුගයට කියලයි මට නම් හිතෙන්නේ.

එහෙම හිතන්න ඒකට කමක්‌ නෑ, මම ඔය කොයි පරපුරකත් ජීවත් වෙනවා. ඒකයි ඇත්ත. එම නාට්‍යකරණයේදී කේ. බී, හේරත්ලගේ නිර්මාණවල ඉඳල තරුණම නාට්‍යකරුවන්ගේ නිර්මාණවලටත් සක්‍රීයව දායකවෙලා තියනවා. මම නිර්මාණවලදී නිර්මාණ රස විඳීමේදී නවීන ප්‍රවීණ භේදයක්‌ සලකන්නේ නෑ, සාහිත්‍යයේදී හැම විටම මම තරුණ කවි පරපුර ගැන වැඩියෙන් උනන්දුයි.

හැබැයි ඔබ අයිති පරපුරේ ප්‍රවීණ කවියන් නූතන පරපුරේ කවි කිවිඳියන්ගේ නිර්මාණ, විශේෂයෙන්ම වෙබ්අඩවි වල පළවන කවි නිර්මාණ හොඳ කවි ලෙස සලකන්නේ නෑ, ඒ වගේම එම කවීන් ඔවුන්ගේ නිර්මාණත් සමගම බැහැර කරනවා. ඔබ එසේ නොවීමට බලපෑ හේතු කවරේද කියා ඇසුවහොත්?

ඔබ කියන ඔය ප්‍රවීණ අය අලුත් පරපුරේ කවි හා කවි කිවිඳියන් දිහා බලන ආකාරය අසාධාරණයි. මම හිතනවා ඒක ඔවුන්ගේ කුහකත්වය කියලා. නමුත් කුහකත්වයෙන් තොරව පිළිගන්න එපා පහුගිය අවුරුදු හතරක පහක කාලය තුළ ඔය ඔවුන් බැහැර කරන තරුණ පරපුරේ කවීන් සම්මාන උළෙලවල් වලදී සම්මාන දිනා ගත්තානේ. මස්‌ඉඹුලගෙන් පටන් ගන්නකෝ. එයාගෙන් පටන්ගෙන සුහර්ෂණී ධර්මරත්න, සුනන්ද කරුණාරත්න, රුවන් බන්දුජීව, සෞම්‍ය සඳරුවන් ලියනගේ වගේ අය අර ප්‍රවීණ පරපුරට අභියෝග කරමින් සම්මාන උළෙලවල් වල පෙරට ආවා. සෞම්‍ය සඳරුවන් රාජ්‍ය සම්මාන ගත්තේ තම පළමු පොතට. ඒක ලේසිපාසු වැඩක්‌ කියල මම නම් සැහැල්ලුවට ලක්‌කරන්නේ නැහැ. පැරැණි පරම්පරාවේ සමහරු කුහකයි. තරුණ නිර්මාණකරුවෝ පිළිගන්න අකමැති ඒකයි.

සමාජය අද සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙලා. එදා සමාජය විඳපු දැකපු අත්දැකපු අහපු දැකපු දේ නොවෙයි අද නූතන සමාජය අත්දකින්නේ. කවියාගේ අත්දැකීම් අලුත් වෙලා. අනුභූතින් අලුත්වෙලා. ඔවුන්ගේ නිර්මාණ අලුත්වෙලා තියෙන්නේ එකයි. අනිත් එක ඔවුන් නූතන ලෝකය සමග ජීවත් වෙනවා. පැරණි පරපුරේ අපි ඔවුන්ව තේරුම් ගත යුතුයි.

මම මෙහෙමත් දකිනවා. නූතන යුගයේ ඔබ ඔය කියන අන්තර්ජාල කවි කිවිඳියන්ගේ නිර්මාණවල කවීත්වයට වඩා නිර්මාණශීලීත්වයට වඩා ප්‍රචාරකවාදී ලක්‍ෂණ වැඩියි කියල මට හිතෙනවා. කවීත්වය තුළින් ඔබ ඒ දෙස දකින්නේ කොහොමද?

ඔබේ ඔය ප්‍රකාශයට මම එකඟයි “මුහුණු පොත” සම්බන්ධයෙන් නම්. ඒත් ඔබ බලන්න කවිය සඳහා තියන අනෙක්‌ වෙබ් අඩවි. ඔය “බූන්දි”, “කවි ලියමු”, “කවිකාරයෝ” වගේ වෙබ්අඩවි වල කවි ලියන සෞම්‍ය සඳරුවන්, නේමින්දර දිසානායක, සුහර්ෂනී ධර්මරත්න, රුවන් බන්දුජීව, සුනන්ද කරුණාරත්න, ධනුෂ්කා නිශාදි කුලරත්න, ධර්මසිරි ගුණවර්ධන, මහින්ද ප්‍රසාද් මස්‌ඉඹුල, අනුරාධා නිල්මිනි, සසංකා වින්ද්‍යානි, උපුල් සේනාධීරගේ වගේ තරුණ කවි කිවිඳියන් අරන් බැලුවාම ඔබේ ඔය කියමන අර්ධ සත්‍යයක්‌ විතරයි.

මම ඔය වගේ කවියන් කිවිඳියන් 36 කෙනකුගේ නිර්මාණ ඇගයුම් මේ “කවි මිහිර” තුළ පළකරල තියනවා. ඉන් 26 දෙනෙක්‌ම අලුත්ම කවි කිවිඳියෝ. එයාලගේ නිර්මාණ අරන් බලන්නකෝ… අන්න ඒ නිර්මාණ රසිකයෙක්‌ රස විඳින්නේ කොහොමද අන්න ඒ රස වින්දන තමයි මගේ “කවි මිහිර” තුළ අන්තර්ගත වෙන්නේ.

මේ අය තමයි අඩු වැඩි වශයෙන් අපේ කවියේ අනාගතය බාරගන්නේ කියල මට හිතෙනවා. මම ඔවුන්ගේ නිර්මාණ ගැන උනන්දු ඒකයි.

සංවාදය
බුලිත ප්‍රදීප් කුමාර

Source : Divaina