නව සොයා ගැනීම් කළ ජීවකයන්ට මල් මිටක් – New invention from doctors

0
1039
kidney

ලංකාවේ වකුගඩු රෝගය සම්බන්ධයෙන් අන් කවරදාටත් වඩා වැඩි අවධානයක් මේ අවධියේ යොමුවී තිබේ. ඊට හේතුව රජරට ප්‍රදේශයේ සහ තවත් ප්‍රදේශ ගණනාවක වකුගඩු රෝගයට ගොදුරු වී මියයන අයගේ ප්‍රමාණය බරපතළ ලෙස ඉහළ යාමය. එමෙන්ම වකුගඩු රෝගීන් සුවපත් කිරීම සඳහා ආණ්ඩුවට සැලකිය යුතු මුදලක් වැය කිරීමට සිදුවේ. වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක් කළහොත් ඒ සඳහා රුපියල් ලක්ෂ 20කට අධික මුදලක් වැයවේ. වකුගඩු රෝගයට ගොදුරු වී දිනකට ලංකාවේ 13 දෙනෙක් මියයන බව වර්තාවල දැක්වේ. එමෙන්ම එක් වකුගඩු රෝගියෙක් සඳහා රජය විසින් වසරකට රුපියල් ලක්ෂ 50ක මුදලක් වැය කරනු ලබයි. එය රටකට ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.

මෙම මහා පරිමාණ ව්‍යසනය පිටුදැකීම සඳහා ජලයට බැර ලෝහ එකතු කරන රසායනික ද්‍රව්‍යයද රජය විසින් දැනටමත් තහනම් කර තිබේ. රටේ වකුගඩු රෝගය සම්බන්ධයෙන් යළිත් කතා කරන්නට මූලික හේතුව වූයේ වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීම සඳහා යොදාගන්න ලවණ සාන්ද්‍රණය මෙරටදී නිෂ්පාදනය කිරීමට සැලසුම් කිරීමය. එය දැනට ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙන් සහ මැ‍ලේසියාවෙනි. ඒ සඳහාද විශාල වියදමක් දැරීමට සිදුවේ. නමුත් කාර්මික තාක්ෂණික ආයතනයේ විද්‍යාඥයන් විසින් නිපද වූ ලවණ සාන්ද්‍රණය මහනුවර මහ රෝහ‍ලේ වකුගඩු ඒකකයේ අත්හදා බලා ඇති අතර සාර්ථක ප්‍රතිඵල ලැබි ඇති හෙයින් එය මෙරට නිෂ්පාදනය කිරීමට තීරණය කර ඇත.

රටක තිබෙන ප්‍රධානම ව්‍යසනයන් පිටු දැකීම සඳහා මෙවැනි විද්‍යාත්මක පර්යේෂණ සහ ඒ හරහා කෙරෙන නව සොයාගැනීම් අත්‍යවශ්‍ය වේ. මෙම සොයා ගැනීම් සැබැවින්ම රටක් ලෙස අගය කළ යුතු සහ ආඩම්බර විය විය හැකි තත්ත්වයකි. මෙවැනි පරීක්ෂණ කිරීම සහ නව විද්‍යාත්මක සොයාගැනීම් කිරීම සඳහා ඉතිහාසයේ මුදල් ප්‍රතිපාදන සහ සෙසු පහසුකම් වෙන් වූ ප්‍රමාණය සීමිත බව රටම දන්නා කරුණකි. එම තත්ත්වය ඉදිරියේදී වෙනස් විය යුතුව තිබේ. එමෙන්ම මෙවැනි සොයාගැනීම් වළක්වාලීම සඳහා ජාත්‍යන්තර ඖෂධ මාෆියාව කොපමණ කුමන්ත්‍රණ දියත් කර ඇතිද යන්න අපේ රටට නොව ලෝකයටම රහසක් නොවේ.

බටහිර ඖෂධ සමාගම් විසින් තමන්ගේ අරමුණු වෙනුවෙන් ඕනෑම මිලක් ගෙවීමට සූදානම් බව ඉතා හොඳින් දන්නා ජනාධිපතිවරයෙක් අද මේ රටේ පාලකයා වී තිබේ. ඔහු සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස සිටියදී බටහිර ඖෂධ සමාගම්වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමීප අත්දැකීම් ලබා ඇත. රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව කෙරුණු තවත් එවැනි පරීක්ෂණයක ප්‍රතිඵලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වාර්තා වී තිබිණ. සර්ප දෂ්ටනය සඳහා ප්‍රතිජීවක ඖෂධයක් හඳුන්වා දීමට එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන් පිරිසක් සමත් වී තිබේ. වාර්ෂිකව සර්පයන් දෂ්ට කිරිම නිසා රෝගීන් 41,000ක් රෝහල් ගත වේ. රෝගීන් සඳහා දැනට ලබාදෙන ප්‍රතිවිෂ එන්නත් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙනි. මෙම ආනයනික එන්නත නිසා රෝගීන්ගෙන් 80කට පමණ අතුරු ආබාධවලට ගොදුරුවීමට සිදුව තිබේ. එමෙන්ම එම රෝගීන්ගෙන් අඩක් ජීවිත අවදානමටද මුහුණ දේ.

මෙම හේතුව මත පේරාදෙණිය විශ්වවිද්‍යාලය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, තවත් විශේෂිත පර්යේෂණ කණ්ඩායම් එක්ව මෙම පර්යේෂණය කර නව ප්‍රතිවිෂ ඖෂධය සොයාගෙන ඇත. මෙය ලබන වසරේ සායනික කටයුතු සඳහා භාවිත කෙරෙනු ඇත. මෙම සොයාගැනීම් දෙක සම්බන්ධයෙන් රටේම පුළුල් අවධානයක් යොමු වී නැත. ස්ත්‍රී දූෂකයන්, ළමා අපචාරයන් සම්බන්ධයෙන් මාධ්‍ය දක්වන උනන්දුවද මේ කරුණු අරභයා දක්වා නැති බව පෙනේ. කෙසේ නමුත් මෙවැනි නව සොයා ගැනීම් කෙරෙනුයේ දහසක් කුමන්ත්‍රණ පරාජය කරමිනි. මුදල් ගැන නොව රට ගැන සිතන මෙවැනි සීමිත උතුම් මිනිසුන් ප්‍රමාණයක් අපේ රටේ සිටීම අප සියලු දෙනාගේ වාසනාවකි. එම සද්කාර්යයන්ට මැදිහත් වූ සියලු දෙනාට මෙම සටහන උපහාරයක් වේවායි ප්‍රාර්ථනා කරමු.

– Lakbima