රජය විග්නේශ්වරන්ගේ මේ බෙදුම්වාදී ඉල්ලීමට හිස නැමිය යුතුද?

0
620

තිස්‌ වසරකට පසු තිම්පු සම්මුතිය යළි මතුවිම

ලන්ඩන් නුවර ද්‍රවිඩ සංස්‌කෘතික උළෙලක්‌ ඇමතූ උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් සිය සැබෑ ස්‌වරූපය අනාවරණය කළේය.

ඒ 1985 භූතානයේ තිම්පුහිදී ඉදිරිපත් වූ තිම්පු සම්මුතිය හෙවත් තිම්පු ප්‍රකාශනය මත දෙමළ ජනතාවට ස්‌ථීර විසඳුමක්‌ දිය යුතු යෑයි ඉල්ලීමක්‌ කරනු ලැබීයමයි.

කරුණු හතරකින් යුත් තිම්පු ප්‍රකාශනය මෙසේය.

1. ද්‍රවිඩ ජනතාව ජාතියක්‌ ලෙස පිළිගැනීම.

2. ද්‍රවිඩ නිජබිම පිළිගැනීම.

3. ස්‌වයංපාලනය පිළිගැනීම.

4. ද්‍රවිඩ ජනතාවට සියලු හිමිකම් ලබාදීම.

බලලා මල්ලෙන් පැන්නා යන කියමන සනාථ කරමින් විග්නේශ්වරන් මේ සැලසුම් කරන්නේ ඉන්දියාව මැදිහත්ව පැවැත් වූ තිම්පු සාකච්ඡා වසර 30 කට පසු යළි කරළියට ගෙන ඒමටය.

13 වැනි සංශෝධනය සහ පළාත් සභා ක්‍රමය දේශපාලන විසඳුමකට මග පෙන්නුම් කිරීමක්‌ නොවන බව ඔහු තවදුරටත් දක්‌වා ඇත.

ඔහු ලන්ඩන් නුවරදී තවදුරටත් පවසා ඇත්තේ මේ ඉල්ලීම්. ලබාගැනීමට ලොව පුරා සිටින සියලු ද්‍රවිඩ ජනතාව ඒකරාශීවිය යුතු බවයි.

එසේම තිස්‌සමහාරාමයද ද්‍රවිඩ නිජබිමක්‌ ලෙස පෙන්නුම් කිරීමට ඔහු කටයුතු කර ඇත. තිස්‌සමහාරාමයේ කුඹුරුවලින් අඩක්‌ වගා කළේ ද්‍රවිඩ ජනතාවයි. එම කුඹුරුවලින්ද ද්‍රවිඩ ජනතාව පන්නා දැම්මා යෑයි ඔහු පළ කළේය.

ලන්ඩන් නුවරදී විග්නේශ්වරන් දේශනයක්‌ පැවැත් වූයේ මෙතෙක්‌ පැවැත් වූ සියලු දේශනවලට වෙනස්‌ වන අයුරිනි. ශ්‍රී ලංකා රජය ජාති ඝාතනයක්‌ සිදු කළ බව පැවැසූ විග්නේශ්වරන් දෙමළ ජනතාවට ස්‌ථීර විසඳුමක්‌ ලැබීමට තිම්පු ප්‍රකාශනය අවශ්‍ය බව පළ කළේය.

මේ තිම්පු සාකච්ඡා ආරම්භ වූයේ ශ්‍රී ලංකාවේ පැවැති ත්‍රස්‌ත යුද්ධය නිමා කිරීම සඳහායි. 1985 ජුලි 13 දා තිම්පු සාකච්ඡාවට ද්‍රවිඩ කණ්‌ඩායම ඉදිරිපත් කළ කරුණුවල ඉහත කී කරුණු හතර ඇතුළත් විය.

එහෙත් දැන් යුද්ධය අවසන් විය. යුද්ධය අවසන් වුවත් විග්නේශ්වරන් වසර 30 කට පෙර ඉදිරිපත් වූ කරුණු ඉටු කරන ලෙස ඉල්ලා සිටී.

එම ඉල්ලීමේ අරමුණ රට දෙකඩ කිරීමයි. විග්නේශ්වරන් තිම්පු ඉල්ලීම් ඉටු කරන ලෙස පවසද්දී ද්‍රවිඩ ජනතා ජාතික පෙරමුණේ නායක ගඡේන්ද්‍ර කුමාර්ද රට දෙකඩ කළ යුතු යෑයි කියා සිටී.

1985 පැවැති තිම්පු සාකච්ඡාවලදී ශ්‍රී ලංකා රජය බලය විමධ්‍යගත කරන බව පැවැසුවත් ද්‍රවිඩ නියෝජිත කණ්‌ඩායම ඉහත කී කරුණු හතර ඉටු කළ යුතු යෑයි කියා සිටියහ.

එම ද්‍රවිඩ නියෝජිත කණ්‌ඩායමට ඊ. පී, ආර්. එල්. එµa, ප්ලොට්‌, එල්. ටී. ටී. ඊ, ටෙලෝ සහ ටී. යූ. එල්. එම, සංවිධාන සහභාගි විය.

එහෙත් ෂර්ලොක්‌ නම් වූ යුදෙව්වා මස්‌ රාත්තලම ඉල්ලූ අයුරින් විග්නේශ්වරන්ද දැන් තිම්පු සම්මුතිය මත ස්‌ථීර දේශපාලන විසඳුමක්‌ ඉල්ලා සිටී.

රජය විග්නේශ්වරන්ගේ මේ බෙදුම්වාදී ඉල්ලීමට හිස නැමිය යුතුද?

කීර්ති වර්ණකුලසූරිය

Source : Divaina