විශ්වයේ උපත ගැන අලුත් මතයක්

0
2032
Grand_Universe

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

විශ්වයේ මූලාරම්භය නැතහොත් උත්පත්තිය පිළිබඳ සංවාදය අද – ඊයේ ඇති වූවක් නොවේ. ඈත අතීතයේ සිටම විවිධ දාර්ශනිකයන්මෙන්ම විද්‍යාඥයන්ද විශ්වයේ උපත පිළිබඳව නොයෙකුත් මතවාද – කල්පිත ඉදිරිපත් කොට ඇත්තේය. එහෙත්, මේ අරබයා පූර්ණ එකඟතාවකට එළඹීමට නූතන විද්‍යාව මතෛක් සමත් වී නැත්තේය. අනෙක් අතට, විශ්වයේ ආරම්භය පිළිබඳව පැහැදිලි නිගමනයකට එළඹීමට යම් හෙයකින් විද්‍යාවට හැකි වේ නම්, ඒ හරහා විද්‍යාවේ මතෛක් නොවිසඳී ඇති අබිරහස් රාශියකටම පිළිතුරු සොයාගත හැකි වනු ඇත. අඳුරු පදාර්ථ යනු මොනවාද..? අඳුරු ශක්තිය යනු කුමක්ද.? ‍පොළෝතලය මත ජීවය බිහි වූයේ කෙසේද…? මානව විඥානය යනු කුමක්ද…? යනාදී වශයෙන් වූ මෙකී – නොකී ප්‍රශ්න වැලකට පිළිතුරු සෙවීමට මේ හරහා මං පෑදෙනු ඇත.

විශ්වයේ අබිරහස් බොහොමයක් එහි උත්පත්තිය තුළ සැඟව පවතී. විශ්වයේ ආරම්භය කවදා – කෙසේ සිදුවී දැයි කියන්නට යමෙකු සමත් වූවොත්, මතෛක් විසඳී නැති අබිරහස් බොහොමයක් විසඳෙනු නොඅනුමානය. කුතුහලයෙන් පිරි සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙසින් අප ජීවත්වන මේ විශ්වය පිළිබඳව යමක් නොදැන සිටීමට මම අකමැත්තෙමි. ඒ නිසාම විශ්වයේ ආරම්භය කෙසේ සිදු වී දැයි දැන ගැනීමට මටද අවශ්‍යයය, කීර්තිමත් තාරකා විද්‍යාඥයකු හා විද්‍යා ‍ලේඛකයෙකු වූ කාල් සේගන්ගේ බිරිඳ වන ඈන් ඩ්රුආන් පවසන්නීය.

විශ්වයේ ආරම්භය පිළිබඳව දැනට වඩාත් පුළුල් පිළිගැනීමකට ලක්ව ඇති ප්‍රවාදය වන්නේ මහා පිපිරුම්   න්‍යායයි. ඉතා සරලව කියතොත් මීට වසර බිලියන ගණනකට පෙරාතුව සිදු වූ අති දැවැන්ත පිපිරීමක් හරහා විශ්වයේ උත්පත්තිය සිදුව ඇත්තේය. පසු කලෙක, මහා පිපිරුම් ආකෘතියට උද්ධමන න්‍යාය නමින් සංශෝධනයක් ඉදිරිපත් කෙරුණේය. උද්ධමන න්‍යායට අනුව මීට වසර බිලියන 14කට පමණ ඉහත දී විශ්වයේ උත්පත්තිය සිදුව ඇති අතර, එක්තරා කාලපරිච්ජේදයක් තුළ එක්තරා අන්දමට ශක්තියේ උද්ධමනයක් ද සිදුව ඇත්තේය. ඉලෙක්ටේ‍රා්නයකටත් වඩා කුඩා පරිමාවක කැටි ගැසී තිබුණු විශ්වය වර්තමානයේ දක්නට ලැබෙන ඉමක් – කොනක් නැති ප්‍රමාණය දක්වා ඉදිමී ඇත්තේ (ප්‍රසාරණය වී ඇත්තේ) තත්පරයකටත් වඩා අඩු ඉතා කුඩා කාල සීමාවක් තුළදීය. බැලූනයක් ප්‍රසාරණය වන ආකාරයට, එක්වරම සිතාගත නොහැකි අන්දමේ අති විශාල වේගයකින් විශ්වය ඉදිමුණු බවක් මෙම කල්පිතයෙන් කියැවෙන්නේය.

මෙම ආකෘතියට අනුව, මුලදී විශ්වය පුරා පැතිර තිබුණේ ශක්තිය පමණය. පසුව ශක්තිය කැටි  ගැසී අංශු බවට (පදාර්ථ බවට) පරිවර්තනය වී ඇත. ඊළඟට හයිඩ්‍රජන් හා හීලියම් වැනි සැහැල්ලු පරමාණු බිහි වූයේ මෙම අංශු එකට එක්වීමෙනි. අනතුරුව, එම පරමාණු එකතු වී තාරකා හා මන්දාකිණි බිහි විය. ඒ අවධියේ පැවැති උෂ්ණත්වය කෙතරම් විශාල වීද යත්, මෙසේ බිහි වූ මන්දාකිණි සියල්ලම දීර්ඝ කාලයක් තිස්සේ දැවෙමින් පිලිස්සෙමින් පැවැතියේය. අති දැවැන්ත ‍පෝරණුවලට සමාන වූ මේවා තුළ සැහැල්ලු පරමාණු කිසියම් ක්‍රමයකට සංයෝජනය වී (දහනය වී) බරින් වැඩි මූලද්‍රව්‍ය බිහි වී තිබේ. යට කී පරිදි, විශ්වයේ මූලාරම්භය පිළිබඳව නවීන විද්‍යාව විසින් දැනට පිළිගෙන ඇති පින්තූරය මෙයයි. විශ්වයේ දක්නට ලැබෙන සංසිද්ධීන් බොහොමයක් මෙම ආකෘතියේ ආධාරයෙන් විස්තර කිරීමට හැකිවීම, මෙය මේ සා දුරකට පිළිගැනීමකට ලක්වීමට හේතු වී තිබේ. මන්දාකිණිවල ව්‍යාප්තිය හා තාරකාවන්ගේ විපර්යාසයන් පමණක් නොව, ඇල්බට් අයින්ස්ටයින් විසින් හඳුන්වා දුන් අවකාශ කාලය මහා පරිමාණයෙන් හැසිරෙන ආකාරය ද උද්ධමන න්‍යාය හා බද්ධ වූ මහා පිපිරුම් ආකෘතියෙන් පැහැදිලි කිරීමට හැකි වී තිබේ.

එහෙත් මෙහිදී විද්‍යාඥයන් මුහුණ දෙන ගැටලු කිහිපයක් ඇත්තේය. උද්ධමන න්‍යාය හෝ මහා පිපිරුම් ආකෘතිය හෝ පරීක්ෂණ මගින් ඔප්පු කිරීමට නොහැකි වීම ඉන් පළමුවැන්නයි. නවීන විද්‍යාවේ සාමාන්‍ය සම්ප්‍රදායට අනුව, කිසියම් සංසිද්ධියක් පිළිබඳව කිසියම් කල්පිතයක් ප්‍රවාදයක් ඉදිරිපත් වූ විට එය පරීක්ෂණ මගින් තහවුරු විය යුතුය. එහෙත් විශ්වයේ ආරම්භය පිළිබඳව කවර ප්‍රවාදයක් ආකෘතියක් ඉදිරිපත් කළද, එය පරීක්ෂණාත්මකව ඔප්පු කළ නොහැකිය. එමතුද නොව, විශ්වය ආරම්භයේ දී එය පුරා පැතිර තිබුණේ යැයි කියැවෙන ශක්තියද අද දකින්නට නොලැබෙන්නේය. විශ්වයේ සංසිද්ධීන් බොහොමයකට ගැළපෙන උද්ධමන න්‍යාය ඉතා ප්‍රබල ප්‍රවාදයක් වුවද, විශ්වය ආරම්භයේ දී එබඳු උද්ධමනයක් සිදුවූයේ මන්ද යන ප්‍රශ්නයට පිළිගත හැකි පිළිතුරක් දීමට මතෛක් අසමත් වීම, උද්ධමන න්‍යායයේ ප්‍රධාන දුර්වලතාවක් යැයි වොෂින්ටන් සරසවියේ අභ්‍යවකාශ භෞතික විද්‍යාඥයකු වන එරික් ඇගෝල් පෙන්වා දෙයි. ඉහත කී පරිදි, උද්ධමන න්‍යාය යනු විශ්වයේ දක්නට ලැබෙන විවිධ සංසිද්ධීන්ට ගැළපීම සඳහා මහා පිපිරුම් ආකෘතියට එක් කරනා ලද සංශෝධනයක් වෙයි. ඇමුණුමක් වෙයි.

ඒ ආකාරයට පර්යේෂණ ප්‍රතිඵල සමග පෑහීමට උද්ධමන න්‍යාය ඉදිරිපත් කරනු ලැබූවද, විශ්වයේ  උපත පිළිබඳ වඩාත්ම නිවැරදි ආකෘතිය එය යැයි ඔප්පු කර පෙන්වීමට විද්‍යාඥයන් මතෛක් සමත් වී නැතැයි එරික් ඇගෝල් අවධාරණය කරයි.
ප්‍රින්ස්ටන් සරසවියේ භෞතික විද්‍යාඥයෙකු වන ‍පෝල් ස්ටෙයින්හාඩ්ට් උද්ධමන න්‍යාය සම්බන්ධයෙන් මෙසේ පවසයි.

දැනට ඇති නිරීක්ෂණ හා පර්යේෂණ ප්‍රතිඵල සමග මෙම ආකෘතිය ගැළපෙන නිසා අප සෑහීමකට පත් වී සිටින්නෙමු. විශ්වයේ දක්නට ලැබෙන නොයෙකුත් සංසිද්ධීන් ගති ලක්ෂණවලට උචිත වන පරිදි මහා පිපිරුම් ආකෘතියට උද්ධමන න්‍යාය එකතු කොට ගළපාගෙන ඇත්තෙමු. උදාහරණයක් ලෙස, විශ්වයේ අඳුරු පදාර්ථ ඇති බව දැනගත් විට ඊට ගැළපෙන පරිදි අපි ආකෘතිය සංශෝධනය කළෙමු. ඊට පසුව, විශ්වයේ අඳුරු ශක්තීන්  ඇති බවට මත පළ විය. එවිට එයට ද ගැළපෙන පරිදි, මහා පිපිරුම් උද්ධමන ආකෘතියට තවත් සංශෝධන එකතු කරන්නට අපට සිදු විය. එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ මේ අන්දමට විටින් විට කරනු ලබන සංශෝධන (එක් කරන ඇමුණුම්) ඒකාබද්ධ කිරීමයි. ඒවා සියල්ල කැටි කොට එක් සංගත ප්‍රවාදයක් ගොඩනැගීමයි.

මෙයාකාරයට අලුතින් පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙනා විට එතෙක් පිළිගත් ආකෘතියට අලුතින් සංශෝධන – සංරචක එක් කිරීමට සිදු වීම නිසා මුල් ආකෘතියේ නිරවද්‍යතාව පිළිබඳව සැක සංකා මතුවන බව ස්ටෙයින්හාඩ්ට් තවදුරටත් පවසයි. මෙසේ විටින් විට එකතු කෙරෙන නව සංරචක අතර අනේ‍යාන්‍ය සබඳතාවක් නොමැතිවීමද විද්‍යාඥයන්ට ගැටලුවක් වී තිබේ. පරීක්ෂණ දත්ත හා තොරතුරුවලට ගැළපෙන පරිදි නව සංශෝධන කිරීමේ දී ඊට සාධාරණ හේතු සාධක ද ඉදිරිපත් කළයුතු වේ. එහෙත් පිපිරුම් ආකෘතියට එක් කෙරුණු සංශෝධනවලට භෞතික විද්‍යාත්මක පදනමක් සැපයීමට විද්‍යාඥයෝ අසමත් වී සිටිති. එනම් මෙම සංශෝධන හරහා විශ්වයේ ආරම්භය පිළිබඳව අලුත් ආකෘතියක් ගොඩනැගෙමින් පවතිනවා විනා ඒවා පැහැදිලි කිරීමක් සිදුවන්නේ නැත. මෙම සංශෝධන ඉදිරිපත් කිරීමට තුඩු දෙන හේතූන් විද්‍යාත්මකව සාධාරණීකරණය කිරීමක් සිදුවන්නේ නැත. වෙනත් වචනවලින් කියතොත්, විශ්වයේ ආරම්භය පිළිබඳව මෑත කාලයේ ඉදිරිපත් කෙරුණු විද්‍යාත්මක ප්‍රවාදයන් එන්න එන්නම සංකීර්ණ වෙමින් පවතිනවා පමණක් නොව, එම ප්‍රවාද බොහොමයක් හේතූ සහගතව පහදා දීමේ නොහැකියාවක් ද මතුවෙමින් පවතී.

කේම්බ්‍රිජ් සරසවියේ භෞතික විද්‍යාඥයෙකු වන නීල් ටියුරක් හා එක්ව ‍පෝල් ස්ටෙයින්හාඩ්ට් විසින් මහා පිපිරුම් ආකෘතියට විකල්පයක් ඉදිරිපත් කොට ඇත්තේ මෙවන් පසුබිමක් තුළය. ටියුරක් – ස්ටෙයින්හාඩ්ට් දෙපළගේ නවතම ප්‍රවාදය චක්‍රීය විශ්ව ආකෘතිය  නමින් හැඳින්වෙන අතර, ඒ අනුව විශ්වයේ උපත වරක් දෙවරක් සිදු වූවක් නොව, උත්පත්තිය – මරණය පුනරුත්පත්තිය යනුවෙන් අඛණ්ඩව සිදුවන චක්‍රීය ක්‍රියාදාමයක් වන්නේය. වසර මිලියන මිලියනයකට (ට්‍රිලියනකට) වරක් විශ්වයේ විශාල කොටස් එකිනෙක ගැටී මහා පිපිරුමට සමාන දැවැන්ත පිපිරුමකට භාජනය වෙයි. මෙම පිපිරුම් හරහා විශ්වයට ශක්තිය හා පදාර්ථ එකතු වෙයි.

මෙය චක්‍රයක් ලෙසින් ස්වාභාවිකව සිදුවන ක්‍රියාදාමයකි. ස්වකීය චක්‍රීය විශ්ව ආකෘතියට අනුව ශක්ති උද්ධමනය පමණක් නොව අඳුරු පදාර්ථ හා අඳුරු ශක්තිය ඇතුළු විශ්වයේ අබිරහස් බොහොමයක් විස්තර කළ හැකි යැයි ස්ටෙයින්හාඩ්ට් – ටියුරක් දෙපළ උදම් අනති. මෙම නව විශ්ව ආකෘතිය තවමත් විවාදාත්මක මට්ටමේ පවතින්නක් වුවද, එය විශ්වය යනු අගක් මුලක් නැති නිමක් කොනක් නැති සංසිද්ධියක් බවට බොහෝ දාර්ශනිකයන් පළකර ඇති මතයට නෑකම් කියයි. විශ්වයේ නිශ්චිත ආරම්භයක් හා අවසානයක් පිළිබඳව ඉදිරිපත් කෙරෙන කවර හෝ ආකෘතියකට වඩා, චක්‍රීය විශ්ව ආකෘතිය විස්මය හා කුතුහලය උපදවන්නක් බව භෞතික විද්‍යාඥයන් වැඩි දෙනෙකුගේ අදහස වී තිබේ.

කෙසේ වුවද, විශ්වයේ ආරම්භය පිළිබඳව විවිධ කල්පිත-ප්‍රවාද ඉදිරිපත් කිරීමේ දී අමතක නොකළ යුතු තවත් වැදගත් පැතිමානයක් වෙයි. එනම් විශ්වයේ ආරම්භය කවදා කෙසේ සිදු වීද යන ගැටලුවට පිළිතුරු සෙවීමට කලියෙන් විශ්වය යනු කුමක්දැයි නිසි පරිදි අර්ථකථනය කළ යුතුය. බොහෝ දාර්ශනිකයන් මෙන්ම විද්‍යාඥයන්ද පිළිගෙන ඇති පරිදි, මතෛක් පැවැති පවතින හා පැවැතිය හැකි සියලුම වස්තූන්ගේ හා සිද්ධීන්ගේ එකතුව විශ්වය ලෙස සලකනු ලැබේ. විශ්වයට සීමාමායිම්  කිසිවක් නොමැත. විශ්වය අනන්තය. අප්‍රමාණය. මේ අනුව බලනා විට විශ්වයේ ආරම්භය (නැතහොත් උත්පත්තිය) ද විශ්වයටම අයත් වේ  එසේ නම්, විශ්වයේ ආරම්භයක් නැතහොත් උත්පත්තියක් ගැන වාද කිරීම නිෂ්ඵල ක්‍රියාවක් නොවන්නේද..? කාලය අවකාශය-ස්ථානය වැනි සංකල්පයන්ගෙන් සීමා -වැටකඩොලු බැඳී ඇති නවීන විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් විශ්වයේ උත්පත්තිය පිළිබඳ අබිරහස් විසඳාගත නොහැකි බවට ඇතැම් දාර්ශනිකයන් නගන තර්කයේ ඇත්තක් තිබේද..?

Source : Lakbima