ඉන්දියන් සාගරේ මුතුඇටය කාමාතුරයන්ගේ දේශය වෙයිද?

0
604
dead

මෑත කාලීනව ජාත්‍යන්තරයේ පවා මෙරට නාමය හැඳින් වූයේ අසල්වැසියන් සමඟ සුහදව ජීවත්වන, ආගන්තුක සත්කාර උපරිමයෙන්ම සිදු කරන වැසියන් ජීවත්වන රටක්‌ ලෙසය. නමුත් දැන් එය සම්පූර්ණයෙන්ම වෙනස්‌ වී ඇත. වර්තමානය වන විට මෙරට මිනීමැරුම්, ස්‌ත්‍රී දූෂණ, මංකොල්ලකෑම් ආදි නොයෙක්‌ ගණයේ අපරාධ දිනපතාම සිදුවේ. මෙලෙස සිදුවන අපරාධ රැල්ල මැඩපැවැත්වීමට නොහැකි වුවහොත් නුදුරු දිනයකදීම ලෝකයේ අපරාධ වැඩියෙන්ම සිදුවන රටේ නම ලෙසට මෙරට නාමය හංවඩු ගැසේ.

මේ කතා කරන්න යන්නේ ද දිනපතාම සිදුවන අපරාධ ගොන්නට එකතු වූ තවත් එක්‌ අපරාධයක්‌ ගැනය. එනම් තම අනියම් සැමියා විසින් එක්‌දරු මවක්‌ ඝාතනය කර පුළුස්‌සා දැමූ සිද්ධියක්‌ පිළිබඳවයි. කතාව පෙළ ගැසෙන්නේ මෙලෙසින්ය.

කාන්ති, රත්මල්ගහවැව, වේවැල්කැටිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි එක්‌දරු මවකි. ඇයගේ ස්‌වාමි පුරුෂයා මියගියේ මීට වසර කිහිපයකට පෙරය. කාන්තිගේ එකම දියණිය විවාහ වී තම ස්‌වාමි පුරුෂයා සමඟ වෙනම ජීවත් වෙයි.

තම දියණිය විවාහවීමෙන් පසු කාන්ති ජීවත් වූයේ තනිවමය. මේ අතර කාලය තුළදී ඇය එම ප්‍රදේශයේ 30 හැවිරිදි විවාහක පුද්ගලයකු සමඟ අනියම් සම්බන්ධතාවක්‌ ඇතිකර ගත්තාය. ඔහු නමින් රවිඳුය. හොර රහසේ ඇති කරගත් මෙම සම්බන්ධතාව නොබෝ දිනක්‌ ගතවීමට මත්තෙන් එම ප්‍රදේශයේ කාටත් රහසක්‌ නොවීය.

රවිඳු විවාහකයෙකි. එසේම මත්පැන් පානයට තදින් ඇබ්බැහි වූවෙකි. නමුත් කාන්තිට මේ කිසිම දෙයක්‌ ගැටලුවක්‌ වූයේ නැත. ඇය රවිඳුට තම පණ දෙවැනි කොට ආදරය කළාය. තම දියණියත් නොමැතිව තනිව ජීවත්වන කාන්තිට රවිඳුගේ ආශ්‍රය මහ මෙරක්‌ තරම් විය. ලෝකයා කුමක්‌ කීවත් කාන්ති රවිඳුගේ ආශ්‍රය අත හැරියේ නැත. කාන්තිට වුවමනා වුණේ කෙළෙස හෝ රවිඳු සමඟ එක වහළක්‌ යට ජීවත් වීමටය. ඒ සඳහා අවශ්‍ය ඕනෑම කැපකිරීමක්‌ කිරීමට ඇය ඉදිරිපත් වූවාය.

රවිඳුගේ පවුල් ජීවිතය ද එතරම් සාර්ථක එකක්‌ නොවීය. එයට මූලික හේතුව වූයේ ඔහුගේ බීමත්කමය. බීමතින් පැමිණ අනේක වාරයක්‌ තම බිරිඳ සමඟ රවිඳු රණ්‌ඩුසරුවල් කළේය. එක්‌ අවස්‌ථාවකදී තම බිරිඳට පහරදීම නිසා රවිඳු බන්ධනාගාර ගතකර තිබිණි. එම නිසා රවිඳු තම බිරිඳ සමඟ සිටියේ බද්ධ වෛරයකිනි.

දිනක්‌ කාන්ති රවිඳුට අපූරු යෝජනාවක්‌ ගෙනාවේය. ඒ තමා සමඟ එක වහළක්‌ යට ජීවත්වීමට පැමිණෙන ලෙසය. දෙපාරක්‌ නොසිතා රවිඳු එම යෝජනාවට කැමැති විය. කාන්ති තම සොහොයුරිගේ නිවස ආසන්නයේ කටුමැටි ගසා කුඩා නිවසක්‌ ඉදිකර රවිඳු සමඟ එහි ජීවත් වූවාය. ඒ දැනට මාස හතකට පමණ ඉහතදීය. කාන්තිගේ විවාහක දියණිය ද අම්මාගේ සතුට ගැන සිතා මේ සියල්ල ඉවසා දරාගෙන සිටියාය.

කාන්ති සමඟ නව පවුල් ජීවිතයක්‌ ගත කළ ද රවිඳුගේ දින චර්යාවේ වෙනසක්‌ ඇති වූයේ නැත. කාන්ති කොතරම් කීවත් ඔහු මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම ද අත හැරියේ නැත. බීමත්ව ආ පසු රවිඳු හැසිරුණේ අමු තිරිසනකු ලෙසය. කසාද බිරිඳට මෙන් රවිඳු තම අනියම් බිරිඳට ද බීගෙන ඇවිත් පහරදීමට පටන් ගත්තේය.

කාන්ති කොතරම් උත්සාහ කළත් රවිඳු සමඟ සමගියෙන් ජීවත්වීමට ඇයට නොහැකි විය. රාත්‍රියේ බීගෙන එන රවිඳු කාන්ති සමඟ හැසිරුණේ තිරිසනකු මෙන්ය. අවස්‌ථා කිහිපයකදී රවිඳුගෙන් ඉතා අමානුෂික ලෙස පහරකෑමට ලක්‌වූ කාන්තිට රෝහල් ගතව ප්‍රතිකාර පවා ලබා ගැනීමට සිදු වූවාය.

කාන්තිගේ දියණිය කිහිප විටක්‌ මෙම ප්‍රශ්නය විස¹ දීම සඳහා ඉදිරිපත් වූවත් එය ද නිශ්පල ක්‍රියාවක්‌ විය. අවසානයේ රවිඳු ඇයට තර්ජනය කර පැවසුවේ යළි මේ හතර මායිමටවත් නොපැමිණෙන ලෙසය. එසේ පැමිණියහොත් ඇයව මරාදමන ලෙස ද ඔහු තර්ජනය කළේය. එම නිසා ඇයට තම මව ගැන සොයා බැලීමට නොහැකි විය.

මත්ද්‍රව්‍ය පානය සඳහා තමාගෙන් රවිඳු ඉල්ලාගත් මුදල්වල ප්‍රමාණය කාන්ති ද නොදැන සිටියාය. ඒ තරමටම සැරින් සැරේ රවිඳු කාන්තිගෙන් මුදල් ලබාගෙන තිබිණි. සල්ලි ලබා නොදෙන දිනවල කාන්තිගේ නිවස යුද පිටියක්‌ බවට පත් වූවාය. ගුටි කෑමට ඇති බිය නිසා කාන්ති කෙසේ හෝ රවිඳුට ඉල්ලන සෑම මොහොතකම මුදල් ලබා දුන්නාය. අවසානයේ ඇය අතේ කිසිදු මුදලක්‌ ඉතිරි නොවීය. දුක්‌ මහන්සියෙන් හම්බකරගත් සියලු මුදල් රවිඳුගේ බේබදුකම ඉදිරියේ නැතිවී ගොස්‌ය.

කාන්තිට රවිඳු සමඟ ජීවත්වීම එපා වී තිබිණි. ඇය එයින් මිදීමට අවස්‌ථා කිහිපයකදීම උත්සාහ කළ ද රවිඳුගෙන් එයට බේරුමක්‌ නොවීය.. කාන්තිගේ බැංකු ගිණුමක මුදල් තිබෙන බව දැනගත් රවිඳු කිහිප විටක්‌ම එය අරන් දෙන ලෙස ඉල්ලා රණ්‌ඩු සරුවල් වූවේය. නමුත් කාන්ති කොතරම් ගුටි කෑවත් එම මුදල් ලබාදීම ප්‍රතික්‍ෂේප කළාය.

පසුගිය 8 වැනිදා රවිඳු බීමත්ව පැමිණ සුපුරුදු පරිදි කාන්ති සමඟ ආරවුලක්‌ ඇති කර ගත්තේය. දෙදෙනාගේ රණ්‌ඩු සරුවල් අවට මිනිසුන්ට ද අමුත්තක්‌ නොවිණ. එම නිසා කොතරම් ගහ මරා ගත්තත් එය බේරීමට කිසිවකු ඉදිරිපත් වන්නේ ද නැත. එදිනද රවිඳුගේ රතු කට්‌ට පැන තිබුණේය. ඔහු කාන්තිට ඉතා අමානුෂික ලෙස පහර දුන්නේය. රවිඳුගේ දෙපා මුල වැඳ වැටී ගහන්න එපා කීවත් එම තිරිසන් මිනිසා එය කනකටවත් ගත්තේ නැත. ඇතිවෙනතුරු කාන්තිට පහර දුන්නේය.

කාන්තිගේ කෙඳිරිය නැවතුණි. නමුත් මෙම තිරිසනාට එය ගාණක්‌ නොවිණ. ඒ ඔහු බමන මතින් සිටි නිසාය.

පැය කීපයක්‌ ගත වූ පසු රවිඳුගේ වෙරි හිඳී තිබුණි. ඔහු කාන්ති වැටී සිටින තැනට පැමිණ ඇයට කතා කළද කිසිදු පිළිතුරක්‌ ලැබුණේ නැත. ඇයගේ ඇඟට අත තියා බැලූ විට මුළු ඇඟම සීතල වී ඇති බව මෙම තිරිසනාට දැනුණි. තවත් පරීක්‍ෂා කර බැලූ මෙම තිරිසනාට දැනුණේ කාන්ති මියගොස්‌ ඇති බවය.

සියල්ල සිදු වී හමාර නිසා මෙම තරිසනාට වුවමනා වූයේ කෙසේ හෝ එම ස්‌ථානයෙන් බේරී පලා යැමටයි. ඒ සඳහා මේ තිරිසන් මිනිසා උපායක්‌ යෙදුවේය. ඒ මියගිය කාන්තිගේ සිරුර පුළුස්‌සා දමා නිවස ද ගිනි තබා විනාශ කිරීමයි. දෙපාරක්‌ නොසිතා ඔහු කාන්තිගේ මිනියටත්, නිවසටත් ගිනි තබා තම යතුරුපැදියෙන් පලා ගියේය.

කාන්තිගේ නිවස ගිනි ගන්නවා දුටු අසල්වැසියන් පැමිණ මහත් පරිශ්‍රමයක්‌ දරා ගින්න නිවා දැමුවේය. ඒ වන විටත් නිවසේ තිබූ බඩු බාහිරාදිය සම්පූර්ණයෙන්ම පිළිස්‌සී තිබුණි. ඒ අතර පිළිස්‌සී තිබුණු සිරුරක්‌ දුටු ඔවුන් වහාම ඒ ගැන පොලිසියට දැනුම් දුන්නේය. ඒ අනුව ක්‍රියාත්මක වූ මැදවච්චිය පොලිසිය සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ සිදුකළ පරීක්‍ෂණවලට අනුව එම සිරුර කාන්තිගේ කියා අනාවරණය කරගෙන තිබුණි.

පොලිස්‌ නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ කිරීමේදී අනාවරණය වූයේ නිවස ගිනි ගත් පසු එම නිවසේ සිට යතුරු පැදියකින් රවිඳු පැන ගිය බවයි. ඒ අනුව අවට පොලිස්‌ ස්‌ථානවලට දැනුම් දීමෙන් අනතුරුව මෙම සිද්ධියේ සැකකරු වන රවිඳු මත්පැන් අලෙවිසලක්‌ තුළ මත්පැන් පානය කරමින් සිටියදී පොලිස්‌ අත්අඩංගුවට පත්විය.

මත්පැන්වලට තදින්ම ඇබ්බැහි වී තම පවුල් ජීවිතය සහ තවත් මනුෂ්‍ය ජීවිතයක්‌ නැති කළ මෙම මිනිසාට දැන් සියල්ල තේරී තිබෙන්නට පුළුවන. නමුත් දැන් ඔහුට කළ හැකි කිසි දෙයක්‌ නොමැත. ජීවිතයේ අවසන් හුස්‌ම හෙළන තුරු තමා කළ වැරදි ගැන තැවි තැවී ජීවත්වීම හැර වෙනත් දෙයක්‌ ඔහුට ඉතිරිවී නැත.

ගයාන් සමරසිංහ
– Divaina