කච්චතිව් ඉන්දියාවට නොවේ – kachchatheevu sri lanka

0
748

(ඒ විජයකලාගේ හඬයි)

“කච්චතිව්” ඉන්දියාවට දෙන්න බැරි බව කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් පසුගිය 21 වැනිදා කච්චතිව් දේව මෙහෙයට සහභාගි වෙමින් මාධ්‍යවේදීන් හමුවේ කී බව ඊයේ ‘දිවයින’ පුවත්පත වාර්තා කර තිබිණි. ඇමැතිවරියගේ එම ප්‍රකාශය ජාතික සමගිය අගයන බොහෝ දෙනකුගේ සතුටටත්, ප්‍රශංසාවටත් හේතු වී තිබෙන බව කිව යුතුය. කච්චතිව් දූපත නැවත ඉන්දියාවට ලබාගැනීම සඳහා තමිල්නාඩුව ඉන්දීය මධ්‍යම රජය සමඟ නිතර කතා කරමින් (දැඩි බලපෑම් කරමින්) සිටින මොහොතක එවැනි ප්‍රකාශයක්‌ විජයකලා ඇමැතිනියගෙන් ප්‍රකාශ වීම කොතරම් සතුටට කාරණයක්‌ ද යන්න අමුතුවෙන් කිව යුතු නැත.

කච්චතිව් බොහෝ දුර අතීතයේ සිටම ප්‍රශ්න ඇති කළ දූපතකි. ඇත්තෙන්ම එය හරිහැටි නිරාකරණය වූයේ 1974 වර්ෂයේදීය. එවකට ඉන්දියාවේ අගමැතිවරිය වශයෙන් කටයුතු කළ ඉන්දිරා ගාන්ධි විසින් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබාදීමට මැදිහත් විය. ශ්‍රී ලංකාවට වාසි සහගත ආකාරයෙන් කටයුතු කළා යෑයි එකල බොහෝ ඉන්දීය දේශපාලනඥයන් සේම දේශපාලන විචාරකයන් පවා ඉන්දිරා ගාන්ධි පතුරු ගහපු බව සඳහන්ය. තමිල්නාඩුව අදටත් කියන පරිදි එය ඉන්දිරා ගාන්ධි විසින් හිතුවක්‌කාරී ලෙස කරන ලද දේශපාලන වැරැද්දකි.

මේ පවරා දෙන කාලයේ තමිල්නාඩු මහ ඇමැති ධුරය දරන ලද්දේ මුතුවෙල් කරුණානිධිය. කච්චතිව් දුපත, ශ්‍රී ලංකාවට පවරා දීමට ඔහු දැඩි ලෙස විරෝධය පෑවේය. ඉන්දිරා ගාන්ධි එම විරෝධය සමපාත කරගත්තේ ඊට වගන්aතිs දෙකක්‌ ඇතුළත් කරමිනි. ඒ, තමිල්නාඩු ජනතාවට දූපතට පැමිණීමට අවසර ලබාදීම සහ දූපත අවට ධීවර කටයුතු සඳහා තමිල්නාඩු ධීවරයන්ට අවසර ලබාදීම යන වගන්තිය.

කෙසේ හෝ මේ පවරාදීමෙන් පසුව ද තමිල්නාඩුවට කච්චතිව් සම්බන්ධයෙන් බොහෝ ප්‍රශ්න ඇතිව තිබෙන බව පෙනේ. තමිල්නාඩු දේශපාලනය කවරාකාරයෙන් වෙනස්‌ වුවද විටින් විට මේ ප්‍රශ්නය, එනම් “කච්චතිව් අයිතිය” සම්බන්ධයෙන් “තමිල්නාඩු හූව” ඇසෙන බව කිව යුතුය. කච්චතිව් අයිතිය කවර කොන්දේසි යටතේ වුව ශ්‍රී ලංකාවට ලබාදුන්නද සත්‍ය වශයෙන්ම එහි අයිතිය ශ්‍රී ලංකාවට බව ඉන්දියාව විසින් පිළිගෙන තිබෙන්නේ සාධක ගණනාවක්‌ මතය. ජාත්‍යන්තර නීතිය සහ මුහුදු සීමා නීතිය සම්පූර්ණයෙන්aම විග්‍රහ කිරීම ද එම සාධකවලට අයත්ය. ජාත්‍යන්තර නීතිය සඳහා කච්චතිව් ප්‍රශ්නය යම් ආකාරයකින් ඉදිරිපත් කරනු ලැබුවහොත් ජාත්‍යන්තර අධිකරණයකදී වුව එහි අයිතිය ශ්‍රී ලංකාවට හිමිවන බවට විවාදයක්‌ නැත. ඒ නිශ්චිත භූගෝලීය සාධක මතය. කෙසේ හෝ මෙය ගිවිසුම්ගත කාරණයක්‌ බවට පත්ව තිබේ. කච්චතිව් අයත් වන්නේ ශ්‍රී ලංකාවට බව එයින් පිළිගෙන තිබේ. ඒ නිසාම තමිල්නාඩුවේ “කරදර” වලට බිය වී ඉන්දීය මධ්‍යම රජය එවැනි මෝඩ තීරණයක්‌ ගනීවි යෑයි කිසි විටෙකත් සිතිය නොහැක. විජයකලා සමඟ රටක්‌ වශයෙන් අප සියලු දෙනාම තමිල්නාඩු කරච්චලයට පිළිතුරු දිය යුත්තේ එහෙයිනි.

අක්‌කර 285 ක වපසරියකින් යුත් කච්චතිව් දූපතට සෑම වසරක්‌ පාසාම තමිල්නාඩු වන්දනාකරුවන් පැමිණෙන්නේ එහි ඇති ශාන්ත අන්තෝනි දෙව්මැඳුරේ දේව මෙහෙයට සහභාගි වීමටය. තමිල්නාඩු ධීවරයන් ද බහුලව ඒ අවට කලාපයේ ගැවසේ. ඒ අනුව තමිල්නාඩුවට “අමාරුව’ හැදෙන්නේ මේ අවශේෂ කාරණා නිසාම පමණක්‌ බව පෙනේ. තමිල්නාඩුව සේම අපේම සමහර උදවිය ද කච්චතිව් ගැන අමුතු ගායකින් පෙළෙන කාරණය “ප්‍රභාකරන්” කෙරෙහි වලංගු නොවූයේ මන්දැයි යන්න ගැටලුවකි. හේතුව ප්‍රභාකරන්ගේ ඊළාම් සිතියමේ පවා කච්චතිව් දූපත තිබුණේ ඊළමයට අයත්ව බව අමතකව තිබීමය. රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශයට වැඩි වටිනාකමක්‌ හිමිවන්නේ තමිල්නාඩු දේශපාලනයේ දෙමළ හිතවාදී බව දේශපාලන වංචාවක්‌ බව තේරුම් ගත් “උතුරේ උදවියද” සිටින බව පෙන්නුම් කරන නිසාය.

– Divaina