ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි හමුදානායකයන් 50 ක්‌ බේරා ගැනීමේ සැලසුම සෝල්හයිම් රහස්‌ හෙලිකරයි – Plans are revealed to protect prabhakaran leader of LTTE

0
636

ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල වී ඇති අවස්‌ථාවේ ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි හමුදා නායකයන් 25 ත් 50 ත් අතර සංඛ්‍යාවක්‌ සහ ඔවුන්ගේ පවුල්වල අය බේරා ගැනීමට දියත්වී තිබූ නෝර්වේ ඇමරිකානු සැලැස්‌මක්‌ හෙළි වී ඇත.

මේ සැලසුමේ අරමුණ වූයේ ඔවුන්ව විදේශ රටකට ගෙන යැමයි. මෙම රහස්‌ හෙලි කර ඇත්තේ හිටපු නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම්ය.

මෙම සැලසුමෙන් හෙළි වී ඇති තොරතුරු මෙසේයි.

1. කොටි ආයුධ ජාලයේ ප්‍රධානී කේ. පී. නැමැත්තාව මැලේසියාවේ කුවාලාම්පුරයේ සිට ඔස්‌ලෝ නුවරට ගෙන යැම සඳහා නෝවිජියානු ආරක්‍ෂක පොලිසිය කුවාලාම්පුරයට පැමිණීම.

2. කොටි නායකත්වය ගලවා ගැනීමට ඇමරිකානු ගොඩබිම් යාත්‍රාවක්‌ මුලතිව් වෙරළට එවීම.

3. මෙම ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා හවායි දූපතේ ශාන්තිකර කලාපීය හමුදා මූලස්‌ථානයෙන් පූර්ණ කණ්‌ඩායමක්‌ එවන්නැයි හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ ඉල්ලීම.

4. කුවාලාම්පුරයේදී ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති ටෝරේ හැට්‌රම් සහ කේ. පී. අතර රහස්‌ සාකච්ඡාවක්‌ පැවැත්වීම.

එරික්‌ සෝල්හයිම් විසින් මාර්ක්‌ ෂොල්ටර් නැමැති ලේඛකයාට හෙලි කර ඇති තොරතුරුවලට අනුව ප්‍රභාකරන් ඇතුළු කොටි හමුදා නායකයන් ගලවා ගැනීමේ සැලසුමට රටවල් 3 ක්‌ සම්බන්ධ වී ඇත.

මේ සැලසුම ක්‍රියාත්මක කිරීමට ඇමරිකානු ශාන්තිකර කලාපීය විධානයේ නාවුක සේනාංකය මුලතිව් මුහුදු කලාපයට එවීමටද තීරණය වී තිබේ.

මෙහි කොටි ගලවා ගැනීමේ සැලසුම අඩංගු කරුණු 16 ක්‌ කේ. පී. විසින් ප්‍රභාකරන්ට එවා ඇති අතර ප්‍රභාකරන් එම කරුණු පිළිගත නොහැකි බව පවසා ඇත.

මෙම පසුබිම මැද හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ පවසා ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් විය හැකි බවයි.

හිටපු නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම් වැඩිදුරටත් මෙලෙස පවසා ඇත.

කොටි සංවිධානයට වඩා ශක්‌තිමත් තත්ත්වයක රජය සිටියේය. කොටි සංවිධානය අපේ යෝජනාව පිළිගත්තේ නම් ඔවුන්ගේ අරගලය ගෙන යැමේ තත්ත්වයක සිටිනු නියතය.

අර්බුදය විසඳීම සඳහා කුවාලාලම්පුරයේ රහස්‌ සාකච්ඡාවක්‌ පැවැත් වුණා. ඊට බැසිල් රාජපක්‍ෂගේ සහායද ලැබුණා. මේ සාකච්ඡාවට නෝර්වේ රාජ්‍යයේ ජෝන් වෙස්‌ට්‌බර්ග් තෝමස්‌ ස්‌ට්‍රැන්ජලන්ට්‌ වී. රුද්ද්‍රකුමාරන් සහ ඡේ. මහේශ්වරන් සහාභාගී වූහ.

නෝර්වේ අරමුණ වුයේ සටන් විරාමයක්‌ ක්‍රියාත්මක කිරීමයි. කොටු වී ඇති සිවිල් වැසියන් සහ යටත්වීමට කැමැති කොටින් වෙනුවෙන් විශාල නැවක්‌ වන්නි වෙරළට යෑවීම අපේ අදහස වුණා යෑයි සෝල්හයිම් හෙළි කර ඇත.

එරික්‌ සෝල්හයිම් මෙම තොරතුරු හෙළි කිරීමට පෙර 2009 මැයි මස දිනෙක වාර්තා වූයේ ඇමරිකානු මැරයින්, නාවික හා ගුවන් භටයන් රැගත් සී. 130 ගර්කියුලස්‌ යානාවක්‌ හවායි දූපතේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේය. මේ හර්කියුලස්‌ යානාව කටුනායක ගුවන් තොටුපළට එන බවට ඇමරිකානු බලධාරීන් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත්තේ එය හවායි ගුවන් තොටුපළින් පිටත් වූ පසුයි.

එරික්‌ සෝල්හයිම් හා රොබට්‌ බ්ලේක්‌ එකතු වී කොටි හමුදා නායකත්වය බේරා ගැනීමට සැලසුම් කළ බව හිටපු කොටි හිතවාදියකු වූ ගැස්‌පර් රාඡ් පියනමද අනාවරණය කර තිබුණි.

කොටින් ගලවා ගැනීමට දියත් කළ මෙම රහස්‌ සැලසුම ප්‍රභාකරන් ප්‍රතික්‍ෂේප කර තිබේ. එහෙත් එරික්‌ සෝල්හයිම් හා රොබට්‌ බ්ලේක්‌ කොටි ගලවා ගැනීමට කළ සැලසුමේ තොරතුරු ජනතාවගෙන් වසන් වී තිබුණි.

මේ පසුබිම මැද ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යුද අපරාධ චෝදනා යොමු කළ ප්‍රධාන තැනැත්තා රොබට්‌ බ්ලේක්‌ යෑයි තහවුරු වී ඇත.

ඔහු වන්නි මෙහෙයුම අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කරන බවට තර්ජනය කර තිබූ බව සෝල්හයිම් විසින් අනාවරණය කර තිබේ. සෝල්හයිම්ද ඊට දායක වෙමින් ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයට ගොස්‌ ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කර ඇති බවට සාක්‍ෂි දුන්නේය.

මොවුන් දෙදෙනාගේම අරමුණ වූයේ ශ්‍රී ලංකාවට දඬුවම් කිරීමයි.

කීර්ති වර්ණකුලසූරිය

– Divaina