රඹුටන් පලදාව රැකගන්න නෝමන්ගෙන් චිත්‍රපටියක්‌

0
876
rambutan

කාන්තාවන්ට ඉඳහිට පහළ වන්නේ ගණදෙවි නුවණ යෑයි මම අසා ඇත්තෙමි.

මේ හේතුව නිසා විවාහක පිරිමි බොහෝදෙනකු හැම වැඩකටම අත ගසන්නේ තම බිරින්දෑලාගේ උපදෙස්‌ ඇතිවය.

මැති ඇමැතිවරු පවා ඡන්දයට එන්නේ තම බිරින්දෑලාගේ උපදෙස්‌ ඇතිවය. මේ හේතුව නිසා මමත් මගේ ආදරණීය බිරිඳගේ උපදෙස්‌ මත ජීවිතය හැඩගස්‌වා ගැනීමට උත්සාහ දරමි.

මල්වානේ රඹුටන් ගස්‌වල මෙදා පලදාව එතරම් සාර්ථක නැති බව දැන ගැනීමට ලැබුණි.

ලේනුන්, වවුලන්, ගිරවුන් ඇතුළු සතුන්ගෙන් රඹුටන් ගස්‌ බේරා ගැනීමට නොහැකි නිසා මෙදා රඹුටන් පලදාව සරුවී නැත.

බෙලෙක්‌ තහඩු ටකරන්වලට (ටකඩ) ශබ්දකර සතුන් එලවීමේ වෑයම දැන් සාර්ථක වන්නේ නැත.

ඒ වෙනුවට දිනේෂ්, විමල් මහත්වරු ලවා මෙම සතුන් එලවීමට හැකි යෑයි බිරිඳගෙන් ලැබුණේ කදිම උපදෙසකි.

ඒක හරි වැඩක්‌නේ… කොහොමද විමලේ, දිනේෂ් මහත්මයාලා රඹුටන් කෑමට එන සතුන් එලවන්aනේ යෑයි මම ඇයගෙන් ප්‍රශ්න කළෙමි.

කෙහෙල්මල… ඔයා ඒකවත් දන්නේ නැද්ද? විමලේ මහත්මයා දිනේෂ් මහත්මයාලා කෑගහන හැටියට සත්තු විතරක්‌ නෙමේ අපිත් දුවනවා… දැන් ඒගොල්ලෝ හති අරිනවා.

විමලේ මහත්මයා රඹුටන් ගස්‌ යටට ගිහිල්ලා දිගට හරහට ඇමෙරිකාවට බැන්නොත් ඔය ලේන්නු, ගිරව්, වවුලෝ ටික රටේවත් ඉන්නේ නැහැ යෑයි බිරිඳ කීවාය.

දිනේෂ් මහත්මයාත් ගිරිය පලාගෙන කෑගහයි. එතකොට වවුලෝ ටික සමහරවිට පාර්ලිමේන්තුවටත් යන්න පුළුවන්.

එතකොට සෝමෙ අයියා. එයාට කෑගහන්න බැහැ. එයාව පඹයෙකුට අන්දවන්න පුළුවන්.

එතකොට වස බෝතල් මහත්තයා… මම ඇසුවෙමි.

වස මහත්තයා තහනම් වචනයක්‌…

එතකොට ‘ගං මං’ පිල් මහත්තයා…

එයාට දැන් පිලක්‌ නැහැ. පිල උඩ තමයි ඉන්නේ…

මට හොඳ අදහසක්‌ තියෙනවා… මේ කට්‌ටිය අල්ලාගෙන චිත්‍රපටියක්‌ කරන්න මම බිරිඳගෙන් ඇසුවෙමි.

ටෙලි නාට්‍ය පෙන්නන්න, පගා… කප්පම් ගන්න කාලේ ඉවරයි… ඒ උනත් කමක්‌ නැහැ චිත්‍රපටියක්‌ කරන්න.

එතකොට කොල්ලට ගන්නේ කවුද?

අපි රන්ජන් මහත්මයාව ගනිමු… අපි එයාට තැනක්‌ දෙමු. එයානේ මේ ටෙලි නාට්‍ය කප්පම් කල්ලිය ගැන මුලින්ම හෙළි කළේ…

එතකොට දුෂ්ටයාගේ චරිතය. අපොයි… දුෂ්ඨයෝ ඕනෑ තරම් ඉන්නවා. මල්වානේ රඹුටන් වත්තේ සතුන්ට කෑගහලා එලවන්න යොදවපු විමලේ මහත්මයාව ඕනෑ නම් ගන්න පුළුවන්. ඕනනම් රඹුටන් ගස්‌ බලාගන්න දිනේෂ් මහත්මයාට පුළුවන් වෙයි.

හරි ෂෝක්‌… විමලේ මහත්මයාට සින්දු කියන්නත් පුළුවන්. අර එක දවසක්‌ මොකක්‌ද සින්දුවක්‌ කිව්වේ. ඔයාට මතකද? එයා හොඳ සින්දු කාරයෙක්‌.

හරි වැඩේ… එතකොට විහිළුකාරයාට කවුද ගන්නේ…?

ඇයි ‘වාසු’ මහත්මයා එයා ‘ටොප්’ – ඒකට දෙබස්‌ කියයි. දෙබස්‌ හොඳට කියයි.

හරි ෂෝක්‌ මෙයා… එතකොට ප්‍රධාන කෙල්ලගේ චරිතයට ගන්නේ කවුද? බිරිඳ ප්‍රශ්නයක්‌ මතු කළාය.

ඇයි… අපේ ‘ගීතා’

අපොයි එයා දැන් කෙල්ලට අරගෙන හරි නැහැ. අපි එයාට දෙමු… අම්මා කෙනකුගේ චරිතයක්‌. එයා ඇට්‌ටි හැලෙන්න රඟපායි. එයා ෂෝක්‌…

එතකොට කෙල්ලගේ අප්පච්චිගේ චරිතය… කියමින් බිරිඳ ප්‍රශ්නයක්‌ මතු කළාය.

අප්පච්චි මළා කියලා කිව්ව කෙනාව ගනිමු… මම පිළිතුරු දුන්නෙමි.

එතකොට මේ ටෙලි නාට්‍යයට පොලිසියේ චරිතයක්‌ එපාද?

ෂා… අපේ යාළු මහත්මයාව අපිට ගන්ඩ තිබුණා. දැන් එයා ඉන්නේ සුද්දොa එක්‌ක. මම කීවෙමි.

පසුබිම් ගායනය…

විමලේ මහත්තයා…

අධ්‍යක්‌ෂණය…

විමලේ මහත්මයා….

දෙයියනේ හැමදෙයක්‌ම විමලේ මහත්මයාට කරන්න පුළුවන්ද? මම ඇසුවෙමි.

කෙහෙල්මල……

ඔය යස අගේට පසුගිය කාලෙ කළේ….

කටින් තමයි… මම කීවෙමි.

ඒ ඇති කටවිතරක්‌ තිබුණොත් ඔක්‌කොම ඇති….. හොඳටයි….. නරකටයි….. ඔක්‌කොටම කට පමණයි…

ටෙලි නාට්‍යයේ නමට දාන්නේ මොකක්‌ද?

හොඳට….. නරකට කට….

හරි ෂෝක්‌ මෙයා… නියම නම…..

එතකොට කැමරාව මෙහෙයවන්නේ… කවුද මම ඇසුවෙමි.

අපේ බෙම්මුල්ලේ මල්ලී….. මිනිහා වැඩකාරයා…. බෙම්මුල්ලේ මල්ලීට සල්ලි ඕනෑ නැහැ…. කන්න දුන්නොත් ඇති…..

එතකොට තිර කතාව ලියන්නේ කවුද? ඒකට අපේ තිස්‌ස මහත්මයා හරි ගං මං මහත්තයාට කරන්න පුළුවන්….. පසුගිය කාලයේ එයාලා තිර කතා රචනය හොඳට කළා.

ආ….. මට අමතක වුණා. මේ චිත්‍රපටියට අහිංසකයෙක්‌ ඕනෑමයි… ඇයි….. මෙයා ඒකට මර්වින් අයියව ගන්න පුළුවන්….

තවත් අහිංසකයෙක්‌ ගත්තොත් චිත්‍රපටය අපූරු වෙයි.

ඇයි…. අපි නිශාන්ත මහත්තමයාවත් තෝරා ගනිමු… යෑයි මම කීවෙමි.

එතකොට නිෂ්පාදකවරයා කවුද?

ඒක තමයි… ප්‍රශ්ණේ

අපි විමලේ මහත්මයාට කියමු….

අපි රන්ජන්ව අයින් කරලා කොල්ලගේ සීන් එකත් එයාට දෙමු… එයා ඕනෑනම් ගොඩම බදාගනියි.

එතකොට එයා නිෂ්පාදකවරයා ලෙස චිත්‍රපටය කරයි.

චිත්‍රපටිය දුවයිද

මම බිරිඳගෙන් අවසාන ප්‍රශ්නයක්‌ ඇසුවෙමි.. දුවයි…. බිරිඳ මඳක්‌ කල්පනා කර කීවාය. නොදිව්වත් විමල් මහත්තයගෙයි දිනේෂ් මහත්තයගෙයි දෙබස්‌ තියෙන හින්ද රඹුටන් කාලෙට ප්‍රයෝජනයක්‌ ගත්තෑකි ඔය චිත්‍රපටියෙන්……

නෝමන් පලිහවඩන
Source : Divaina