බුදුරුවට නිගා කරන යුරෝපීය සමාගම් ගැන බලධාරීන් නිහඬ ඇයි? – Europe Disrespect in Lord Buddha

0
642
buddha

ලෝක සත්ත්වයා දුකින් මුදවා සසරින් එතෙර කරන්නට පහළ වූ කෝටි 35 කට අධික ලෝකවාසී ජනතාවකගේ වන්දනාමානයට පාත්‍ර වූ බුදුපියාණන් වහන්සේගේ බුදු රුව මුද්‍රණය කොට වර්තමානයේ ඇතැම් පෞද්ගලික සමාගම් සිය නිෂ්පාදන වෙළෙඳපොළට විශාල වශයෙන් නිකුත් කරමින් පවතී. මේ නිෂ්පාදනයන් අතර ‘VERNEL’ (වර්නෙල්) යන වෙළෙඳ නාමයෙන් ඉතාලියේ සුපිරි වෙළෙඳසල් ජාලයන් තුළ නිරුපද්‍රිතව මිලදී ගැනීමට හැකි, රෙදි සේදීමෙන් පසු සුවඳ ගැන්වීමට යොදා ගන්නා දියර වර්ගයෙහි බුදු රුව යොදා ගැනීම තුළින් බෞද්ධ ආගමට කර ඇති අපහාසය බරපතළ ලෙස හෙළා දැකිය යුතුය. මීට කලෙක සිට මේ නිෂ්පාදනයන් මෙලෙස වෙළෙඳපොළට නිකුත් කළ ද, මේ වනවිටත් ඒ පිළිබඳව කිසිදු වගකිව යුත්තෙක්‌ හෝ කිසිදු රජයකින් මේ අකාරුණික පූර්විකාවට කිසිදු බලපෑමක්‌ එල්ල කිරීමට මැදිහත් නොවීමද බෞද්ධ ජනතාවට කළ සෘජු අසාධාරණයකි. මීට සමගාමීව තුර්කි ගුවන් සේවාවන් ඉතාලිය තුළ ප්‍රචලිත කිරීම සඳහා බස්‌ රථවල ප්‍රදර්ශනය වන දැන්වීම් තුළ බුදුරුව දිස්‌ වීමද මවිතයට කරුණකි.

බුදුන් වහන්සේට බුද්ධත්වය ලැබීමට සෙවණ දුන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පවා ඉතාලි මිහිකත තුළ රෝපණය වෙමින් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව උදෙසා ඉතාලියේ ප්‍රධාන නගරවල වෙහෙර විහාර පවා නිර්මාණය කිරීමට ඉතාලි රජය මගින් අනුමැතිය ලබාදී ඇති පසුබිමක අතළොස්‌සක්‌ පමණ වූ පෞද්ගලික සමාගම් තුළින් මෙවැනි කටයුතු සිදු වීම මගින් ආගමික සහජීවනයට එල්ල වන්නේ මරු පහරකි. ඉතාලි බලධාරීන් මේ පිළිබඳ මුනිවත රැකීම එරට බෞද්ධ ජනතාවගේ ඉමහත් සංවේගයට හේතුවක්‌ වී ඇත.

වර්තමාන ලෝකයේ වියතුන් සහ චින්තකයන් පවා බෞද්ධ ආගම වැළඳ ගන්නා පසුබිමක්‌ තුළ මෙවැනි අශෝභන කටයුතු සිදුවීම මගින් අනාගතයේ බිහිවන බෞද්ධයන් උදෙසා කෙබඳු ප්‍රතිරූපයක්‌ නිර්මාණය වේද යන්න පිළිබඳ ඉතාලි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

කිනම් පුද්ගලයෙක්‌ හෝ සාමූහික පිරිසක්‌ විසින් හෝ ඉතාමත් සූක්‍ෂ්ම ලෙස බෞද්ධ ආගමට නිගා වන පරිදි මෙවැනි කටයුතු කිරීමට ප්‍රධාන හේතුව විය යුත්තේ මේ වන විටත් සංඛ්‍යා ලේඛනවලට අනුව බෞද්ධ ආගමට ප්‍රවිෂ්ට වීමේ ප්‍රතිශතය ශීඝ්‍රයෙන් වර්ධනය වීම නිසාදොa යන්න ද සොයා බැලිය යුතුය.

ලෝකයේ සුපිරි ක්‍රීඩකයන් පවා තම උපන් දින සාදයන්හිදී බුදු රුවේ ආකෘතියෙන් හෙබි කේක්‌ සැරසිල්ලෙන් සිය සාදය වර්ණවත් කොට අවසානයේ එය කෑලි කපා මධුවිතත් සමග අනුභව කරන්නට තරම් උන්මත්තකයන් බවට පත්වී ඇති පසුබිමක, යුරෝපයේ අපේ රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ නිහඬ මුනිවත රැකීම පිළිබඳව ශ්‍රී ලාංකීය බෞද්ධයන් පිළිකුල් සහගතව හෙළා දකියි. මොවුන්ගේ සැබෑ රාජ්‍යතාන්ත්‍රික භාවය පිළිබඳව අප ඉදිරියේ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.

රාජ්‍යතාන්ත්‍රිකයන් සිය සේවය ගරු කටයුත්තක්‌ ලෙස සලකා මෙවැනි අකටයුතුවලදී තම සේවයේ වටිනාකම සහ හැකියාව නිසි ලෙස අවබෝධ කර ගනිමින් මෙවැනි පහත් ක්‍රියාවන් මැඬ පැවැත්වීමට නිසි බලධාරීන් මැදිහත් විය යුතුව ඇත. සමානාත්මතාව, සහජීවනය සහ නිවැරැදි බව මනාව අන්තර්ගත වී ඇති ඉතාලි නීති පද්ධතිය තුළ මෙවැනි අශීsලාචාර කටයුතුවලදී නිලධාරීන් එයින් ප්‍රයෝජනයක්‌ නොගැනීම මත තවමත් වෙළෙඳපොළ තුළ මෙවැනි නිෂ්පාදන ප්‍රවිෂ්ට වීම බහුලව දැකිය හැකි වීමෙන් මේ තුළින් ඇතිවන බුදු දහමේ අරාජිකත්වය ගැන අපේ නිලධාරීන් වගකිවයුතු නොවන්නේ ද?

ලලිත් හෙට්‌ටිආරච්චි
ඉතාලියේ සිට.
– Divaina,