අංක එකේ කොළඹ රැක ගනිමු – Lets protect Colombo

0
576
colombo-sri-lanka

විදේශිකයන්ගේ පැමිණීම වේගයෙන්ම වර්ධනය වන නගර අතර කොළඹ නගරය ලෝකයේ පළමු තැනට පත්ව තිබෙන බව ඊයේ වාර්තා වී තිබිණි. 2015 වර්ෂයේ පමණක්‌ කොළඹ නගරයට මිලියනයකට අධික විදේශිකයන් පැමිණ ඇතැයි මේ ගැන සමීක්‍ෂණය කළ වාර්තාවක දැක්‌වේ.

ලෝක ආර්ථික සංසදය වැදගත් කාරණයක්‌ අවධාරණය කර තිබේ. ඒ මෙම වර්ධනය පෙන්නුම් කර ඇත්තේ පසුගිය හය වසර පුරා ලබාගත් දත්ත වලට අනුව ය.

මෙය අවධානයට ලක්‌ විය යුතු කරුණකි. විශේෂයෙන් මේ වසර මුල් භාගයේ ලෝකයේ වේගයෙන් ම සංවර්ධනය වන නගර අතරින් ද පළමු තැන හිමිව තිබුණේ කොළඹට ය. එය දිනකින් දෙකකින් අත්කර ගන්නා ලද ජයග්‍රහණයක්‌ නොවේ.

කොළඹ නගරය සංවර්ධනය කිරීම ලේසි පහසු කටයුත්තක්‌ ව නො තිබුණු බව රටේ ජනතාවට අමුතුවෙන් කිව යුතු නොවේ. පදික වේදිකාවල ඇඟිල්ලක්‌ ගැසීමටවත් ඉඩක්‌ නොමැති තරමට තිබූ ඉටිරෙදි කඩපේලි, පාරිභෝගිකයන් ගසාකන කූට වෙළෙන්දන්, නොයෙක්‌ සමාජ විරෝධී ක්‍රියාවල නිරතවන්නන්ගෙන් පිරීගත් නගරයක්‌ කණපිට හැරවීම ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවේ. විශේෂයෙන් කොළඹ නගරය බුලත්කෙළ ගසන්නන්ගෙන් බේරා ගන්නට පරිසර ආරක්‍ෂණ පොලිසිය ක්‍රියා කරන විට බොහෝ දෙනෙක්‌ට එය විහිළුවක්‌ වූ බව අපට මතක ය.

ඇත්තෙන්ම කොළඹ නගරය විදේශිකයන් එන නගර අතරින් අංක එකට පත් වූයේ අප මේ සඳහන් කරනවාටත් වඩා දුෂ්කරතා රැසක්‌ මධ්‍යයේ ය. කොළඹ එතරම් ලස්‌සන වූයේ අලංකාර ලෙස ගොඩනැඟු ගොඩනැඟිලි නිසා ම නොවේ. වතුර මල් සහිත පොකුණුවල විදුලි එළිය නිසා ද නොවේ. විධිමත් ලෙස ගොඩනැඟූ මංමාවත් නිසාම නොවේ. මේ සියලු තැන්වල ගැවසෙන ජනතාව තුළ විනයක්‌, හික්‌මීමක්‌ තිබූ නිසා ය. රටක සංවර්ධනය යනු, නො එසේ නම් නගරයක සංවර්ධනය ලෙස හඳුනාගන්නේ එහි ජීවත්වෙන ජනතාවගේ සංවර්ධනයේ පිළිබිඹුවයි.

සියල්ල ශුද්ධ පවිත්‍ර කර කොළඹ ලස්‌සන කළ පසු විදේශයේ සිට පැමිණෙන සංචාරකයන් නොව මෙරටින් පිටව වෙනත් රටවල රැකියා කරන අය පවා නැවත මෙරටට පැමිණ පුදුමයෙන් පුදුමයට පත් වූ බව අතිශයෝක්‌තියක්‌ නොවේ. කොළඹ නගරය ලන්ඩනයේ වීදියක සිරිය ගත් බව බොහෝ දෙනෙක්‌ එකල කීවේ අල්ලස්‌ ලබාගත් නිසාද නොවේ. සැබෑ ශ්‍රී ලාංකීය හදවතකිනි.

අප දන්නා පරිදි කොළඹ නගරය කේන්ද්‍ර කරගත් ජලජ ප්‍රවාහන මාධ්‍යයක්‌ ද ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණි. කවර හේතුවක්‌ නිසා හෝ අද වන විට ඒ ගැන කතාවක්‌ හෝ නැත. එය හරිහැටි ක්‍රියාත්මක වී නම් කොළඹ නගරයේ වාහන තදබදය අවම කරන විකල්ප ප්‍රවාහන ක්‍රමයක්‌ තැනෙන්නට තිබිණි. එසේ වී නම් වර්තමානය වන විට නිකම්ම පාවෙමින් තිබෙන පාවෙන වෙළෙඳසල්වලට එවැනි ඉරණමක්‌ අත් නොවන්නට ද ඉඩ තිබිණි.

මේ දත්ත මගින් කියෑවෙන කොළඹ නගරය පසුගිය වර්ෂ හය තුළ සීග්‍ර සංවර්ධනයක්‌ අත්පත් කරගත්තේ නිර්මාණශීලී අයුරිනි. ගඳ ගසන මට්‌ටමේ තිබු බොර පැහැති පාසි පිරුණු බේරේ වැව, දියවන්නාව වැනි ජලාශ වලට ආකර්ෂණීය වටිනාකමක්‌ ලැබුණේ ද, ජනයා නිතර ගැවසෙන ස්‌ථාන බවට පත් වූයේ ද ඒ නිසාය. කොළඹ 07 මනරම් වටපිටාවක්‌ සහිත ප්‍රදේශයක්‌ ලෙස සංවර්ධනය කෙරුණේ ද නිර්මාණශීලී අයුරිනි.

එහෙත් කනගාටුවෙන් යුතුව වුවද සටහන් කළ යුතුව ඇත්තේ මේ තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් වියෑකී යන තත්ත්වයක්‌ දකින්නට ඇති බවය. උත්සව සමයේ රාත්‍රිය එළැඹෙන විට දකින්නට ඇති මිනිසුන්ගෙන් හිස්‌ වූ කොළඹ එකම කොළ ගොඩකි. මේවා විදේශිකයන්ට එතරම් ප්‍රිය දසුන් නොවේ.

ලෝක ආර්ථික සංසදයේ වාර්තාවලට අනුව අප පළමු ස්‌ථානයට පත්ව ඇත්තේ චීනයේ චෙන්ඩු නගරයද, එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරය ද, ජපානයේ ඔසාකා නගරය ද පරදවමිනි. හෙටින් එළැඹෙන 2016 වර්ෂයේ අප උත්සාහ කළ යුත්තේ ඒ පළමු තැන හිමිකර ගත් කොළඹ නගරය ආරක්‍ෂා කර ගැනීමටය

– Divaina