comedy-of-calam-macray

0
611

(මංගල දර්ශනය ජිනීවාහිදී)

ප්‍රකට චිත්‍රපට අධ්‍යක්‍ෂ “කැලම් මැක්‌රේ” තවත් චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කර තිබේ. මැක්‌රේට චිත්‍රපට හැදීම ආප්ප කනවාටත් වඩා පහසු කාර්යක්‌ බව ඔහු ඔප්පු කර තිබේ. සිංදු, ලව් සීන් නැති මැක්‌රේගේ චිත්‍රපට අයත් වන්නේ කුමන සිනමා වර්ගීකරණයක්‌ යටතේද යන්න අපි නොදනිමු. අප දන්නා හැටියට ත්‍රාසජනක, අද්භූත (HORRER) හෝ රොමාන්තික ආදී කිsසිදු වර්ගීකරණයකට මැක්‌රේගේ චිත්‍රපට අයත් නැත. එහෙත් ස්‌ථිර වශයෙන්ම කිව හැකිවන්නේ චිත්‍රපටය “ජිනීවා නුවර (වැඩිහිටියන්ට) වඩාත් සුදුසු” බවය.

කැලම් මැක්‌රේ නිෂ්පාදනය කර ඇති අලුත්ම චිත්‍රපටය වන්නේ “සර්ච් ෆෝ ජස්‌ටිස්‌ (serch for justice) ය. චිත්‍රපටයේ අන්තර්ගතය වන්නේ යුද අපරාධවලට දඬුවම් කළ යුතුය යන්නය. මැක්‌රේ මේ චිත්‍රපටය එළිදක්‌වන්නේ ජිනීවා සැසිවාරය ආරම්භ කිරීමට හෝරා කිහිපයක්‌ ඉතිරිව තිබියදී වීම විශේෂත්වයකි. එමෙන්ම මෙම චිත්‍රපටය තිරගත කිරීමට සූදානම් කර ඇත්තේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවකදීය. මැක්‌රේ, ලෙහෙසියෙන් සටන අත්හරින බවක්‌ පෙනෙන්නට නැත. එල්. ටී. ටී. ඊ. කාඩරයන් පිරී ගත් දෙමළ ඩයස්‌පෝරාවේ සහාය ද ඊට ලැබෙන බවට විවාදයක්‌ නැත. කැලම් මැක්‌රේ හා කොටි හුරතලුන් එක්‌ව පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවට එරෙහිව බොහෝ උගුල් ඇටවූ බව අමුතුවෙන් කිව යුතු නැත. කැලම් මැක්‌රේ පසුගිය කාලයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට “පෙත්සම්” පවා ලියා යෑවූ බව වාර්තා වී තිබිණි. කොටියාගේ “අරමුණ” ත් මැක්‌රේගේ “අමාරුවත්” එක සමානය. දැන් සිදුව ඇත්තේ මානව හිමිකම් වෙස්‌මුහුණ ඉදිරියේ තවමත් මැක්‌රේද එල්. ටී. ටී. ඊ. යට ඇඳීමය. පසුගිය කාලය පුරාම ඇමරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තරයේ බොහෝ රටවල නිත්‍ය ප්‍රතිපත්තිය වී තිබුණේ ද එල්. ටී. ටී. ඊ. ඩයස්‌පෝරාවේ වුවමනාවට ක්‍රියා කිරීම බව අමතක කළ යුතු නැත.

අදින් ඇරඹෙන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 30 වැනි සැසිවාරය සඳහා සහභාගිවීමට පෙර ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් චෝදනා ගැන සඳහන් වන මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්‌වරයා ලබාදෙන වාර්තාව පසුගිය සතිය අවසන් වන විටත්, ශ්‍රී ලංකාව නියෝජනය කරන පිරිසට ලබාදී තිබුණේ නැත. සම්ප්‍රදායක්‌ ලෙස එවැනි වාර්තාවක්‌ කල් වේලා ඇතුවම (සතියකට පෙර) ලබාදීම සිදුකරන්නකි. පිටු 200 කට අධික වූ ශ්‍රී ලංකාවට එරෙහි වාර්තාවට ප්‍රතිචාර දැක්‌වීම සඳහා ශ්‍රී ලංකා රජයට ද යම් කාලයක්‌ අවශ්‍ය වීම ප්‍රායෝගික කාරණයක්‌ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. මැක්‌රේ හිටිහැටියේ අලුත් චිත්‍රපට නිෂ්පාදනය කර, මංගල දර්ශනය සඳහා ජිනීවා කවුන්සිලයම තෝරාගැනීම, වාර්තාව පමා කිරීම වැනි කාරණා අහඹු සිදුවීම් ලෙස සැලකිය නොහැක.

ශ්‍රී ලංකාවට “උත්තරයක්‌” හදන්නට (මේ උත්තරය හැබෑම වන්නට ගොතන බොරු උත්තරයක්‌ නොව ශ්‍රී ලංකාවට එරෙහි ටොම්පච ගණනාවකට දෙනු ලබන සැබෑ උත්තර බව තදින්ම සිහි තබාගන්නා ලෙස අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.) ඉඩ නොදී මේ කරන්නට සූදානම් වන්නේ යුද අපරාධ චෝදනාවේ කරමුලටම හිර කිරීම බව අපි විශ්වාස කරමු.අපේ මානව හිමිකම් ගැන කතා කරන, චිත්‍රපට හදන, පෙත්සම් ගහන බොහෝ රටවල් “මානව හිමිකම්” අමු අමුවේම බිඳ දමන වගට නැවත නැවතත් උදාහරණ සැපයීමට අවශ්‍ය නැත.

එක්‌සත් ජාතීන්ගේ මහ සමුළුව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සුරැකීමේ සංවිධානය වැනි සංවිධාන ලෝකයේ රටවල් බහුතරයක්‌ ආවරණය කරමින් පැවතියද ලොව පුරා යුද තත්ත්වයන්a සමනය වී නැත. දේශ සීමා යුද්ධ, අභ්‍යන්තර ත්‍රස්‌තවාදී ගැටුම්, ආගමික, වර්ණභේදවාදී ගැටුම්, කුල ගැටුම්, ත්‍රස්‌ත ප්‍රහාර ගැන නිතිපතා වාර්තා වන බව අමුතුවෙන් කිව යුතු නැත.

එහෙව් තත්ත්වයක්‌ තුළ මැක්‌රේගේ බයිස්‌කෝප් නාඩගම් අතිශය අන්තවාදී ලෙස ලොව බිහිසුණුම ත්‍රස්‌තවාදී සංවිධානයක ඉතිරිව සිටින කාඩරයන්ට පක්‍ෂපාතී එකක්‌ බව රට නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රිකයන් විසින් ලෝකයට පෙන්වා දිය යුතුය. මැක්‌රේ කොමඩි චිත්‍රපට සියයක්‌ හදන විට අපට එක හොඳ නිර්මාණයක්‌ කර ජාත්‍යන්තරයට ඉදිරිපත් කරන්නට තවමත් හැකියාව නොලැබුණේ ඇයිදැයි යන්න නැවත සිsහියට නඟාගත යුතුය.

Source : Divaina