කොටියෙකු පැරදූ වීර කාන්තාව – A giant tiger is defeated by a women

0
670
indian-tiger1

අපි ඇය කමලා දේවි ලෙසින් හඳුන්වමු. කමලා දේවි පදිංචි ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ ශ්‍රීනගර් හි උත්තර්කාන්දි නම් වනගත ගම්මානයේ.
ඉන්දියාවේ බොහෝ වනගත ගම්වල කාන්තාවන් මෙන්ම කමලා දේවිත් උපතින්ම දුක උරුම කරගත් කාන්තාවක්. ඇගේ සැමියා මීට කලකට පෙර මියගියේ කමලා දේවි සහ ඇගේ කුඩා දරුවා මෙලොව තනිකරමිනි.

සැමියාගේ අකල් වියෝව නිසා කමලාටත් ඇගේ දරුවාටත් බොහෝ දුක් ගැහැටවලට මුහුණ දෙන්න වුණා. ගමේ බොහෝ දෙනෙක් විතරක් ‍නෙවෙයි කමලා දේවිගේ මව ඇතුළු ඥාතීන් පවා ඇය ප්‍රතික්‍ෂේප කරලා. ඒ වැන්දඹුවක්වීම නිසා. ඒත් කමලාගේ සැමියාගේ මව සහ පියා පමණක් ඇයට යම් සෙනෙහසක් දැක්වූවා.

කාලය ගෙවී යද්දි ඒ දෙදෙනාත් මිය ගියා. කමලාට කිසිම හව්හරණක් නැතිව ගියා. අවසානයේ ඇය තම සැමියා සතුව තිබූ කුඩා ගොවිපළ කරගෙන යෑමට උදෑසනම තම පුතාගේ රාජකාරි නිම කරපු කමලා වනය මැද ගොවිපළට යන්න පිටත් වුණා. දවස පුරාම ගොවිපළේ වැඩ කරපු කමලා දේවි හවස ඇඳිරි වැටෙන්නට පෙර නිවසට එන්නට පිටත් වෙනවා. කමලාගේ දින චර්යාව සැමදාම ගෙවුණේ මේ විදියටයි.
indian-tiger2
දිනක් කමලා ගොවිපළේ සිට ආපසු නිවසට එන්නට පිටත් වුණත් හැකිවුණේ නෑ. එක රූස්ස ගහක් ළඟදි ඇගේ ගමන නතර වුණා. ඒ ගසේ අත්තක රැඳී සිටි දැවැන්ත කොටියෙක් කමලාගේ ඇඟ මතට පැන්නා. ඇයට ඒ දැවැන්තයාගේ බර දරාගන්න බැරි වුණා. කමලා බිම ඇද වැටුණා. ඇගේ අතේ තිබුණ කුඩා රේක්කය ඈතට විසිවී ගියා.
දැවැන්ත කොටියා සිතුසේ කමලාගේ මුහුණ හපා කන්නට වුණා. ඒත් කමලා දේවිත් කොටියා ඉදිරියේ පරාජය බාරගන්න සූදානම් උනේ නෑ. ඇය හැකි වෙර යොදා කොටියා ඈතට තල්ලු කරා. අතට අහුවෙන ගල්වලින් ලී කෑලිවලින් කොටියාට පහර දුන්නා. ඇගේ මුහුණ ගෙල කොටි දත්වලින් ඉරී ගියා. ඇගේ දෙඅතම දරුණු ලෙස කොටියා සපා කෑවා.

කොටියාගේ සහ කමලාගේ ‍පොරය පැයක් විතර පැවතුණා. අවසානයේ ඇයට තමාගේ කුඩා රේක්කය අතට අසුවුණා. ඇය මුළු වෙර යොදා කොටියාට ඒකෙන් පහර දුන්නා. කමලාගෙන් ගැලවෙන්න බැරි නිසා කොටියා පලා ගියේ ‍ලේ ගලන තුවාල සමග. කමලා ගමට බඩගාගෙන ආවා. ඇයට ගැමියන් පෙවූ වතුර පවා උගුර සිදුරු වූ තැනින් පිටතට ආවා. රෝහ‍ලේදී කමලා සැත්කම් කිහිපයකට ලක් කරා. ඇයට මැහුම් 100කට වඩා යොදන්න වෛද්‍යවරුන්ට සිදුවුණා.

කමලා සමග ‍පොර බැදූ කොටියා තුවාල සහිතව මැරී සිටිනවා ගැමියන්ට හමුවී තිබෙනවා. කුඩා රේක්කයක් පමණක් අතැතිව බියකරු කොටියෙකු පැරදවූ මේ දිරිය කත දැන් හොඳින් සුවවී ගොවිපළේ කටයුතුවලට යළිත් වනයට යන බව වාර්තා වෙනවා.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
– Lakbima