දේශීය වෙදකම වෙනුවට “ස්‌පා” කඩ – SPA instead of Indigenous Medicine – Sri Lanka

0
1233
ayurveda

පරිපාලන කටයුතු බරපතළ ලෙස අවුල් වී ඇති බැවින් ගම්පහ වික්‍රමාරච්චි ආයුරේවේද විද්‍යායතනයේ සියලුම කටයුතු නිසි බලධරයකු යටතට පත්කිරීම උසස්‌ අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල තීරණය කර ඇති බව පෙරේදා ‘දිවයින’ පුවත්පත වාර්තා කර තිබිණි. උසස්‌ අධ්‍යාපනයේ පවතින පරිපාලන දුර්වලකම් නමැති රෝගය වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයට බෝවීම ගැන පුදුම වන්නට කාරණයක්‌ නැත. එහෙත් අපගේ නිමිත්ත එය නොවේ.

කවර හේතුවක්‌ නිසා හෝ ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන්ගේ රැකියා අර්බුදයද අවුල් සහගත තත්ත්වයක්‌ ඇති කර තිබීමය. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත යක්‌කල වික්‍රමාරච්චි විද්‍යායතනයෙන්ද, යාපනය කයියඩ්සිද්ධ දේශීය වෛද්‍ය විද්‍යායතනයෙන්ද, කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත බොරැල්ල දේශීය වෛද්‍ය විද්‍යාලයෙන්ද දේශීය වෛද්‍ය උපාධිය ලබාගත් දහසකට ආසන්න පිරිසකට රැකියා හිමිව නැත. ඒ නිසාම ඉදිරියේදීද එම දේශීය වෛද්‍ය විද්‍යාලවලින් උපාධිය ලබා පැමිණෙන පිරිසට රැකියා පෝලිමකට එක්‌වීමට සිදුවනු ඇතැයි යන අවිනිශ්චිතතාවක්‌ද තිබේ.

ආයුර්වේද වෛද්‍ය සංගමයේ තොරතුරු වලට අනුව වසර පහක පමණ කාලයක්‌ වෛද්‍ය උපාධියක්‌ද, වසරක සීමාවාසික පුහුණුවක්‌ද සම්පූර්ණ කර ඇති බොහෝ පිරිසක්‌ මේ රැකියා විරහිත උපාධිධාරීන් පිරිස අතර වෙති.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට, විශේෂයෙන් ශ්‍රී ලාංකීය ආයුර්වේදයට ලොව පුරා විශාල පිළිගැනීමක්‌ ඇතිව තිබෙන මොහොතක එය ගුණාත්මක වශයෙන් වර්ධනීය තලයකට ගෙන ඒමට රැකියා විරහිත ආයුර්වේද වෛද්‍යවරු යොදාගැනීම පිළිබඳව වගකිවයුත්තන් උදාසීන ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීම පුදුමයට කරුණකි. විශේෂයෙන් මේ කාලවකවානුව හොර වෙදුන් රට පුරා හතු පිපෙන ගණනින් පැතිරෙන යුගයකි. හොර වෙදුන් බෝවීමට බටහිර වෛද්‍ය, ආයුර්වේද වෛද්‍ය යනුවෙන් වෙනසක්‌ නැත. “ආයුර්වේද” යෑයි නාමිකව හඳුන්වාගන්නා මේ “තෙල් බෙහෙත් කාරයන්” පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුද නොවේ. උපාධිය ලැබ දේශීය වෛද්‍ය විද්‍යාලයකින් පිටවූ අයද නොවේ. කොණ්‌ඩය වැවෙන්නට, වාත අමාරුවලට, තුවාල දද වණ කුෂ්ඨ ආදී හමේ රෝග වලට, “අත්දුටුවයි සත්තයි” කියමින් එන්ජින් ඔයිල් විකුණන කෂඩයින්ය.

දේව වරමින් තැඹිලි පොවා රෝගීන් අවසන් ගමන් යවන්නේද මෙවැනි “රටේ වෙදුන්”ය. මෙවැනි “හොර වෙදුන්ට” පවා රටේ පිළිගැනීමක්‌ ඇතිවන්නේ අවුරුදු හයක්‌ කට්‌ට කා උපාධිය ගත් ආයුර්වේද වෛද්‍යවරු රැසක්‌ අවතක්‌සේරු කරන තත්ත්වයන් තුළය.

එපමණක්‌ නොව, රට පුරා විහිද පැතිර ඇති ආයුර්වේද සම්බාහන සායන, ආයුර්වේද ස්‌පා වල සැබවින්ම සිදුවන්නේ “ආයුර්වේද” චිකිත්සක ක්‍රමද යන්න සොයා බැලීමද මේ කාරණයට අදාළය. එම “ස්‌පා” කඩවල සිටින්නේ සැබෑම ආයුර්වේද වෛද්‍යවරුද යන්නත් සොයා බැලිය යුතුය. ආයුර්වේද වෛද්‍ය උපාධිය ලබාගත් බොහෝ පිරිසක්‌ රැකියා විරහිතව සිටියදී, මස්‌කඩ කාරයන් “ආයුර්වේද ස්‌පා” නමින් ගණිකා නිවාස ආරම්භ කරන්නේ කොතැනක හෝ වරදක්‌ තිබෙන නිසාය.

අපේ විශ්වාසය මේ ආයුර්වේද වෛද්‍ය උපාධිය ලැබ රැකියා විරහිතව සිටින සියලු දෙනාටම කිසිදු අවුලකින් තොරව රැකියා ලබාදිය හැකි බවය. රට පුරාම බෝවන රෝග සහ බෝනොවන රෝග ව්‍යාප්තියක්‌ දක්‌නට ලැබේ. ජාතික සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රජා සෞඛ්‍ය සේවය එම තත්ත්වය අවම කරගැනීමට මනා පිටිවහලකි. අවම වශයෙන් මේ ආයුර්වේද උපාධිධාරීන් එම ප්‍රජා සෞඛ්‍ය සේවා කටයුතු සඳහා ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් ලෙස බඳවා ගැනීම හෝ කළ යුතුව තිබෙන්නකි. ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළක්‌ සඳහා යෝජනාවලියක්‌ද අදාළ අංශ වෙත බාරදී ඇති බව කියති. එහෙත් එවැනි දේ ක්‍රියාත්මක කිරීමේ පමාවක්‌ තිබේ. එය බරපතළ අඩුපාඩුවක්‌ ලෙස අපි දකිමු.

මේ උපාධිධාරීන් ආයුර්වේද වෛද්‍ය උපාධිය ලබාගන්නේ කාලය, ශ්‍රමය පමණක්‌ නොව රජයේ මුදල්ද වැයකරමිනි. මේ දැනුමද ප්‍රයෝජනයට ගෙන දේශීය වෛද්‍ය විද්‍යාව සංවර්ධනය කිරීමේ ප්‍රයෝජනවත් වැඩපිළිවෙලකට යා හැකි බව අමුතුවෙන් කිවයුතු නැත.

ගම්පහ ආයුර්වේද විදුහලේ පරිපාලන අවුල පමණක්‌ නොව තවත් බොහෝ අවුල් ආයුර්වේදය සම්බන්ධයෙන් ඇති බව පමණක්‌ අපි නැවතත් කියමු. ආයුර්වේද උපාධිධාරීන්ගේ “වහා විසඳිය යුතු” ප්‍රශ්නය ඉන් එකකි.

– Divaina