කොටි සැකකරුවන්ට දඬුවම් මිස නිදහස නොදිය යුතුය

0
717
Participants during the Special Session on the human rights situation in the Syrian Arab Republic. Photo by Jean-Marc FerrŽ

දරුණු ගනයේ එල්ටීටීඊ සැකකරුවන් නිදහස්‌ කිරීම සඳහා මේ වන විට සියල්ල සුදානම්ය. පොදු සමාවක්‌ ලෙස මුලින් සිදුකරන්නට ගිය මේ කටයුත්ත සමාජයේ විවිධ පාර්ශව මෙන්ම ආණ්‌ඩුවේ යම්යම් කණ්‌ඩායම්වල බලපෑම් ද හමුවේ ඇප ලබාදීම් ලෙස හඳුන්වමින් සිදුකරන්නට නියමිතය.

බන්ධනාගාරගතව සිටින එල්.ටී.ටී.ඊ සැකකරුවන් ඇතුළු දෙමළ රැඳවියන් පොදු සමාවක්‌ යටතේ නිදහස්‌ නොකිරීමටද, ඔවුන් නීත්‍යනුකූලව ඇප මත කඩිනමින් නිදහස්‌ කිරීමේ වැඩපිළිවෙලක්‌ ක්‍රියාත්මක කිරීමටද රජය තීරණය කර ඇතැයි ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මාධ්‍ය වෙත පවසා තිබේ.

බන්ධනාගාර ගතව සිටින එල්.ටී.ටී.ඊ සැකකරුවන් ඇතුළු දෙමළ රැඳවියන් නිදහස්‌ කිරීම සම්බන්ධයෙන් මීට පෙර කැබිනට්‌ මණ්‌ඩලයට යෝජනා ඉදිරිපත් වුවද එහිදී විවිධ පාර්ශව වලින් එල්ලවූ විරෝධතා මත ඒවා අඩපණ විය. එහෙත් තම උත්සාහය අත්නොහැරි දෙමළ පක්‌ෂ හා දෙමළ ඩයස්‌පෝරාව අවසානයේ කෙසේ හෝ ජයගෙන තිබේ.

ජිනීවා සමුළුවේදී මානව හිමිකම් පිළිබඳ ශ්‍රී ලංකාවට නොයෙක්‌ චෝදනා එල්ල කරමින් එල්.ටී.ටී.ඊ. ඩයස්‌පෝරාවේ සහ ඊට පක්‌ෂපාතී විජාතික බලවේග උත්සාහ කළේ මේ දරුණු ත්‍රස්‌තවාදීන් කෙසේ හෝ නිදහස්‌ කරවා ගන්නටය. පරාජයට පත්වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට යළි පණ පෙවීමට එල්.ටී.ටී.ඊ. ඩයස්‌පෝරාව යළි උත්සාහ දරමින් සිටී. ඒ සඳහා ඔවුන්ට මේ සිරගතව සිටින ත්‍රස්‌තවාදී සැකකරුවන් අත්‍යවශ්‍ය පිරිසකි. එල්.ටී.ටී.ඊ. ඩයස්‌පෝරාව විවිධ ත්‍රස්‌ත ක්‍රියාවලට සැකපිට බන්ධනාගාරගතව සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට නීති හා මූල්‍ය ආධාර ලබාදෙන බවද රහසක්‌ නොවේ. වේළුපිල්ලේ ප්‍රභාකරන් නැති වුවද නව නායකත්වයක්‌ යටතේ එල්.ටී.ටී.ඊය ප්‍රති නිර්මාණය කිරීම එල්.ටී.ටී.ඊ. ඩයස්‌පෝරාවේ අරමුණ බවට සැක නැත. මේ දෙමළ ඩයස්‌පෝරාවට එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වන්නේ ඒ තුළ ඔවුන්ගේ පැවැත්ම මුළුමනින්ම රැඳී ඇති නිසාය. ලොව පුරා දෙමළ ප්‍රජාවෙන් හා ජාත්‍යන්තරයෙන් ආධාර එකතු කිරීමට නම් එල්ටීටීඊ යළි නිර්මාණය විය යුතුය. එසේ නොමැතිව කිසිවකුත් මේ දෙමළ ඩයස්‌පෝරාවට ආධාර ලබාදෙන්නේ නැත.

කොළඹ – මැගසින්, අනුරාධපුරය සහ මඩකලපුව බන්ධනාගාරවල සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ඇතුළු දෙමළ රැඳවියන් පිරිසක්‌ තමන් නිදහස්‌ කරන ලෙස ඉල්ලා පසුගිය දිනවල උපවාසයකද නිරත වූහ. මෙය පසුපස සිටියේද දෙමළ ඩයස්‌පෝරාව සහ මෙරට දෙමළ දේශපාලනඥයන් පිරිසකි. ඔවුන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙන බවට අදාළ දෙමළ දේශපාලනඥයන් මැදිහත්වී රජයෙන් පොරොන්දුවක්‌ ගත් අතර ඒ මත එය තාවකාලිකව අත්හිටුවන ලදී.

බන්ධනාගාරගතව සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් මුදා ගැනීම සඳහා ද්‍රවිඩ සන්ධානය ඇතුළු විවිධ සංවිධාන දැඩි උත්සාහයක යෙදී ඇත්තේ ජීනීවා යෝජනාවෙන් නිර්දේශ වූ දේශීය යාන්ත්‍රණය මගින් ඔවුන්ට එල්ල වන යුද අපරාධ චෝදනාවලින් බේරා ගැනීමට බව පැවසේ.

දේශීය යාන්ත්‍රණය පිහිටුවීමට පෙර මෙම කොටි ක්‍රියාකාරීන් මුදා ගැනීම, ද්‍රවිඩ සන්ධානය ප්‍රමුඛ සෙසු සංවිධානවල අරමුණ වී තිබේ.

යුද අපරාධ සිදුකළ කොටි ක්‍රියාකාරීන්ටද චෝදනා ඉදිරිපත් කර දඬුවම් කළ යුතු යෑයි ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌වරයා පවා සිය වාර්තාවේ සඳහන් කර තිබියදී මෙසේ මෙම පිරිස්‌ කවරාකාරයෙන් හෝ නිදහස්‌ කරන්නට කටයුතු කිරීම පුදුම සහගතය.

අනෙක්‌ අතට මෙසේ ඇප ලබාදීමෙන් පසු යම් කලක්‌ ගතවෙද්දී නීතිපති දෙපාර්තමේන්තුව හරහා ඔවුන් වෙනුවෙන් කළ යුතු ඕනෑම දෙයක්‌ අවශ්‍ය නම් සිදු කරන්නට හැකිය. අනෙක්‌ අතට මේ දරුණු ගනයේ කොටි සැකකරුවන් රටින් පලායැමේ දැඩි අවදානමක්‌ද තිබේ.

පසුගිය කාලය තුළ රජයේ විවිධ තනතුරු දැරූ රජයේ නිලධාරීන් තුන්දහස්‌ ගණනක්‌ මේ වන විට මුල්‍ය අපරාධ කොට්‌ඨාසය මගින් ප්‍රශ්න කිරීම්වලට ලක්‌කර තිබේ. මේ වන විටත් තවත් දහස්‌ ගණනක්‌ සම්බන්ධයෙන් පරීක්‌ෂණ පැවැත්වේ. මේ අය අතරින් ඇතැමුන් යම් යම් දුෂණ ක්‍රියාවන්ට සම්බන්ධ අය වන්නට පුළුවන. එහෙත් බහුතරයක්‌ නිල මට්‌ටමින් රාජකාරී සිදුකළ නිලධාරීන්ය. මේ නිලධාරීන් බහුතරයක්‌ දැන් සිටින්නේ කවර අවස්‌ථාවක හෝ තමන්ට සිරගෙදර තපින්නට වේ යෑයි බියෙනි. අද මේ දරුණු ගනයේ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් වෙනුවෙන් කතා කරන කිසිදු ඇමැතිවරයෙක්‌ හෝ දේශපාලනඥයෙක්‌ මේ රජයේ සේවකයන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. එවන් තත්ත්වයක්‌ තුළ කොටි සැකකරුවන් නිදහස්‌ කිරීම බරපතළ තත්ත්වයකි.

– Divaina