බටහිර ජාතීන් ඇබොර්ජින් සංස්කෘතිය විනාශ කරයි – Aboriginal Australians culture ruined by Western

0
1090

ලෝකයේ පැරණිම සංස්කෘතිය සොයා ගියෙමි

http://www.lankanewslive.com/2016/01/18/end-of-tasmanian-aboriginals/

අද ලොව අස්සක් මුල්ලක් නෑර ජීවත් වන හෝමොසේපියන්වරු හෙවත් නූතන මිනිසා ජන්ම ලාභය ලැබුවේ දැනට වසර මිලියන ගණනකට පෙර අප්‍රිකාවේදීය. ඔවුන් ලොව පුරා පැතිරීම ආරම්භ කළේ දැනට වසර 50,000කට පමණ පෙරය. අප්‍රිකාවේ සිට මධ්‍යධරණී ප්‍රදේශයට සංක්‍රමණය වූ එක් ජන කොටසක් ඉන්දියාව, මලයාව හා ඉන්දුනීසියාව, හරහා ඕස්ට්‍රේලියාවට පැමිණ ඇබොරිජින්වරුන් බවට පත්විය. ඒ දැනට වසර 40,000කට පමණ පෙරය. එම කාල වකවානුවේදී මධ්‍යධරණී ප්‍රදේශයේ සිට යුරෝපයට සංක්‍රමණය වූ තවත් හෝමොසේපියන්වරු කොටසක් කෝකේසියානුවන් හෙවත් සුදු ජාතිකයන් බවට පත් විය. ඔවුහු සතුන් ඇති කළෝය. ධාන්‍ය වගා කළෝය. ගේ දොර වතුපිටි ඉඩකඩම් සහිත ගම්මාන සහ නගර තැනුවෝය. වන සතුරු උවදුරු අඩු වීම සහ ආහාර පාන    නිෂ්පාදනය වැඩි වීම නිසා සීග්‍රයෙන් බෝ විය. සිතන්නට කාලය ඉතිරි වූ නිසා ආගම්ද බිහි විය. අධික වූ ජනගහනය පාලනය කිරීම සඳහා රජවරුන්ද ඔවුන්ගේ බල ප්‍රදේශයන් වටා රාජ්‍යයන්ද බිහි විය. එසේ  බිහි  කළ රාජ්‍යයන් අතර බලය සඳහා යුද්ධ සහ සටන්ද ඇති විය. අප්‍රිකාවෙන් පිට වෙන විට ගෙන ආ ගල් මුගුරු වෙනුවට යකඩ, තඹ පිත්තලවලින් තැනූ හෙල්ල, කඩු, කිනිසි පමණක් නොව වෙඩි බෙහෙත්වලින් පත්තුවෙන තුවක්කුද, නිෂ්පාදනය කළෝය. ඒවාද රැගෙන නැව් නැගි යුරෝපා ජාතිකයන්ට (පෘතුගීසි, ලන්දේසි, ප්‍රංශ, සහ ඉංග්‍රීසි) ඕස්ට්‍රේලියාව, කරා මුහුදු මගින් පැමිණීමට ගත වුණේ මාස කිහිපයක්  පමණි. ඒ දැනට වසර දෙසීයකට පමණ පෙරය. යුරෝපා ජාතිකයන් ඕස්ට්‍රේලියාවට එනවිට ඇඳුම් පැළඳුම්, හට්ටි, මුට්ටි පමණක් නොව තමන් ඇති කළ බල්ලන්, ගවයන්, සහ බැටළුවන්ද ගෙන ආවේය. ඊට අමතරව සිරකරුවන්ද රැගෙන ආවේය. විද්‍යාව සහ තාක්ෂණය අතින් දියුණු වූ සුදු අයියලා ඕස්ට්‍රේලියාවට ගොඩ බසින විට ඊට වසර 40,000කට පෙර අප්‍රිකානු මහගෙදරින් පිටවී ඕස්ට්‍රේලියාවට පා ගමනින් පැමිණි කළු මල්ලිලා සිටියේ උපන් ඇඳුමෙන්මය.

අවාසනාවකට මෙන් ඒරොප්පයෙන් පැමිණි සුදු අයියලා ඇබොරිජින්වරුන් හඳුනාගත්තේ දැනට වසර 50,000කට පෙර අප්‍රිකාව නමැති මහගෙදරින් පිටව එක කුස උපන් සහෝදරයන් ලෙස නොවේ.  වානරයන්ට වඩා තරමක් දියුණු වූ තවත් සතුන් කොට්ඨාසයක් ලෙසය. එබැවින් සුද්දාගේ නීතිය ඔවුනට බලපෑවේ නැත. කළු ජාතිකයන් වූ ඇබොරිජින්වරුන්ගේ ජීවන රටාව හෝ සංස්කෘතිය සුදු ජාතිකයන් තඹ සතයකටවත් ගණන් ගත්තේ නැත. එහෙත් ඇබොරිජින්වරුන් සුදු ජාතිකයන් සැලකුවේ දූපත්වලින් (නැව්) පාවී ආ  මළගිය ඥාතීන් ලෙසය. ඇබොරිජින්වරු සුදු ජාතිකයන් සාදරයෙන් පිළිගත්තෝය. ඔවුන්ට ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට උදව් කළෝය. ඇඳුම් පැළඳුම් වෙනුවට ආහාර පාන හුවමාරු කර ගත්තෝය. කෙල්ලන් දී බල්ලන් ලබාගත්තෝය. මත්පැන්ද ලබා ගත්තෝය.

ඇබොරිජින්වරුන්ගේ සංස්කෘතිය සහ සුද්දාගේ සංස්කෘතිය එකිනෙකට නොගැළපෙන බව වැටහී ගියේ ඉන් පසුවය. හරියට එළ හරකා සහ මී හරකා වැනිය. එසේ වුවත් සුදු ජාතිකයන් අතර අධික කාන්තා හිඟයත් පැවතුණේය. එබැවින් කළු කාන්තාවන් සුදු ජාතිකයන්ගේ ලිංගික අවශ්‍යතාවන් සඳහා යොදා ගත්තෝය. එම නිසා කළු ජාතිය බෝ කිරීමට සිටි කළු කාන්තාවන්ගේ ගර්භාෂය තුළින් සුදු ජාතිකයන් බිහි විය. ඒ අයුරින් කළු ජාතිය වඳ වීම ඇරඹුණි. සුදු ජාතිකයන් සමග පැමිණි අනිත් සතුරන් වූ ඉන්ෆ්ලුවන්සා, වසූරිය, පැ‍පොල, සරම්ප, ක්ෂය රෝගය, උපදංශය සහ ගොනෝරියා වැනි රෝගකාරක විෂබිජ      නිසාද ඇබොරිජින්වරු සෑහෙන කොටසක් මියගියෝය. සුදු මහත්වරුන් රැගෙන ආ මත්පැන් පානයට, දුම් පානයට, ඇබ්බැහි වීම නිසා තවත් කොටසක් විනාශ විය. ඉතිරිය සුදු ජාතිකයන්ගේ නිවෙස්වල, ගෙවත්තේ සහ ගොවිපළවල්වල වැඩ කිරීම සඳහා වහලුන් ලෙස යොදාගත්තෝය. එම වහලුන් තැනින් තැනට ගෙන ගියේ හරක් බානක් බඳින්නා සේ ගෙල වටා යකඩ මාංචු දමා ගෙනය. මේ අයුරින් ඒරොප්පෙන් පැමිණි සුදු ජාතිකයන්ගේ වහලුන් බවට ඕස්ට්‍රේලියාවේ මුල් පදිංචිකරුවන් වූ ඇබොරිජින්වරු පත්විය. වහල්කමට අකමැති වූවෝ වෙඩි තබා මරා දැමුවෝය.

ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ කළු ජාතිකයන් බටහිර සංස්කෘතියට හුරු කිරීමේ කාර්යය ඊළඟට පැවරුණේ  යුරෝපයේ සහ ඇමෙරිකාවේ  සිට පැමිණි ක්‍රිස්තියානි මිෂනාරීවරුන්ටය. ඇබොරිජින්වරුන්ට ඉංග්‍රීසි පාසල් අධ්‍යාපනය ලබා දීම සහ ඔවුන්ගේ සෞඛ්‍යය රැක බලා ගැනීමේ වගකීම පැවරුණේ මිෂනාරීවරුන්ටය. මෙම ක්‍රියාවලිය බ්‍රිතාන්‍ය පාලකයන් සැලකුවේ ඇබොරිජින්වරුන් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියක් ලෙසය. 1815දී ආරම්භ වූ මෙම ක්‍රියාවලිය 1950 වන විට මිෂනාරී ආයතන 211ක් මගින් කරගෙන ගියෝය. ක්‍රිස්තියානි ආගම වැළඳගන්නන් සඳහා විශේෂ වරප්‍රසාද හිමි විය. ආහාර පාන ඇඳුම් පැළඳුම් සහ දුම්කොළද ලැබුණේය. උසස් අධ්‍යාපනය සහ ලෙහෙසි පහසු රැකියාවන්ද ලැබුණේය.

මත්පැනට ඇබ්බැහි වීම නිසා ඇබොරිජින්වරුන් විනාශයට පත්වීම වැළැක්වීම සඳහා 1940 ඕස්ට්‍රේලියානු රජය පනතක් ගෙනාවේය. ළදරු   වයසේදීම ඇබොරිජින්වරුන් මව්වරුන්ගෙන් සිය දරුවන් පැහැරගෙන විත් මිෂනාරී කන්‍යාරාමවල හා සේමනේරිවල නතර කරගෙන ඔවුන් බටහිර සංස්කෘතියට හුරු කළෝය. එකල ඕස්ට්‍රේලියානු රජය එම ක්‍රියාමාර්ගය සැලකුවේ ඇබොරිජින්වරුන්ට කරන උදව්වක් ලෙසය. එහෙත් එම ක්‍රියාවලිය අද සලකන්නේ ඇබොරිජින්වරුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසය.
සමහර ගැහැනු දරුවන් කන්‍යාරාමවලට ගෙන ගොස් බලෙන් රඳවා තබා ගෙන මිෂනාරීවරුන් කැමති පිරිමින්ට ඔවුන් විවාහ කර දුන්නේය. සුදු ජාතිකයෙකු සමග විවාහ වීමෙන් පසු පරම්පරා තුනක් ඇවෑමෙන් ඔවුන්ගේ ඇබොරිජින් ජාන නිලීන වී ගියේය. මහ ජාතිය වන සුදු ජාතිකයන්ගේ ප්‍රමුඛ ජාන බලගැන්වී ඔවුන්ද සුදු ජාතිකයන් බවට පත්විය. එම ක්‍රියාවලිය ජාතීන් දෙක ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය ලෙස නම් කළත් ඉන් සිදු වුණේ ඇබොරිජින් ජාතිය වඳ වී යාමය.

දෙවන ලෝක යුද සමයේදී බටහිර ක්‍රමයට හැඩ ගැසුණු ඇබොරිජිනියානුවන් යුද හමුදාවට බැඳුණෝය. පසු කලෙක ඔවුන්ට ඡන්ද බලය බලයද ලබා දුන්නේය.
20 වන සියවස වන විට ඇබොරිජින්වරුන් මුදල් පරිහරණයට හුරුවී සිටි බැවින් රැකියා ලබා ගැනීමේදී සුදු කළු හා ජාතිකයන්ට සමාන අවස්ථා හා සමාන වැටුප් ලබාදීමේ නීති සම්මත විය. එහෙත් ඉන් වාසි අත් වූයේ ස්වදේශික ඇබොරිජින්වරුන්ට නොවේ.  වේගයෙන් සංවර්ධනය වෙමින් තිබුණ කර්මාන්තයන් සඳහා චීනය ආසියාව, සහ නවසීලන්තය වැනි රටවලින් පැමිණි පිටරැටියන්ටය. ඇබොරිජින්වරුන් ඒ වන විටත් සුදු මහත්වරුන් සමග ගැටුම් ඇති කරගෙන තිබුණ බැවින් ඔවුන්ට සම වැටුප් රැකියා ලැබුණේ නැත. එබැවින් ඕස්ට්‍රේලියානු රජය මගින් සම්මත කරගත් සමානාත්මතා පනත් ඇබොරිජින්වරුන්ට පාරා වළල්ලක් විය. තිබුණු රැකියාවනුත් නැති වී ගියේය. අවසානයේදී ඇබොරිජින්වරු තම රටේම සරණාගතයන් බවට පත්විය.

1947 එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වීමත් සමග ඇති වූ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ අණ පනත් නිසා ඇබොරිජින්වරුන්ට තම සංස්කෘතියට අනුව ජීවත් වීමේ අයිතිය ලැබුණේය. අයිතිය ඔවුන්ට උරුම වූ ප්‍රදේශවල නිදහසේ ජීවත් වීම සඳහා ඉඩ කඩම් වෙන් කර දුන්නේය. 1964දී මත්පැන් පානය කිරීමේ නිදහසද නැවත ලබා දුන්නේය. එහෙත් ඒ වන විට ඇබොරිජින්වරුන්ගේ සංස්කෘතිය විනාශ වී හමාරය. ඔවුන් වැඩි දෙනකුට තම මව් භාෂාව පවා කතා කළ නොහැකි විය. කතා කළ හැකි එකම භාෂාව වූයේ ඉංග්‍රීසි භාෂාවය. ඔවුන්ට ආවේණික වූ සංගීතය හා චිත්‍ර කලාවේ සුළු ප්‍රමාණයක් පමණක් ඉතිරි විය.

වසර දෙසීයක් තුළ ඕස්ට්‍රේලියාව තුළ රහසේම සිදු වූ මෙම වෙනස ලෝකයේ අනෙක් රටවල අවධානයට යොමු වුණේ නැත. ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ හමු වූ යුරේනියම් යොදා ගනිමින් ඇමෙරිකානුවන් සමග න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීම් කරන විට ඒ බව එම ප්‍රදේශවල ජීවත් වූ ඇබොරිජින්වරුන්ට දැන්වූවේවත් නැත. යුරේනියම් ආකර කැණීම් සහ පරමාණු බෝම්බ අත්හදා බැලීම් නිසා විනාශ වූ ඇබොරිජින්වරුන්ගේ සංඛ්‍යාව සහ අංගවිකල වූවන්ගේ සංඛ්‍යාව පිළිබඳව තොරතුරු බාහිර ලෝකයට අනාවරණය වුණේ නැත.

ඇබොරිජින්වරුන් අද ජීවත් වන ආකාරය අප ඊළඟ ලිපියෙන් විමසා බලමු.

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

– Lakbima