නිරය යනු කෘත්‍රිම වූ මැවීමක්‌ද? නැතිනම් ස්‌වාභාවික පරිසරයක්‌ද?

0
640

සතර සතිපට්‌ඨානය කෙනෙකු විසින් අඛණ්‌ඩව වඩන ලැබුවහොත් අවමය දින 7ක්‌ හෝ උපරිමය වසර 7ක්‌ තුළ රහත්භාවයට පත්වන්නේ යෑයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය ඝෝර, කටුක, භයානක සසර දුකෙන් මිදී යාමට ඔබ සතු හැකියාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ විසින් ලබාදුන් සහතිකයක්‌ වැන්න. නමුත් භාවනාව වැඩීමට පිංවතුන් කළ යුතු පූර්වකෘත ගැන සඳහන් අතිශයින් වටිනා සූත්‍රයක්‌ වේ. ඒ වනාහී සබ්භාසව සූත්‍රයයි. මෙම ලිපිමාලාව සපයන පිංවත් ස්‌වාමීන්වහන්සේ විසින් සබ්භාසව සූත්‍රය මෙලෙස පැහැදිලි කරනුයේ, සතර සතිපට්‌ඨානය සම්බන්ධයෙන් පළවීමට නියමිත මීළඟ ලිපිමාලාවට ප්‍රවේශයක්‌ ලෙසිනි. එබැවින් සතරසතිපට්‌ඨාන විග්‍රහයේ උපරිමය උකහාගැනීම උදෙසා මෙම සබ්භාසව සූත්‍රයේ විග්‍රහය අතිශයින් වැදගත් බව සලකන්නේ නම් මැනවි.

වර්තමාන සමාජයේ දැනුම ජීවිතය කරගත් සමහරක්‌ පිංවතුන්ලා නිරයේ ක්‍රියාකාරකම් හාස්‍යයෙන් යුතුව ප්‍රතික්‌ෂේප කරනවා භික්‍ෂුව දැක තිබෙනවා. උතුම් ශ්‍රී සද්ධර්මය නුවණින් මෙනෙහි කර දැකීමට ඇති අදක්‍ෂභාවය නිසාම අපායක්‌, නිරයක්‌ නැහැයි කියන පිංවතුන්ලා සකස්‌ කර ගන්න එම මිථ්‍යදෘෂ්ටික සිතුවිල්ල නිසාම නිරයට වැටීමට අදාළ අකුසල් සංස්‌කාරයන් රැස්‌කරගන්නවා.

නිරය කියලා කියන්නේ යොදුන් දසදහස්‌ ගණනක්‌ මහපොළව යට තිබෙන ස්‌වාභාවික පරිසරයක්‌. නිරය කියන්නේ කවුරුන් හෝ වැරදිකරුවන්ට දඬුවම් දෙන්න කෘත්‍රිමව ඇති කළා වූ පරිසරයක්‌ නොවේ. නිරය කියන්නේ දෙවියෙක්‌ බ්‍රහ්මයෙක්‌ මැව්වාවු පරිසරයක්‌ නොවේ. පිංවත් ඔබ මනුෂ්‍යයා වාසය කරන මේ මනුෂ්‍ය ලෝකය නමැති පරිසර පද්ධතිය උපමාවට ගන්න. තද අවුරශ්මියෙන් ගිනි ගන්නා කාන්තාර කලාපයන් තිබෙනවා. තද ශීතලෙන් අයිස්‌ මිදෙනා කලාපයන් තිබෙනවා. තද සුළං, මීදුමෙන් යුත් පරිසර කලාපයන් තිබෙනවා. නිරය කියලා කියන්නේ ස්‌වාභාවික පාරිසරික කලාපයක්‌. පිංවත් ඔබ ජීවත්වන මනුෂ්‍ය ලෝකයේ ප්‍රමාණයෙන් හතරෙන් තුනක්‌ම මහාසාගරය විසින් වසාගෙනයි තිබෙන්නේ. මනුෂ්‍ය ලෝකයේ බිම් ප්‍රමාණයෙන් හතරෙන් එක්‌ කොටසක්‌ පමණයි මනුෂ්‍යයාගේ වාසස්‌ථාන බවට පත්වෙලා තිබෙන්නේ. නමුත් මහාසාගරය යටත් නිරයන් පිහිටා ඇති නිසා මනුෂ්‍යාලෝකයේ මනුෂ්‍යයා ජීවත් වන බිම් ප්‍රමාණය වගේ තවත් තුන්ගුණයක්‌ නිරයේ බිම් ප්‍රමාණය විශාල වෙනවා.

කවදාහරි අනාගතයේ දවසක කල්ප විනාශයක්‌ සිදුවෙනවිට මහාසාගරය සිඳීගොස්‌ වැලිතලාවක්‌ බවට පත්වෙනවා. සිඳී ගිය මහාසාගරයට තවත් යොදුන් දහස්‌ගණනක්‌ යටින් නිරයන් පිහිටලා තිබෙනවා කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

පිංවත් ඔබට දැන් වැටහෙන්න ඕනේ නිරය කියලා කියන්නේ මොනතරම් පැතිරුණු සංකීර්ණ වූ මහපොළොව යට තිබෙන ස්‌වාභාවික පරිසරික කලාපයක්‌ද කියලා. එම ස්‌වාභාවික පරිසරය ගිනියම් වූ, උෂ්ණත්වය අධික පරිසරයක්‌. පිංවත් ඔබ මනුෂ්‍ය ලෝකයේ ගිනි කන්දක්‌ සිහියට නඟාගත්තොත් ගිනි කන්දක්‌ සක්‍රීය වී ලාවා වැගිරෙන හැටි, ගින්දර වැගිරෙන හැටි, උණු අළු වැගිරෙන හැටි, උණු දිය වැගිරෙන හැටි සිහියට නඟාගන්න. පිංවත් ඔබ දකින ගිනිකන්දක්‌ කියන්නේ එහි ක්‍රියාකාරිත්වය කියන්නේ ස්‌වාභාවික පාරිසරික ක්‍රියාදාමයක්‌. නිරයන්ගේ පාරිසරික ස්‌වාභාවයන් මෙයට සමානයි.

පිංවත් ඔබ මනුෂ්‍ය ලෝකයේ තිබෙන ගිනි කන්දක්‌ සිහියට නඟාගෙන මේ මුළු මනුෂ්‍ය ලෝකයම ගිනි කන්දක්‌ කර මොහොතක්‌ දකින්න. එම ගිනි කන්දෙන් ලාවා වැගිරෙන හැටි, ලෝදීය වැගිරෙන හැටි, ලෝදියෙන් ගංගා පිරෙන හැටි නුවණින් දකින්න. නිරය කියලා කියන්නේ මීට සමාන අධික උෂ්ණත්වයෙන් යුත් ස්‌වාභාවිකව ගොඩනැඟුණු පාරිසරික පද්ධතියක්‌.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යොදුන් සියයක්‌ පුරා පැතිර පවතින මහ නිරයන් දෙක ඝන යකඩ පවුරකින් වටවෙලා තිබෙනවාය කියල. ශ්‍රද්ධාව දුර්වල පිංවතුන්ලා ප්‍රශ්න කරනවා, මහපොළොවෙන් යොදුන් දසදහස්‌ ගණනක්‌ යට කොහොමද යකඩ පවුරක්‌ තිබෙන්නේ කවුද මේවා හැදුවේ කියලා.

එම ඝන යකඩ පවුරු කවුරුන් හෝ හැදුවා වූ යකඩ පවුරක්‌ හෝ කවුරුන් හෝ මැව්වා වූ යකඩ පවුරක්‌ නොවේ. නිරයේ ගිනිගෙන ගලාගෙන ගලායන ලෝදීය ඝණ වීමෙන් ස්‌වාභාවිකවම සැදුණා වූ ඝණ යකඩ පවුරකින් තමයි මහ නිරයන් දෙක වටවී තිබෙන්නේ.

යම්කාලයක්‌ ගතවූවාට පසුව මහනිරයේ ඝණ යකඩ පවුරේ දොරටුවක්‌ විවෘත වෙනවාය කියන්නේ යම පල්ලෙක්‌ හෝ ස්‌වයංක්‍රීයව එම දොරටුව විවෘත වෙනවා නොවේ. එම ඝණ යකඩ පවුරේ යම් විවරයක්‌ ස්‌වාභාවික හේතූන් නිසාම විවෘත වෙනවා. පිංවත් ඔබ නුවණින් දකින්න තද මීදුම තිබෙන වෙලාවට පරිසරය සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැසී යනවා. හිරු මතුවී එනවිට මීදුම බැහැර වී යනවා. කම්මලේ යකඩයක්‌ හොඳින් රත් කරන විට එම යකඩය ගිනියම් වී මුලින්ම ප්‍රමාණයෙන් ලොකු වෙනවා. ඒ වගේ නිරයේ උෂ්ණත්වයේ වැඩිභාවය නිසා වැසී තිබෙන විවරයන්, යම් මොහොතක ස්‌වාභාවික හේතූන් මත ඇතිවන උෂ්ණත්වයේ අඩුභාවයන් නිසා එම ඝණ ස්‌වභාවය දියවී ගොස්‌ විවරයක්‌ විවෘත වෙන්න පුළුවන්. නැවත ක්‌ෂණිකව ඇතිවන උෂ්ණත්වයේ දැඩිභාවය නිසා එම විවෘත වූ විවරය වැසීයන්න පුළුවන්. මහනිරයන්ගේ දොරටු යම් කාලයකදී කෙටි මොහොතකට විවෘත වෙනවාය කියන්නේ මෙවැනි ස්‌වාභාවික පාරිසරික හේතූන් නිසා වෙන්න පුළුවන්.

මහ නිරයන්ට සමාන්තරව උණු අළු නිරය තිබෙනවාය කියනවා. මහ නිරයන්ගේ ගිනි ජාලාවන්ට පිළිස්‌සී ගලාඑන ලෝදීය, ලාවා නිවී ඇතිවෙන උණු අළු සහිත පරිසර කලාපය, මේ උණු අළු නිරය වෙන්න පුළුවන්. එසේ නැතිව කවුරුන් හෝ උණු අළු නිරයක්‌ කෘත්‍රිමව නිර්මාණය කෙරුවා නොවේ. නිරයේ දැඩි උෂ්ණාධික පරිසරයේ ස්‌වාභාවික හේතුඵල ධර්මයනුයි ඉහතින් පිංවත් ඔබ දකින්නේ.

පිංවතුන්ලා කියනවානේ නිරයට වැටුණහම කටු ඉඹුලේ නග්ගනවාය කියලා. නිරයේ තිබෙන්නේ එක කටු ඉඹුලක්‌ නොවේ. නිරිසතුන් කෝටිගණනනින් අකුසලයේ දඬුqවම් ලබන නිරයට එක කටු ඉඹුලකින් කුමක්‌ කරන්නද? මේ කටු ඉඹුල කියන්නේ අපේ රටේ සිරගෙදර තිබෙන කෘත්‍රිමව හදපු එල්ලුම් ගසක්‌ වගේ ගසක්‌ නොවේ. නිරයේ ඉඹුල්වනයේ ඇති ඉතාමත් උසට වැඩුණු ස්‌වාභාවික ශාක පද්ධතිය තමයි කටු ඉඹුල් ගස්‌ කියන්නේ. නිරයේ අධික උෂ්ණත්වය නිසා කටු ඉඹුල් ගසේ කොළ නැහැ. කටු සහ තියුණු උල් පමණයි තිබෙන්නේ. අපේ රටවල උෂ්ණාධික ප්‍රදේශවල වැවෙන කටු සහ උල් අධික ශාක ගැන පිංවත් ඔබ මොහොතක්‌ නුවණින් දකින්න. නිරයේ අධික උෂ්ණත්වය නිසාම එම උෂ්ණත්වයට ඔරොත්තු දීමට එම කටු ඉඹුල් ගස්‌වල කටු සහ උල් යකඩ සහ වානේ වගේම ශක්‌තිමත්. මෙම ශාකවල කඳ, මුල, කටු, උල් වල ඇති ඝණභාවයන් මෙම තද කටු මුල් නිරතුරුවම අධික උෂ්ණත්වයෙන් යුත් පරිසරයට නිරාවරණය වීමෙන් එම පරිසරයේ ඇති තද සුළං හේතුවෙන් මෙම කටු උල් එකිනෙක ගැටීම හේතුවෙනුත් ඉඹුල් වනයේ සෑම ගසකම කටු උල් තියුණු ලෙස මුවහත් වෙලයි තිබෙන්නේ. නිරයේ කටු ඉඹුල් වනයට වැටෙන නිරිසතුන්ගේ සම්, මස්‌, නහර, මෙම කටුවලට උල්වලට ඇනී ඉරී, කැපී, පැලී යනවා කියන්නේ නිරයේ ස්‌වාභාවික පරිසර පද්ධතියෙන්ම එම දුක නිරිසතාට උරුම වෙනවා.

ඉදිරිපත් කිරීම
ඉන්ද්‍රජිත් සුබසිංහ