වෙදුන් යැයි කියන හොරුන්ට තක්කඩින්ට නොරැවටී බුදු දහමින් රෝග සුව කරගන්නේ මෙහෙමයි – Buddhism for health fitness

0
1116
urumaya

පූජ්‍ය තලල්‍ලේ චන්දකිත්ති හිමි

දියෙහි ගසා ගෙන යන මිනිසා පිදුරු ගසෙහිත් එල්ලෙන්නේ යැයි කියමනක් තිබේ. විවිධ රෝගාබාධවලින් පීඩාවට ලක්වන්නා උත්සාහ දරන්නේ කෙසේ හෝ එයින් මිදී සුවය ලබන්නටය. එසේ සුවයක් සලසා දෙන්නේ යැයි කියන ඕනෑම තැනකට යන්නට රෝගීන් සහ ඔවුන්ට ආදරය කරන පවු‍ලේ අයද සූදානම්ය. එය අසරණ වූ සිතක ස්වභාවයයි. ඒ බව දන්නා වංචනිකයන් කරන්නේ එම අසරණ පුද්ගලයන් වෙතින් ප්‍රයෝජන ගැනීමය. දේව බලය වැනි විවිධාකාර අදෘශ්‍යමාන බලවේගවලින්, විශ්ව ශක්තියෙන් රෝග සුව කරන බව පවසමින් අසරණයන් මුලාකොට, ඔවුන් තව තවත් ප්‍රපාතයටම ඇද දමමින් අයුතු ප්‍රයෝජන ගන්නා මේ වංචනිකයන් කරන්නේ ‘කල දුටු කල වළ ඉහ ගැනීමයි’

රෝග නිවාරණය ගැන බුදු දහමේ විස්තර කරන ආකාරය අද අප ඔබට ඉදිරිපත් කරන්නේ මේ මිථ්‍යාවෙන් මිදීම සඳහා ඔබට අත්වැලක් වනු පිණිසය.
බුදුරජාණන්වහන්සේ මිනිස් සිරුරට වැළඳෙන රෝග පිළිබඳව මෙන්ම මිනිස් මනසට වැළඳෙන රෝග පිළිබඳවත් මැනවින් විස්තර කළහ. එනිසාම උන්වහන්සේ තමන් වහන්සේව සල්ලකත්තෝ අනුත්තරෝ (ශල්‍ය වෛද්‍ය) නම් වූ බුදුන් වහන්සේ සහ භෙසජ්‍ය ගුරු (වෙද ඇදුරු) යනුවෙන් ද විවිධ සූත්‍රවලදී හඳුන්වා දී ඇත. ඒ අනුව බලන විට කායික වෛද්‍යවරයකු සතු දැනුම මෙන්ම මානසික වෛද්‍යවරයෙකු සතු දැනුමද බුදුරජාණන් වහන්සේ තුළ පැවතිණි. ගිරිමානන්ද සූත්‍රයෙහි මිනිස් සිරුරට වැළඳෙන රෝග කාණ්ඩ නවයක් දක්වා තිබිමෙන් පැහැදිලි වන්නේ ඒවා පිළිබඳව බුදුරජාණන්වහන්සේ සතුව තිබූ සුවිශේෂ දැනුමය.

තමන්ගේ විෂමාචාර පැවැත්ම නිසා ඇතිවන ආබාධ ගැන ද වසර දෙදහස් හයසියයකට පෙර බුදුරජාණන් වහන්සේ විසින් විස්තර කරනු ලැබිණි. විෂමාචාර පැවැත්ම නිසා හට ගන්නා ප්‍රබල රෝගයකට උදාහරණයක් වන්නේ ඒඩ්ස් රෝගයයි.
එසේම මිනිස් සිත ලෙඩ කරන ප්‍රධාන රෝගකාරක වන රාග, ද්වේෂ, මෝහ ගැන ද බුදුරජාණන් වහන්සේ එදා විස්තර කළහ. මේවායින් පෙළෙන්නන් මානසික රෝගීන් ලෙස ධර්මයෙහි දක්වා තිබේ.

සබ්බේ පුථුජ්ජනා උම්මත්තකා යනුවෙන්ද දහමෙහි විස්තර වේ. එහි අදහස නම් ‘සියලු පෘථග්ජනයෝ උන්මත්තකයෝය’ යන්නයි. මානසික උමතු භාවය යනු මානසික රෝගයකි. සිතෙහි පවතින කෙළෙස්, ව්‍යාධීන් ලෙස හඳුනා ගත් බුදුරජාණන් වහන්සේ ඒවා නසන්නට ප්‍රතිකාර ලෙස භාවනා කර්මස්ථාන දේශනා කළ සේක.

බුදුදහම දෙස බලන විට බොහෝ රෝග පීඩාවන් මානසික ශක්තීන් අවදිකර ගැනීම තුළින් දුරු කර ගත හැකි බව පෙනී යයි. සිතට වැළඳෙන බොහෝ රෝග මනස පදනම් කරගත් ඒවාය. මනස ශක්තිමත් නම් ඒවා දුරු කර ගත හැකිය. ගිලන් වී සිටි අනේපිඬු සිටු තුමාට බුදුරජාණන්වහන්සේ දුන් උපදේශය වූයේ ‘ගත ලෙඩ වුණත් සිත ලෙඩ කරගන්න එපා’ යන්නය. බුදු දහමට අනුව ගත ලෙඩ වීම යනු ආවේණික ස්වභාවයකි. ශරීරය රෝග කැදැල්ලක් වන අතර විශේෂයෙන්ම වියපත් වන විට රෝග පීඩා පැමිණීම වැළැක්විය නොහැකිය. එසේ වුවත් කායික පීඩා ඇතිවන කල ප්‍රතිකාර කරන්නට එපා යැයි බුදුරදුන් පැවැසුවේ නැත. විනය පිටකයේ භේසජ්ජ බන්ධකයෙහි භික්ෂුන් වහන්සේලාට විවිධ කායික පීඩා ඇති වූ අවස්ථාවලදී ප්‍රතිකාර සඳහා නියම කරන ලද විවිධ බෙහෙත් වර්ග ගැනත් ලෙඩ රෝග හමුවේ පැවැතිය යුතු ආකාරය ගැනත් මනාව විස්තර වේ.

කායිකව වැළඳෙන ලෙඩ රෝගවලට භෞතික ප්‍රතිකාර කරන අතරේම මානසික ශක්තීන් දියුණු කළ හැකි ක්‍රමයක් ද බුදු රදුන් දේශනා කළහ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ ගිලන් වූ පසු සත්ත බොජ්ජංග ධර්ම මෙනෙහි කරන ලෙස උපදෙස් දුන්නේ ඒ මානසික ශක්තීන් අවදි කිරීමෙන් සිත සංසිඳුවාලීමටය. බුදුරදුන් පවා ගිලන් වූ විට එම ධර්ම මනසිකාරය තුළ කායික නිරෝගීභාවය උපදවා ගත් ආකාරය සඳහන් වේ. මේවා තුළින් අපට පැහැදිලි වන්නේ, කායිකව ඇතිවන බොහෝ ලෙඩ රෝග මානසික ශක්තීන් වර්ධනය කරගැනීම තුළ නිවාරණය කරගත හැකි බවයි.

ලෙඩ රෝගවලින් මිදෙන්නට නොහැකි අවස්ථාත් තිබේ. දැන් අපි ඒ ගැන සොයා බලමු. එම කම්මාවරණ, විපාකාවරණ සහ කි‍ලේසාවරණ යන මේ කරුණු තුනේ අරුත මෙසේය.

කම්මාවරණ
එනම් ආනන්තරීය පාප කර්මවලින් වැසී සිටින අයයි. නමුත් මෙය රෝග සම්බන්ධයෙන් අදාළ වන්නේ නැත.

විපාකාවරණ
අතීතයේ කරන ලද බරපතළ කර්මවල විපාක වශයෙන් ලෙඩ රෝගවලට ගොදුරු වන්නේ විපාකාවරණ ලෙසය. එය කම්මවිපාකජා ආබාධ ලෙස දැක්වේ. සමහර රෝගවලට කොතරම් වෛද්‍ය ප්‍රතිකාර කළත් සුව නොවන අතර තවත් සමහර රෝගවලට තවමත් වෛද්‍ය ප්‍රතිකාර සොයා ගෙනවත් නැත. මෙබඳු රෝගවලදී එම බරපතළ නරක කර්ම ශක්තීන් වෙනස් කිරීමට අවශ්‍ය හොඳ කර්ම ශක්තීන් දියුණු කරගත යුතුය. ආගමික වශයෙන් විවිධ පින්කම් සිදු කිරීම, බෝධි පූජා පැවැත්වීම පිරිත් දේශනා ශ්‍රවණය කිරීම වැනි හොඳ කර්මවල වැඩි වැඩියෙන් නියැලෙන විට අතීත නරක කර්ම ශක්තීන් දුරුවී යයි. මෙසේ දුරුවන විට එනිසා හටගත් ලෙඩ රෝගද සුව විය හැකිය.

කි‍ලේසාවරණ
සිත කෙලෙස්වලින් වැසී යාම තුළින් හට ගන්නා රෝග තත්ත්වයන් මෙයට අයත් වේ. විශේෂයෙන්ම මානසික රෝග තත්ත්වයන්ය. මිනිස් සිත් ඊර්ෂ්‍යාවෙන් ද්වේශයෙන් වෛරයෙන් කුහකකමින් පළිගැනීමේ ච්ෙතනාවන් ගෙන් මානයෙන් පිරෙන විට, දූෂිත වන විට ශරීරයේ ‍ලේ ධාතුව පවා අපිරිසිදු වේ. එසේ වන විට ප්‍රතිශක්තීකරණයද දුර්වල වී යයි. ප්‍රතිශක්තීකරණයද දුර්වල වන විට විවිධ ලෙඩ රෝගවලට ශරීරයට රිංගා ගැනීමේ හැකියාව වැඩි වේ. එවැනි ලෙස රෝග දුර්වල කර ගන්නට නම් සිත පිරිසිදු කරගත යුතුය. සිත පිරිසිදු කරගන්නට කුසල් සිතිවිලි දියුණු කරගත යුතු වේ. කුසලය සිතේ දියුණු කරගැනීම යනු භාවනාවයි. මෙකල බොහෝ බටහිර වෛද්‍යවරුන් පවා රෝග නිවාරණයේදී භාවනාව උපයෝගී කර ගන්නේ නම් මේ සිද්ධාන්තය මත පිහිටාය. භාවනාව රෝග නිවාරණයට උපකාර කරගත හැකි බව මුලින්ම ලෝකයට පහදා දුන්නේ බුදුරජාණන් වහන්සේය. භාවනාවෙන් මේ භවයේ නිරෝගීකම පමණක් නොව, සසර ඉපදී මැරෙමින් ජීවත් වන සත්වයාට එයින් මිදෙන ක්‍රමයක්ද හෙළි පෙහෙළි කර දීම සිදුවේ.
බුදු දහම සම්බන්ධ රෝග නිවාරණය මේ අයුරින් පැහැදිලිව තිබියදී බොහෝ බෞද්ධයෝ විවිධාකාර මිථ්‍යා විශ්වාස නොපෙනෙන බලවේග පසුපස ඇදී ගොස් රෝග සුව කරගන්නට උත්සාහ දරති.

බුදුදහම තුළ විශ්ව ශක්තියට නොව මුල්තැන් දී ඇත්තේ ස්වශක්තියට හෙවත් ආත්ම ශක්තියටය. පිරිසිදු සිතැත්තාට මුළු විශ්වය තුළම පවතින ශක්තිය තමා වෙතට ගත හැකිය. ඔහු විශ්ව ශක්තිය පසුපස යන්නෙකු නොවේ. චිත්ත ශක්තිය වර්ධනය වන්නේ කුසලය දියුණු කර ගැනීමෙන් පමණි. නෙපෙනෙන බලවේග මිථ්‍යා විශ්වාස පසුපස යාමෙන් අකුසලය දියුණු වීම සිදුවේ. අකුසලය දියුණු වීමෙන් මානසික ව්‍යාධීන් හෙවත් මානසික රෝග වැඩි වෙයි. මේ මානසික රෝගීන් එම තත්ත්වයෙන් මුදවා ගත හැකි ක්‍රමය බුදු දහමේ දැක්වේ. ඉහත දැක්වූ අන්දමින් දහමට අනුව කටයුතු කොට තමන්ගේ කුසල ශක්තීන් දියුණු කර ගන්නට උත්සාහ කරන්න. එවිට ඔබට බොහොමයක් රෝගවලින් මිදී සැපවත් ජීවිතයක් ගත කිරීමේ භාග්‍යය හිමිවනු ඇත.

සාකච්ඡා කළේ:
ඉන්දු පෙර්රා

-Lakbima