බෝතල් වතුර බොන්නේ බලාගෙන! – Water Bottles

0
2268

අප කීපදෙනකු නාරාහේන්පිට ප්‍රදේශයේ රෝහලකට ගියේ මිතුරකුගේ සුවදුක් බැලීමටයි‍. කාෂ්ඨක මද්දහනේ රෝහලෙන් ඉවතට එද්දී දැනුණු පිපාසයට, අසල ජංගම කඩයකින් වතුර බෝතලයක් ගන්නට එක් සගයකු සැරසුණි. ඒවා උණු වතුර මෙන් ගිනියම් වී තිබූ නිසා ළඟ ෆාමසියකින් වතුර බෝතලයක් ගැනීමට අපි සිතුවෙමු. ඒවාද ඉර එළියට නිරාවරණය වී තිබෙනු දුටු අප ඖෂධාලයේ සේවකයකුගෙන් විමසීමේදී ඔහු කීවේ පානීය ජල බෝතල් අව්වට නිරාවරණය වීමේ ගැටලුවක් තමන් නොදන්නා බවයි. ඉන් මවිතයට පත් වී මඟතොට හමුවන, ජල බෝතල් රැගෙන යන හා දන්නා අඳුනන අයගෙන් ඇසූ වි‍‍ට බහුතරයකගේ පිළිතුර වූයේ ‘තිබහට අරං බොනවා මිස විශේෂ අවධානයක් නැහැ’ යන්නය.

ඇත්තෙන්ම ඔබත් බෝතල් වතුරට පුරුදු වූවකු නම් වතුරට මෙන්ම බෝතලයටත් ප්‍රමිතියක් තිබෙන බව සිතුවාද?

ගංගා ඇළ දොළ 103 ක් මුහුදට ගලා යන අපේ රටේ, කිරි ලීටරයකට වඩා වැඩි මිලක් ගෙවා වතුර ලීටරයක් ගෙන, එහි ප්‍රමිතියද සොයා බැලීමට වීම කෙතරම් අභාග්‍යයක්ද?‍ කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩිදුර සොයා යද්දී ජල බෝතල් නිසා අපහසුතාවට පත් වූවන් රටේ තවත් සිටින බව බව තහවුරු විය. ඒ අතුරින් පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිල්ලක් යොමුකිරීමට අවබෝධයක් හෝ ඒ සඳහා මහන්සිවීමට පෙලැඹීමක් ඇත්තේ පාරිභෝගිකයන් කීයෙන් කීදෙනාටද යන ගැටලුව මතුවේ.

පාරිභෝගික සේවා අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂිකා චන්ද්‍රිකා තිලකරත්න මහත්මිය පවසන්නේ තවමත් වසරකට පානීය ජල බෝතල් පිළිබඳ පැමිණිලි ලැබෙන්නේ 40ක් පමණ බවයි. ඒ නිසා 2003 අංක 9 දරන පාරිභෝගික අධිකාරී පනත යටතේ ජලය ඇසුරුම් කරන බෝතල සඳහාද ප්‍රමිතිය තහවුරු කිරීම 2016 සැප්තැම්බර් සිට අනිවාර්ය කර ඇති බවද ඇය සඳහන් කළාය. ඉදිරි වසරක පමණ කාලයක් ජලය අසුරන්නන් සඳහා දී ඇත්තේ ප්‍රායෝගික අපහසුතා සැලකිල්ලට ගනිමිනි.

“සමහර ජල බෝතල්වල රස, සුවඳ හා ඇල්ගී වර්ග ඇති බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා. මේ නිසාම වරින්වර වෙළෙඳ‍පො‍ළේ ඇති ජල බෝතල්වල ගුණාත්මක බව පරීක්ෂා කිරීම‍ට අධිකාරිය ද පියවර ගෙන තිබෙනවා. දිවයින පුරාම සන්නාම 80කින් පමණ ජල බෝතල් අපට දැක ගන්න පුළුවන් ඒවායේ රසායනික, භෞතික වගේම ජීව විද්‍යාත්මක තත්ත්වය අපි සලකා බලනවා. ඒ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, කාර්මික තාක්ෂණික ආයතනය, වෛද්‍ය පර්යේෂණ ආයතනය වගේම නාගරික ක්ෂුද්‍රජීවී පරීක්ෂණාගාරය වැනි ආයතනවල සහාය ලබාගන්නවා. සමහර වතුර බෝතල්වල රසායනික ගුණය ප්‍රමිතියට නැති බව තහවුරු වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් ජලයේ පීඑච් අගය තිබිය යුත්තේ6.5ත් 8.5 අතර නමුත් සමහර ඒවා 5.7ක් ඒ කියන්නේ ආම්ලික ගතියෙන් යුක්තයි. සමහර ජල බෝතල්වල තෙල්, ග්‍රීස් වැනි ද්‍රව්‍ය මිශ්‍ර වී ඇති බව සොයාගෙන තිබෙනවා. තවත් ඒවායේ ඊකොලයි, කෝලිෆෝම් වැනි බැක්ටීරියා අඩංගුවෙලා තිබුණා.”

තත්ත්වය මෙසේ වුවද සියලුම පානීය ජල බෝතල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතුය. වසර තුනක‍ට වරක් ඒ ලියාපදිංචිය යාවත්කාලීන කළ යුතුය. ඒ බව පැවසූවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය එච්. ඩී. බී. හේරත් මහතායි.

“ඇත්තෙන්ම ඉතා පිරිසුදු ජලයට කල් ඉකුත්වීමේ දිනයක් තිබෙන්න බැහැ. එහෙත් අපි වතුර බෝතල් මිලට ගැනීමේදී ඒ ගැන සැලකිලිමත් වෙනවා. පිරිවැය ගැන සැලකිලිමත් වීමේදී මේ බෝතල් වතුර නිෂ්පාදකයන්ට වතුර සියයට සියයක් සුපිරිසුදු කරන්න අපහසුයි. මේ දිනවල අපිත් පර්යේෂණ කරගෙන යනවා හැම බෝතල් වතුර නිෂ්පාදනායතනයක්ම නියමිත ආකාරයෙන් කටයුතු කරනවාද කියා සොයන්න. අනෙක බෝතල් කිරීම සඳහා ගැනීමේ දී ගංගා ඇළ දොළ වැනි ඒවායේ මතුපිට ජලය භාවිත කරන්න තහනම්. ජලය ගත යුත්තේ හාරන ලද ළිඳකින් නළ ළිඳකින් හෝ උල්පතකින්ම පමණයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචියට පෙර ජල ප්‍රභවය පිළිබඳ හා ජලයේ ගුණාත්මක බව පිළිබඳ විශ්ලේෂණය කරනවා. මාස තුනක් ඇතුළත තුන් වතාවක් එසේ කිරීමෙන් පසුව ගැටලුවක් නැත්නම් පමණයි ලියාපදිංචි කරන්නේ. මේ වනවිට ආයතන 200 පමණ ලියාපදිංචි වී තිබුණත් ව්‍යාපාරයේ නිරත වන්නේ 80කට ආසන්න සංඛ්‍යාවක්්‍‍. ඊට අමතරව පානීය සංචාරක හෝටල් ආදිය සඳහා ජල බෝතල් ආනයනය කරන ආයතන පහක් පමණ තිබෙනවා. ඒවා ලෝකප්‍රකට සන්නාම යටතේ එන්නේ.”

මේ ආකාරයෙන් කියූවත් දැනට ව්‍යාපා‍රයේ යෙදෙන ආයතනවලට හිටි හැටියේ තහංචි වැටෙන්නේ ඒ ජලයේ ගැටලු මතුවන නිසාය. ඒ පිළිබඳවද වෛද්‍ය එච්. ඩී. බී. හේරත් මහතා මෙසේ තොරතුරු හෙළි කළේය.

“එකම ප්‍රභවයකින් ජලය දිගින් දිගටම ගැනීමේදී එහි වෙනස්කම් ඇති වන්න පුළුවන්. මොකද භූගත ජලය ඉවත් වනවි‍ට නිතරම සංයුතිය වෙනස් වන නිසා. එවිට යකඩ වැනි දේ ජලයේ තිබිය යුතු ප්‍රමාණයට වඩා වැඩි වන්න පුළුවන්. ඒ සදහා තමයි සෑම ජල බෝතල් නිෂ්පාදනායතනයකම කුඩා රසායනාගාරයක් තිබිය යුත්තේ. එමඟින් තමන් බෝතල් කරන ජලයේ වෙනසක තිබුණහොත් එය නිවැරැදි කර දිය යුතුයි. එසේ නොවුණොත් අපේ පර්යේෂණවලදී නිවැරැදි කිරීමට කාලයක් ලබා දෙනවා. එම කාලය තුළත් නිසි ප්‍රමිතිය නොරැකුණොත් නිෂ්පාදනය තහනම් කරනවා. යළි ලියාපදිංචිය ලබා ගත හැක්කේ නිවැරැදි කිරීමෙන් පසුවයි. දිගින් දිගටම ප්‍රමිතියෙන් තොර ජලය ලබා දීම ලියාපදිංචිය අවලංගු කිරීමට අමතරව මාස 6ක් සිරගත කිරීම හෝ රුපියල් 10,000ක නොවැඩි දඩයක් නියම කිරීමට හෝ හැකි වරදක්.”

බෝතලේ ඇති ජලය පිළිබඳ ඒ අයුරින් සලකා බලන අතරම මේ ජලය අසුරන බෝතල් පිළිබඳවද අප සැලකිලිමත්විය යුතුය. එයට හේතුව වතුර කෙතරම් පිරිසුදු වුවත් එය අසුරන්නේ ප්‍රමිතියෙන් තොර බෝතලවල නම් එයින් ද අපට ඇති වන බලපෑම දිගුකාලීන හා භයානක වීමයි. මේ පිළිබඳ ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානී, කායික රෝග හා දියවැඩියා පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවසුවේ පෙට්‍රෝලියම්වල අතුරු ඵලයක් ලෙස නිපදවන ප්ලාස්ටික් යොදාගෙන නිපදවන මේ වතුර බෝතල් හිරු එළියට, උණුසුමට හා තැලීම් සීරීම්වලට ලක් වීමෙන් සෞඛ්‍යයට අහිතකර රසායන ද්‍රව්‍ය ජලයට එක්වන බවයි.

“මේවා PET බෝතල් නමින් හඳුන්වන්නේ. ‍ඒවායේ ප්‍රමිතිය පිළිබඳ සහතිකයක් හරියට නෑ. විශේෂයෙන් වරක් භාවිත කර ඉවත දමන නිසා මෙය ඉතා තුනී ප්ලාස්ටික්වලින් හදන්නේ. ප්ලාස්ටික්වලත් වර්ග තිබෙනවා 1සිට 7 දක්වා. දිනපතා ආහාර ගෙන යන භාජන ගත යුත්තේ එහි යට අංක 5 සඳහන් කර ඇද්ද යන්න සොයා බලායි‍‍. විශේෂයෙන් වතුර බෝතල් සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් වර්ගය අංක 1ට අයත් නිසා ඒවා හිරු එළියට, උෂ්ණත්වයට නිරාවරණය වීමේදී එහි රසායන ද්‍රව්‍ය ජලයට එකතු වෙනවා. ඒ නිසා බොහෝ වෙලාවට වාහනවල වතුර බෝතල් තබා ගොස් ඒවා භාවිතයට ගැනීම සෞඛ්‍යයට අතිශයින් ම අහිතකරයි. මේ බලපෑම ඇතැම්විට අපට එකවර දැනෙන්නේ නැති වන්න පුළුවන්. එහෙත් බෝතල්වලින් ජලයට මුසුවන රසායන ද්‍රව්‍ය නිසා පිරිමින්ගේ පුරුෂ ශක්තිය හීන වීම, කලල අවස්ථාවේ පිරිමි දරුවන්ගේ ලිංගික අවයව ගැහැනු ලක්ෂණ පහළ කිරීම, පුරස්ථ ග්‍රන්ථිවල වගේම දරුවන්ගේ මොළයේ හා කාන්තාවන්ගේ පියයුරුවල විකෘති වර්ධනය, ගැහැනු දරුවන් අකලට වැඩිවිය පැමිණීම වැනි බලපෑම් ඇති වන්න පුළුවන්්‍.

මීට අමතරව ජාන විකෘතිතා, ඇදුම, සමේ රෝග, දෘෂ්ටි දුර්වලතා, බිහිරිබව, ආහාර නොදිරවීම, අක්මාවේ අවහිරතා, ස්ථූලතාව, දියවැඩියාව, අධික්‍රියාකාරීත්වය, ශරීර දුර්වලතාව, වමනය, හිස කැක්කුම, පාචනය ආදිය ප්ලාස්ටික්වල ඇති රසායන ද්‍රව්‍ය ශරීරගත වීම නිසා ඇතිවන්න පුළුවන්. විශේෂයෙන් වයස අවුරුද්දට අඩු දරුවන්ට බෝතල් කළ ජලය දීමෙන් වැළකී සිටිය යුතුමයි.”

බලධාරීන් මෙසේ පවසද්දී පානීය ජලය නැවත බෝතල්වලට පුරවා විකුණන පිරිස් ද සිටිනා බවට තොරතුරු අපට දැනගන්නට ලැබුණි. එහි බරපතළකම ඇත්තේ නළ ජලය පිරවීම හෝ ඒවා මුද්‍රා තැබීමේ සරල ක්‍රම භාවිතය හෝ නොව මේ ජලයේ පිරිසුදුබව හා ප්‍රමිතියෙන් තොර බාල ප්ලාස්ටික් බෝතල් භාවිතයත්, ඒවා ගබඩා කිරීමේදී රසායන ද්‍රව්‍ය ජලයට මුසුවන පරිදි උෂ්ණත්වය, හිරු එළිය ආදියට නිරාවරණය වන පරිදි තැබීම නිසා පාරිභෝගිකයන්ට සිදු වන දිගුකාලීන හානිය අද අපට නොපෙනීමය.

පිරිසුදු ජලය බීමට සෑම මිනිසකු‍ටම අයිතියක් ඇති බව ලොවම පිළිගනී. එහෙත් ඒ අයිතිය තමන්ට ඇති බව අප බොහෝ දෙනකුට මතක් වන්නේ නැත.

එසේම තමන් අලෙවි කරන ජල බෝතල‍ය පාරිභෝගිකයාට හානියක් නොවන අයුරින් ගබඩා කළ යුත්තේ කෙසේද යන්න නොදන්නා ජංගම අලෙවි සල් හිමියන් මෙන්ම ඔසුසල් හිමියන් ද සිටීම කාගේ වරදක් දැයි නොදන්නෙමු. කෙසේ වෙතත් තමන්ගේ සෞඛ්‍යය පිළිබඳ පළමුවැනි වගකීම ඇත්තේ තමන්ටමය. ඒ නිසා පානීය ජල බෝතලයක් මිලදී ගැනීමට පෙර එහි ප්‍රමිතිය, කල් ඉකුත්වීම, ලියාපදිංචි අංකය මෙන්ම අසුරනයේ ස්වභාවය සොයා බැලීම අපේම වගකීමකි. ඊට වඩා වීදුරු බෝතලයක හෝ පතුලේ අංක 5 යෙදූ ප්ලාස්ටික් බෝතලයක තමන් බොන වතුර ටික ගෙන ගියානම් වඩාත් ඇඟට ගුණ නොවේද?

– Silumina