විමර්ශන අවුල් කළේ පොලිස්‌පති ගෙදර යවන්නද? – Kondaya, his brother, seya and police

0
757

කොණ්‌ඩයා.. අයියා.. සේයා සහ පොලිසිය…?

කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය හමුවේ පසුගිය දිනවල රටේ ජනතාව වීදි බසිමින් වත්මන් රජයෙන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් එක්‌ විශේෂිත ඉල්ලීමක්‌ කළේය.

ඒ මෙවන් බිහිසුණු අපරාධ කරන්නවුන්ට එල්ලුම්ගස යළි ක්‍රියාත්මක කර මරණීය දණ්‌ඩනය දිය යුතුයි යනුවෙනි. එහෙත් මේ මොහොත වන විට එකී ඉල්ලීම ඇත්තේ ප්‍රශ්නගත කරුණක්‌ බවට පත්වය.

මරණීය දණ්‌ඩනය යළි මෙරට තුළ ක්‍රියාත්මක කළහොත් නියම අපරාධකරුවා පසෙක සිටියදී කිසිත් නොදත් අහිංසකයකු එල්ලුම් ගස්‌ යැමේ අවදානමක්‌ නොතිබේද යන ගැටලුව අද සමාජය ඉදිරියට පැමිණ තිබීම ඊට හේතු වී ඇත.

සේයා සදෙව්මි සිඟිත්තිය මරා දැමීමේ සිද්ධිය හමුවේ අපේ පොලිසිය (කොටදෙණියාව පොලිසිය සහ සීඅයිඩීයේ අදාළ විමර්ශන කණ්‌ඩායම) මොන්ටිසෝරි විමර්ශනයක යෙදුණු වග අද රටට රහසක්‌ නොවන්නකි.

ගැටලුව මතු වූයේ එතැනිණි. සේයාගේ ඝාතකයා සොයා ගිය පොලිසිය අවස්‌ථා කිහිපයකදීම දෙකොන පටලවා ගනිමින් ගොරකා දඩමස්‌ කරන්නට සැරසුණි. එහෙත් මෙහිදී අවසානයට සිදු වූයේ පොලිසියේ නිරුවත රට ඉදිරියේ ප්‍රදර්ශනය වීම පමණි.

එහිදී බස්‌නාහිර පළාතේ ඇතැම් පොලිස්‌ කෙරුමන් මාධ්‍ය ඉදිරියට පැමිණ රටට පෙනෙන පොලිස්‌ නිරුවත අල්ලෙන් වසා දමන්නට “පුංචි පහේ” උත්සාහයක යෙදෙන අයුරුද පසුගිය දිනවල අපි දුටුවෙමු.

එහෙත් ඔවුන්ගේ උත්සාහය නිරර්ථක එකක්‌ම විය. එකී පොලිස්‌ ලොක්‌කන්ගේ උත්සාහයන් තුළ සත්‍ය වශයෙන්ම වූයේ පොලිස්‌ නිරුවත වසා දැමීමේ වුවමනාවද නැතහොත් මවා පෑමක්‌ද යන්න පැහැදිලි නොවුණකි.

කෙසේ වෙතත් මේ සියල්ල හමුවේ සැබෑවටම සිදු වූයේ සේයා ඝාතකයා රහසක්‌ම වෙද්දී පොලිසිය මඤ්ඤං දොඩවමින් ජනතාවට අමුතු ආතල් එකක්‌ දීම පමණි.

ඉතිහාසයේ කිසි දිනක සිදු නොවූ අයුරින් සේයා ඝාතනය ඉදිරියේ පොලිසිය ඇද වැටුණේ එතැනටය. එම තත්ත්වය හමුවේ බරපතළම ගැටලුව මතුවන්නේ ඝාතකයා සොයා ගිය පොලිසිය මෙන්න මිනීමරුවා යෑයි කියමින් තමන්ගේම වල්ගය විකාගෙන වටේ යැමට කුමක්‌ හේතු වූයේ දැයි යන්න කල්පනා කිරීමේදීය.

සේයා දැරිය ඝාතනයේ සියලු විමර්ශන සිදු වන්නේ පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ Rජු අධීක්‍ෂණය යටතේ බව මෙම සිද්ධියත් සමග මුලින්ම කියෑවුණු කතාවකි. එය රටේ මාධ්‍ය මගින්ද පළ කෙරුණි.

එසේ නම් එකී විමර්ශන අල කරමින් මේ අයුරින් පොලිසිය ඇදගෙන නාන්නට වූයේ පොලිසියේ වත්මන් බල අරගලය හමුවේ “වෙන්ඩ අයිජීපී”ලා විසින් පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා ගෙදර යවා ඒ තැන ගන්නට කළ කුමන්ත්‍රණයකට අනුවද යන්න මේ මොහොතේ අප සහ රට ඉදිරියේ තිබෙන ගැටලුවකි.

එසේම කිසියම් අදෘෂ්‍යමාන දේශාපාලන හස්‌තයක්‌ සේයා ඝාතකයා රකින්නට සැරසුණේද යන ප්‍රශ්නාර්ථයද මෙම සිද්ධිදාමය හමුවේ අද සමාජය ඉදිරියට පැමිණ තිබේ. සේයා ඝාතන විමර්ශන අතරේ එවන් තුට්‌ටු දෙකේ ක්‍රියාදාමයක්‌ සිදුවූයේද යන්න පිළිබඳ සැක සංකා මතු වන කරුණු කාරණාද බොහොමයකි.

ඉන් ප්‍රධාන කරුණක්‌ වන්නේ සේයා සදෙව්මි මරා දැමූ ඝාතකයා ලෙස දැනට යම් පැහැදිලි බවකින් යුතුව හඳුනාගෙන සිටින කොණ්‌ඩයාගේ අයියා හෙවත් සමන් ජයලත් නමැත්තා පිළිවෙළින් කොටදෙණියාව පොලිසියට සහ රහස්‌ පොලිසියට අවස්‌ථා දෙකකදීම හසුවීත් ඔහු අතහැර දැමීමය.

මෙහිදී මුලින්ම කොණ්‌ඩයාගේ අයියා කොටදෙණියාව පොලිසියට මුණගැසෙන්නේ සේයා දැරිය අතුරුදන් වූ දිනට පසු දිනය. ඒ කොණ්‌ඩයාද සමගින් කොටදෙණියාව අකරන්ගහ ගම්මානය තුළ පිහිටි ඉංගම්මාරුව නමින් ගම්වැසියන් හඳුන්වන නිවාස සමූහයේ පිහිටි සොයුරියගේ නිවසේ සිටියදීය.

රහස්‌ පොලිසිය මගින් කොණ්‌ඩයා අත්අඩංගුවට ගත් ඉකුත් 23 වැනිදා සේයා ඝාතනයේ තොරතුරු සොයා කොටදෙණියාවට අප ගිය ගමනේදී අකරන්ගහ ගමේ කොනක පිහිටි ඉංගම්මාරුව නිවසේදී කොණ්‌ඩයාගේ අක්‌කා සහ මස්‌සිනා එකී සිද්ධිය අපට මෙසේ කියා සිටියහ.

“එදා සේයා නැතිවුණ දවසට පහුවැනිදා.. පසුගිය 12 වැනිදා.. උදෙන්ම කොටදෙණියාව පොලිසියෙන් ඇවිත් ඉංගම්මාරුවේ තිබුණු හැම ගෙයක්‌ම චෙක්‌ කළා.. අපේ ගෙදර චෙක්‌ කරන්නත් පොලිසියේ මහත්තුරු දෙන්නෙක්‌ ආවා..

“ඔවුන් එනකොට මල්ලිලා දෙන්නම ගෙදර හිටියේ.. ඒ දෙන්නගෙන් පොඩි මල්ලි දුනේෂ් (කොණ්‌ඩයා) සති තුනක විතර ඉඳන් අපේ ගෙදරට ඇවිත් හිටියා.. ඔහු ඇවිත් හිටියේ ගම්පහ පොලිසියේ නිලධාරියෙක්‌ට ගහපු සිද්ධියකට පොලිසියෙන් හොයන නිසා.. ලොකු මල්ලි සමන් ගෙදරට ආවේ සිකුරාදා දවල්.. ඒ කියන්නේ සේයා නැතිවෙච්ච 11 වැනිදා දවල්..

පොලිසිය ඒ දෙන්නගෙන්ම කට උත්තර ගත්තා.. එවෙලේ පොඩිමල්ලි දුනේෂ් (කොණ්‌ඩයා) පොලිසියට කිව්වා ඔහු පොලිසියට ගහපු නිසා බයට අපේ ගෙදර හැංගිලා ඉන්නේ කියලා..”

“එතකොට ලොකු මල්ලි සමන් ජයලත් කියන කෙනා සිකුරාදා දවල් ඉඳන්ම ගෙදරද හිටියේ..” අපි ඇගෙන් අතුරු ප්‍රශ්නයක්‌ ඇසුවෙමු.

“ඔව් එයා දවල් ඉඳන්ම ගෙදර හිටියේ.. එදා රෑ ඔවුන් දෙන්නයි මගේ මහත්තයයි එකට නිදා ගත්තෙත්.. පහුවදා (12 වැනිදා) සෙනසුරාදා උදේ මගේ මහත්තය නැඟිට්‌ටේ උදේ 6.00 ට විතර ඒ වෙනකොට ලොකු මල්ලි ගෙදර හිටියේ නැහැ.. ඔහු උදේ 7.00 ට විතර ඇඳගෙන හිටිය සරම සම්පූර්ණයෙන්ම තෙමාගෙන ගෙදරට ආවා..

“අපි ඇහුවා සරම තෙමුණේ කොහොමද කියලා.. එතකොට එයා කිව්වා ඔයේ මාළු දැලක්‌ දැම්මා. ඒක බලන්න ගියහම සරම තෙමුණා කියලා.. දාපු මාළු දැල කව්රුහරි අරගෙන ගිහින් කියලත් කිව්වා..

“ඒ විතරක්‌ නෙවෙයි.. අපේ ලොකු මල්ලි ළමා අපචාර සිද්ධියකට අවුරුදු නවයහමාරක්‌ හිරේ හිටියා.. ඒ නිසාම එයාට අපි ගෙදරදී කියන්නේ නවයහමාර කියලා.. සමන්ගෙන් කටඋත්තරේ ගන්නකොට එයා ඒ විස්‌තරත් ඔක්‌කොම කොටදෙණියාව පොලිසියේ නිලධාරීන්ට කිව්වා

“අපි මේ හැමදෙයක්‌ම කොටදෙණියාව පොලිසියෙන් ආපු මහත්තරු දෙන්නට කිව්වට පස්‌සේ ඒ මහත්තුරු දෙන්නා ඕන වුණොත් පස්‌සේ එන්නම් කියලා යන්න ගියා..”

ඒ සටහන් වූයේ සේයා දැරිය අතුරුදන් වූ දිනට පසු දිනම කොටදෙණියාව පොලිසිය දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් කොණ්‌ඩයා සහ මේ වන විට සේයාගේ නියම ඝාතකයා බවට සැක කරන කොණ්‌ඩයාගේ අයියා හෙවත් සමන් ජයලත් නමැත්තා අතටම හසුවීත් අතහැර ගිය අන්දමය.

මෙම විමර්ශනයේදී යම් කුමන්ත්‍රණයක්‌ සිදු වූවේද යන්න පිළිබඳ සැකයක්‌ මතුවන දෙවන ප්‍රබලම කරුණ වන්නේ එසේ කොණ්‌ඩයා සහ ඔහුගේ සොහොයුරා ඉංගම්මාරුව නිවසේ සිටියදී අතහැර දමා යන කොටදෙණියාව පොලිසිය අකරන්ගහ ගමේ මිනිසුන්ගේ කටකතා අනුව ඉන් සිව් දිනකට පසු පාසල් ශිෂ්‍යයකු සහ විවාහක එක්‌දරු පියකු සේයා ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගැනීමය.

එම පාසල් ශිෂ්‍යයා සහ එක්‌ දරු පියා සේයා ඝාතනයට සම්බන්ධ නැති බව තහවුරු වීම හමුවේ මේ වන විට ඔවුන් දෙදෙනා නිදහස්‌ කිරීමට අධිකරණය පියවර ගෙන ඇත. එහෙත් කොටදෙණියාව පොලිසිය සිදු කළ එකී අමනෝඥ විමර්ශනය හේතුවෙන් පොලිස්‌ දෙපාර්තමේන්තුවට සිදුව ඇති අවමානය නම් සුළු පටු නොවන බව අමුතුවෙන් කිවයුතු නැත.

“කොටදෙණියාව පොලිසිය මීනීමරුවා ඇල්ලුවා වගේ”යෑයි ලෙසින් ප්‍රස්‌ථාව පිරුළක්‌ ගොඩනැගෙන තරමටම දැන් වැඩේ දුරදිග ගොස්‌ ඇත.

“හලෝ කොටදෙණියාව ඕඅයිසීද..? ඕව් ඇයි…? “බලනවකෝ තමුසෙලා හින්දා දැන් අපිව පිස්‌සෙක්‌වත් ගණන් ගන්නේ නැහැ හලෝ..” “කවුද ඔය කතා කරන්නේ..” මම අංගොඩ ඕඅයිසී හලෝ…”

කොටදෙණියාව පොලිසියේ කෙරුවාව පිළිබඳ මේ දිනවල “ෙµaස්‌ බුක්‌” සමාජ ජාලයේ අපූරු දෙබසක්‌ සටහන්ව ඇත්තේ එසේය. ඉතින් කොටදෙණියාව පොලිසිය පිළිබඳ තවත් කවර කතාද?

මෙකී විමර්ශනයේදී පොලිසිය තුන් වන වරට ඇදගෙන නෑවේ හෙවත් වැඩේ අනා ගත්තේ සීඅයිඩීය මගින් දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් කොණ්‌ඩයා සහ ඔහුගේ සහෝදරයා වන සමන් ජයලත් නමැත්තා අත්අඩංගුවට ගත් අවස්‌ථාවේදීය.

අප කොටදෙණියාවට ගිය ඉකුත් 23 වැනිදා දහවල් බෙම්මුල්ල ප්‍රදේශයේ කැලයක සැඟව සිටියදී සීඅයිඩීය මගින් දැඩි වෙහෙසක්‌ දරා කොණ්‌ඩයා අත්අඩංගුවගෙන තිබිණි.

එසේ අල්ලා ගනු ලැබුවේ සේයා අතුරුදන් වූ දිනට පසුදා ඉංගම්මාරුව නිවසේ සිටිමින් තමන් සැඟව සිටින්නේ පොලිස්‌ නිලධාරියකුට පහරදීම නිසා යෑයි කොටදෙණියාව පොලිසියට පාපොච්චාරණය කරමින් ප්‍රකාශයක්‌ද ලබා දුන් කොණ්‌ඩයා වීමද විශේෂත්වයකි.

ඉකුත් 23 වැනිදා රහස්‌ පොලිසිය මගින් මෙසේ කොණ්‌ඩයා කොටු කර ගත්තද ඔවුන්ගේ සොයුරිය කියන පරිදි කොණ්‌ඩයාගේ අයියා හෙවත් සමන් ජයලත් නමැත්තා සීඅයිඩීය මගින් අත්අඩංගුවට ගන්නේ ඊට දෙදිනකට පමණ ඉහතදීය.

මෙයින් පැහැදිලි වන එකම කරුණ වන්නේ මේ වන විට සේයා ඝාතනයේ නියම සැකකරු බවට යම්තාක්‌ දුරට හඳුනාගෙන සිටින කොණ්‌ඩයාගේ අයියා හෙවත් සමන් ජයලත් නමැත්තා සිඅයිඩීයට කොටු වී ඇත්තේ කොණ්‌ඩයා ඇල්ලීමටත් පෙරදීය යන්නය. නමුත් අවශ්‍ය සැකකරු එසේ කොටු වුවද අවසානයට සිදු වූයේ කුමක්‌ද?

කොටදෙණියාව අකරන්ගහ ගමට නුදුරු ප්‍රදේශයක පිහිටි ගොඩොල් කපන ස්‌ථානයකදී අත්අඩංගුවට ගන්නා කොණ්‌ඩයාගේ අයියා හෙවත් සමන් ජයලත් නමැත්තා රහස්‌ පොලිසියට රැගෙන එන සීඅයිඩීය සේයා ඝාතනය පිළිබඳ ඔහුගෙන් ප්‍රශ්න කිරීම අරඹති.

එහිදී අපූරු සුරංගනා කතාවක්‌ කියන කොණ්‌ඩයාගේ අයියා සීඅයිඩී බබාලා රවටා ඇත්තේ විශ්මිත අයුරිනි.

“සර්.. මගේ මල්ලි කොණ්‌ඩයා තමයි ඒ ළමයව දූෂණය කරලා මැරුවේ.. එයා ළමයට දස වධ දීලයි මරලා තියෙන්නේ.. මල්ලි වැඩේ කරලා ඇවිත් එදා රෑ හැමදේම මට කිව්වා.. පොලිසියට කිව්වොත් මාවත් මරනවා කිව්වා..

ඒ සටහන් වූයේ කොණ්‌ඩයාගේ අයියා හෙවත් සමන් ජයලත් සීඅයිඩී බබාලාට කී සුරංගනා කතාවය. මේ කතාව තමන්ට කියනුයේ මීට පෙර ළමා අපචාර සිද්ධියක වරදකරුවකු වී වසර නවයහමාරක සිර දඬුවමක්‌ විඳි පුද්ගලයකු බව සී අයිඩීයට නොතේරුණේද? එය මෙහිදී මතුවන අතුරු ප්‍රශ්නයකි.

කෙසේ වෙතත් සීඅයිඩී බබාලා ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේ කැලයක්‌ පීරා දැඩි වෙහෙසක්‌ ගෙන කොණ්‌ඩයා අල්ලා ගන්නේ මේ සුරංගනා කතාවට අනුවය. එසේ කොණ්‌ඩයා කොටු කර ගැනීමෙන් පසුව සිදු වන්නේ කුමක්‌ද?

“කොණ්‌ඩයා ම්ලේච්ඡයෙක්‌.. ඌ තමයි සේයා මරලා තිබෙන්නේ.. කොණ්‌ඩයා අමු මස්‌ බුදින තිරිසනෙක්‌.. කවදාවත් පාසල් ගිහින් නැහැ.. ඌ ගෙට පැනලා ළමයා අරගෙන යනකොටම බෙල්ල මිරිකලා.. කොණ්‌ඩයා කියන්නේ මීට පෙර මිය ගිය කාන්තාවකගේ මළ සිරුරටත් අතවර කළ යක්‍ෂයෙක්‌a..” මේ අන්දමින් කොණ්‌ඩයාට චරිත සහතික ගණනාවක්‌ දෙන පොලිසිය ඔහුව රක්‍ෂිත බන්ධනාගාරගත කරන්නේය.

මෙහිදී අප කොණ්‌ඩයාට චරිත සහතික දුන්නේ පොලිසිය යෑයි කියනුයේද නිකම්ම නොව, මෙරට මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය මගින් ඉහළ ප්‍රචාරයක්‌ දී ඒ කතා පළ කළ නිසාය. මාධ්‍යකරුවන් තමන්ගේ නිර්මාණ ලෙස ඒවා පළ නොකළේය. පොලිසිය තුළින්ම ලැබුණු තොරතුරු අනුව සියල්ල සිදු විය.

පොලිසිය ඒ කිසිත් නිල වශයෙන් සඳහන් නොකළේ යෑයි ලෙසින් දැන් ඇතැමෙකු තර්ක ඉදිරිපත් කරන්නටද බැරි නැත. එහෙත් සිදු වන්නේ රහසිගත විමර්ශනයක්‌ නම් ඒ පිළිබඳ තොරතුරු පිටතට ඒමේ වගකීම භාරගත යුත්තේ පොලිසියම මිස අන් කවරෙක්‌ද?

මේ අන්දමින් කොණ්‌ඩයා බන්ධනාගාරගත කිරීමෙන් පසු දෙසතියක්‌ පමණ ගෙවී යන්නට විය. ඒ අතරේ ඉකුත් සතියේ යළිත් වික්‍රමයක්‌ කළ සීඅයිඩීය සේයා ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගත්තේ යෑයි කියන්නට විය. එය අකරන්ගහ ගම්මානයේ පමණක්‌ නොව රට පුරාම ලැව් ගින්නක්‌ සේ පැතිර යමින් තිබිණි. ඊට මාධ්‍ය මගින්ද ඉහළ ප්‍රචාරයක්‌ ලැබිණි.

මේ අතරේ සීඅයිඩීය පසුගිය සතියේ එකී සැකකරු මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කරමින් දින 72 ක්‌ රැඳවුම් නියෝග ලබා ගන්නටද කටයුතු කළේය. මෙම සැකකරු වූයේ කවරෙක්‌ද? ඒ කොණ්‌ඩයාටත් පෙර සීඅයිඩීය අත්අඩංගුවට ගනු ලැබූ කොණ්‌ඩයාගේ අයියා වූ සමන් ජයලත්ය.

මෙහිදී පොලිසිය කීවේ ඔහුව මුලින් අත්අඩංගුවට ගෙන මුදාහැරීමෙන් පසු ඇති වූ සැකයක්‌ මත මීගමුව ප්‍රදේශයේදී යළිත් අත්අඩංගුවට ගත් බවකි. මෙහිදීත් මතුවන ගැටලු රැසක්‌ පවතී.

කොටදෙණියාව පොලිසිය සේයා ඝාතනය සම්බන්ධයෙන් පාසල් ශිෂ්‍යයා සහ එක්‌දරු පියා අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ ඔවුන්ගේ ඩීඑන්ඒ පරීක්‍ෂණයක්‌ සිදු කිරීමට නොපමාව කටයුතු කර තිබිණි. එම සිසුවාට සහ විවාහකයාට දෙවැනි වරටත් රක්‍ෂිත බන්ධනාගාරගත වන්නට සිදු වන්නේද ඒ හමුවේය.

එහෙත් සීඅයිඩීය මීට පෙර ළමා අපචාර සිද්ධියක වරදකරුවකු වූ කොණ්‌ඩයාගේ අයියා මුදාහැර ඇත්තේ ඒ කිසිත් නොකරය. මේ මොහොත වන විට කොණ්‌ඩයාගේ අයියා හෙවත් සමන් ජයලත්ගේ ඩීඑන්ඒ වාර්තාවක්‌ කැඳවා තිබීමෙන් ඒ ටික පැහැදිලි වන්නේය.

එසේම පාසල් ශිෂ්‍යයා ඇතුළු මෙම සිද්ධියේදී අත්අඩංගුවට ගත් සියලු දෙනාගේ අඟපසඟ පරීක්‍ෂා කළ සීඅයිඩීය කොණ්‌ඩයාගේ අයියා පිළිබඳ එවන් පරීක්‍ෂණයක්‌ සිදු කළේද යන්නද ප්‍රශ්නයකි. ඇතැම් විට සීඅයිඩීය ප්‍රසිද්ධියේ නොකීවාට කොණ්‌ඩයාගේ අයියා මුලින් අත්අඩංගුවට ගත් දිනයේ පටන් බන්ධනාගාරගත කරනතුරුම සිටියේ සීඅයිඩීය භාරයේද විය හැකිය. එය වෙනම කතාවකි.

ඒ කෙසේ වුවද මෙම විමර්ශනයේදී කොණ්‌ඩයාගේ අයියා හෙවත් දැනට සේයා ඝාතනයේ සැබෑ සැකකරු විය හැකි යෑයි සිතන සමන් ජයලත් නමැත්තා අවසන් මොහොත දක්‌වාම මෙසේ ඩීඑන්ඒ පරීක්‍ෂණයකට හෝ අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු නොකිරීම බරපතළ කරුණක්‌ නොවන්නේද?

සේයා ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනයේදී පොලිසිය මේ ඓතිහාසික අනා ගැනිල්ලක්‌ කරනු ලැබුවේ කුමක්‌ නිසාද? කොණ්‌ඩයාගේ අයියා අරබයා සීඅයිඩීය මේ අන්දමින් නොදරුවන් සේ කටයුතු කරනු ලැබුවේ ඔහු සීඅයිඩී බබාලාට කී සුරංගනා කතාව ඒ තරමටම රසවත් වූ නිසාද?

සිදු වූයේ ඒ ටික නොවේ නම් මෙකී විමර්ශනයේදී ඝාතකයා ගලවා ගැනීමට ක්‍රියාත්මක වූ කිසියම් ප්‍රබල හස්‌තයක පීඩනය හමුවේ පොලිසිය මෙසේ නන්නත්තාර වූයේද? මේවා අද සමාජය ඉදිරියේ තිබෙන ප්‍රශ්නය. එහෙත් ඒ ගැටලුවලට පිළිතුරු ලෙස අද පොලිසියෙන් ඇසෙමින් තිබෙන්නේ පරිවේෂණීය සාක්‌ෂි, සාධාරණ සැකය, භෞතික සාක්‍ෂි, මූලික විමර්ශන සහ විද්‍යාත්මක සාක්‍ෂි ලෙසින් වූ බර වචන අහුරකි.

එහෙත් රටේ ජනතාව මෙවන් තත්ත්වයකදී පොලිසියෙන් බලාපො රොත්තු වන්නේ එවන් වාද බයිලාද? මේ මොහොතේ කොටදෙණියාවේ සිට කොටකෙතන දෙස බලන අතරේ අපට අවසන් වශයෙන් පොලිසියෙන් අසන්නට ඇත්තේ ඒ ටිකය.

සමන් ගමගේ
– Divaina