ලොව හොඳම පොලිස් කාන්තාව ලෙස පිදුම් ලබන සහකාර පොලිස් අධිකාරිනී ධීමතී පෙරියප්පෙරුම

0
2556

මගේ රටේ ජාතික කොඩිය පිටරටකදී එසැවීමට ලැබීම මගේ සිහිනයක් සැබෑවීමක්
ලොව හොඳම පොලිස් කාන්තාව ලෙස පිදුම් ලබන සහකාර පොලිස් අධිකාරිනී ධීමතී පෙරියප්පෙරුම

Deemathi-periyapperuma-2ඒ 2009 වසරයි. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ සුවිශේෂී සටහනක් තබමින් මෙරට පොලිස් සේවයට එකවර සහකාර පොලිස් අධිකාරිනි­‍යෝ දස දෙනෙක් පත්වීම් ලැබූහ. 2009 මාර්තු මස 08 වැනිදා කාන්තා දිනය යෙදුණු දා ඒ තොරතුර
සිළුමිණ රටට පැවසුවේ ‘පොලිසියට එක්වූ ඒ.එස්.පී. නෝනලා’ යන උද්ධෘතය යටතේය.

ධීමතී පෙරියප්පෙරුම, සෝමා කුමාරසිංහ, රේණුකා ජයසුන්දර, දර්ශිකා රණසිංහ, පද්මිණී වීරසූරිය, ජයනි ආරියසේන, ඉමේෂා මුතුමාල සහ ලංකා රාජනී අමරසේකර එදා සහකාර පොලිස් අධිකාරිනියන් ලෙස පත්වීම් ලැබූහ. එම දසදෙනා අතරින් ජ්‍යෙෂ්ඨතම නිලධාරිනිය වූයේ ධීමතී පෙරියප්පෙරුමය. අද අපට ඇය පිළිබඳ තවත් සුවිශේෂ සටහනක් තැබීමට අවස්ථාව එළැඹ ඇත්තේය. ඒ ඇය අන්තර්ජාතික කාන්තා පොලිස් සම්මේලනය (IAWP) මගින් වසරේ හොඳම පොලිස් කාන්තාව ලෙස නම් කිරීමත් සමඟය. තවත් දෙසතියකින් ලන්ඩනයේ කාඩි‍ෆ් නුවර දී

රටවල් ගණනාවක ඉහළ පොලිස් නිලධාරිනියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අන්තර් ජාතික පොලිස් සම්මේලනයේ වාර්ෂික සම්මන්ත්‍රණයේ දී ඇය ඒ වෙනුවෙන් පිදුම් ලබන්නීය. සහකාර පොලිස් අධිකාරිනී ධීමතී පෙරියප්පෙරුම ලද ඒ සුවිශේෂ ජයග්‍රහණය අප රටට ආඩම්බරයකි.

ඔබ මෙලෙස ලෝකයේ හොඳ ම කාන්තා පොලිස් නිලධාරිනිය ලෙස පත්වීමට හේතු වූ කරුණු සඳහන් කළොත්…

Deemathi-periyapperuma-3මගේ තිස්වසරක පොලිස් ජීවිතයේ අත්දැකීම් හා පළපුරුද්දත් පොලිස් සේවයේ දී මගෙන් සිදු වූ මෙහෙවර ඇගයීමක් ලෙස මේ සම්මානය සඳහා මා තෝරා ගත්තා. මෙහිදී විශේෂයෙන් ම ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිරත කාන්තා නිලධාරිනියක් වෙනුවෙන් මා කළ සේවය අගැයීමට ලක් කළා.

අපේ පොලිස් නිලධාරිනියන්ගේ නිල ඇඳුම වුණේ කෙටි සායයි. මං නිලධාරිනියන් සඳහා කලිසම ඇඳීමේ යෝජනාව ගෙන ආවා. එසේ ම ගර්භණී නිලධාරිනියකට එතෙක් නොතිබූ නිල ඇඳුමක් නිර්මාණය කළා. මේ යෝජනා දෙක ම පොලිස් සේවා වනිතා මවු ශාඛාවේ සභාපතිනී නීපා සාරංගි ඉලංගකෝන් මැතිනියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම යෝජනා ක්‍රියාත්මක වුණා. අපගේ නිලධාරිනියන් දැන් ඒ වරප්‍රසාද දෙකම භුක්ති විඳිනවා.

මීට අමතරව මා මනෝරි නවරත්න මැතිනියගේ සභාපතිත්වයෙන් යුත් පොලිස් මූලස්ථාන සේවා වනිතා උප ඒකකයේ භාණ්ඩාගාරික වශයෙන් නිලධාරිනියන්ගේ සුබ සාධනය සඳහා කටයුතු කරනවා.

මෙවන් අන්තර් ජාතික සම්මානයකින් පිදුම් ලැබූ ඔබේ ශ්‍රී ලංකා පොලිස් සේවා කාලය ගැන කතා කළොත්….

ම‍ගේ පොලිස් සේවා ජීවිතයට දැන් වසර 30යි. මං පොලිස් සේවයට එක්වුණේ 1984 වසරේ දී උප සේවා උප පොලිස් පරීක්ෂකවරියක ලෙසයි. වසර 5 කට පසු උප සේවා පොලිස් පරීක්ෂකවරියක ලෙස උසස් වුණා. ඉන් වසර 3කට පසු ඒ කියන්නේ උප සේවයේ අටවසරකට පසු නිත්‍ය සේවයේ උප පොලිස් පරීක්ෂකවරියක ලෙස අන්තර්ග්‍රහණය වුණා.

ශ්‍රී ලංකා පොලිස් සේවයේ ඔබ සේවය කළ විශේෂිත අංශ මොනවා ද?

Deemathi-periyapperuma-4මා විශේෂයෙන් ම ප්‍රභූ ආරක්ෂක අංශවල සේවයේ නිරත වුණා. ඇමැති ආරක්ෂක අංශය, අගමැති ආරක්ෂක අංශය සහ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළා. ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර දොළහක් සේවය කළා. සහකාර පොලිස් අධිකාරිනියක ලෙස පත්වීම් ලද පසු පොලිස් මූලස්ථානයේ රාජකාරියේ නිරත වුණා.

ඔබ ප්‍රභූ ආරක්ෂක සේවයේ යෙදීමේ විශේෂ හේතුවක් තිබුණා ද?

මා ප්‍රභූ ආරක්ෂක සේවා පිළිබඳ විශේෂ පුහුණුවක් ලැබ තිබෙනවා. ඇමෙරිකාවේදී ලද එම පුහුණුවේදී ගැහැනු පිරිමි බේදයකින් තොරව ඒ පුහුණුව ලැබුවා. ප්‍රභූවරයකුගේ ආරක්ක්ෂාවේදී ගත යුතු ක්‍රියාමාර්ග මෙන් ම ගිනි අවි භාවිතය සහ රිය පැදවීම ද එම පුහුණුවට ඇතුළත් වුණා.

ඔබ වැඩි වශයෙන් යෙදවුණේ කුමන අන්දමේ ප්‍රභූ ආරක්ෂක සේවාවලට ද?

මට විශේෂයෙන් ම අප රටේ ප්‍රභූ කාන්තාවන්ට සේවය කිරීමේ අවස්ථාව ලැබී තිබෙනවා. ඊට අමතරව මෑත කාලයේ ලංකාවට පැමිණි සියලු ම විදෙස් රාජ්‍ය නායකයන්ගේ ආර්යාවන්ට සහ විදෙස් ප්‍රභූන්ගේ ආර්යාවන්ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරිනිය ලෙස රාජකරි ‍කළා. උදාහරණ ලෙස එවකට ජපාන අගමැති ටොෂිකි කයිපු ආර්යාව, චීන අගමැති ලී පෙංග් ආර්යාව, පකිස්තානයේ නවාස් ෂෙරීෆ් ආර්යාව, මාලදිවයිනේ අබ්දුල් ගයුම් ආර්යාව, ඉන්දියාවේ ගුජ්රාල් ආර්යාව සහ 2012 දී ලංකාවේ පැවැති කථානායකවරුන්ගේ සම්මේලනයට පැමිණි ඉන්දීය ලෝක් සභා කථානායිකා මීරා කුමාරි මැතිනියගේ පරිවාර කාන්තාව ලෙස කළ රාජකාරි ඉන් සුවිශේෂයි.

මෙම ප්‍රභූ ආරක්ෂක සේවා කටයුතුවලදී ඔබගේ මතකයේ රැඳුණු අවස්ථා වේද?

2010 වසරේ අප රටේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට එංගලන්තයේ චාල්ස් කුමරු සමඟ පැමිණි කැමිලා පාකර් රාජකීය උත්තමාවියගේ පරිවාර කාන්තාව ලෙස රාජකාරි කිරීමට ලැබීම මගේ මතකයේ සැමදා රැඳී තිබෙනවා. ඔවුන් සඳහා විශේෂ ආරක්ෂක විධිවිධාන පැනවී තිබුණා. ඒ නිසා අප ඒ සියලු විධිවිධානවලට අනුකූලව රාජකාරි කළ යුතු වුණා. සාමාන්‍යයෙන් රාජකීය පවුලක කාන්තාවකට කිට්ටුවීමවත් අපට කළ නොහැකියි. එසේ තිබියදී එතුමියගේ පරිවාර කාන්තාව ලෙස කටයුතු කිරීමට ලැබීම මගේ වාසනාවකැයි සිතෙනවා.

චාල්ස් කුමරු සහ කැමිලා පාකර් රාජකීය උත්තමාවිය කටුනායක ගුවන් තොටුපොළට පැමිණි මොහොතේ පිළිගැනීමේ අවස්ථාවට මැති ඇමැතිවරුන් ඇතුළු රටේ ප්‍රභූන් එක්ව සිටියා. එහි නිල ඇඳුමින් සිටි කාන්තාවකට සිටියේ මායි. චාල්ස් කුමරු මා හා අතට අත දෙමින් “ඔබ ගුවන් තොටුපොළේ කාර්යභාර නිලධාරිනියදැයි” මගෙන් විමසුවා. මා එවිට “නැහැ, මා උත්තමාවියගේ පරිවාර කාන්තාව” යනුවෙන් පිළිතුරු දුන්නා. චාල්ස් කුමරු එයට සිනාසෙමින් ප්‍රතිචාර දැක්වූවා.

ඔබ පොලිස් සේවයේ ලද විදෙස් පුහුණුවීම්…

බැංකු වංචා සම්බන්ධයෙන් ඉන්දියාවේදී ලද පුහුණුව සහ පොලිස් පරිපාලනය සම්බන්ධයෙන් ද. කොරියාවේ දී පාඨමාලා හදාරා තියෙනවා. එම පාඨමාලාවලදී ලද දැනුම මට මගේ සේවයේ මේ තාක් දුර ඒමට ලද විශේෂ පිටුබලයක් වුණා.

පොලිස් සේවය පිළිබඳ ඔබගේ සිත යොමු වුණේ කොහොමද?

Deemathi-periyapperuma-old-pixමගේ අම්මා විනිෂියා මීරියම් පෙරියප්පෙරුම. තාත්තා පර්සි නෙල්සන් ක්‍රිස්ටෝපර් පෙරියප්පෙරුම. මගේ මවගේ මල්ලී මගේ මාමා ස්ටැන්ලි රණසිංහ හිටිපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්. මට පොලිසියට බැ‍ඳෙන්න ආශාවක් ඇති ව‍ුණේ මාමා නිසයි. ඒ වගේ ම මගේ අම්මා නිසා මට ඉවසීම පුහුණු වුණා. තාත්තා නිසා එඩිතරකම ආවා. මගේ පොලිස් ජීවිතයේ ඉදිරි ගමනට ඒ ගුණාංග ඉවහල් වුණා.

මං පවුලේ තනි දරුවා. මට කුඩා කලදීම හිතුණු දෙයක් තමයි පොලිසියට බැඳුණොත් මට තනියෙන් හැමදේමට මුහුණ දෙන්න ශක්තියක් ලැබේවියැයි කියන එක. තාත්තා අකමැති වුණත් මං තාත්තා කැමති කරගෙන පොලිසියට බැඳුණා. අද මං ඉන්න තැන දැක්කා නම් තාත්තා තරම් සතුටුවෙන වෙනත් කෙනෙක් නැතිවේවි.

මගේ සැමියා එකල දක්ෂ රගර් හා බාස්කට් බෝල් ක්‍රීඩකයෙක්. ඔහු ක්‍රීඩා පුහුණුවීම් නොමැති කාලවල ඇමැති ආරක්ෂක අංශයේ සේවයට එක්වුණා. ඒ කාලයේදී මගේ හොඳම මිත්‍රයා වුණේ ඔහුයි. පසුව අප ආදරවන්තයන් බවට පත්වුණා. ඒත් අපට ජාතිබේදය හරස් වී විවාහවීමට අපේ නිවෙස්වලින් බාධා ආවා. අප වසර අටක් ම එලෙස හිටියා. පසුව අප විවාහ වුණා. මට දැන් අවුරුදු 16ක පුතෙක් ඉන්නවා. ඔහු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනීම ලබනවා.

ඔබගේ ගෙදර දොර කටයුතු…

අපි තුන්දෙනා ගෙදර ඉන්නෙ යාළුවො වගෙයි. ගෙදර තියෙන්නෙ හරිම සාමකාමී පරිසරයක්. මං එය ඉතා අගය කරනවා. ගෙදර ඉවුම් පිහුම් සියල්ල කෙරෙන්නේ මා අතින්. පුතාත් මහත්තයාත් උදව් වෙනවා. ඒ අයගේ සහාය නැත්නම් මට නිරවුල් මනසකින් රාජකාරි කරන්න ලැබෙන්නේ නෑ.

ඔබ පොලිස් රාජකාරියට අමතරව යෙදෙන කටයුතු තිබෙනවා ද?

මගේ මුල් පාසල විද්‍යාකර මහා විද්‍යාලයයි. ඉන්පසු න‍ුගේගොඩ සමුද්‍රදේවී බාලිකාවට ආවා. මං කලාවට හරිම ළැදියි. පාසල් කාලයේ නාට්‍ය රඟපෑවා. චිත්‍ර ඇන්දා. විවාද කණ්ඩායමේ හිටියා. පොලිස් සේවයට ඒමට පෙර ඩී.බී. නිහාල්සිංහ මහත්මයාගේ රූපවාහිනී දැන්වීම්වලට පෙනී සිටියා. ටෙලි නාට්‍ය කීපයකත් රඟපෑවා.

පසුගිය වසරේ මට යළිත් කරළියට ඒමට අවස්ථාවක් ලැබුණා. සමුද්‍රදේවී බාලිකාවට වසර 150ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේ මහදැනමුත්තිය නාට්‍යයේ මහදැනමුත්තිය ලෙස ප්‍රධාන චරිතය රඟපෑවා.

මං ලංකා සභාවට අයත් ක්‍රිස්තු භක්තිකයෙක්. මහරගම විමුක්තිදායක ක්‍රිස්තුන්වහන්සේගේ දේවස්ථානයේ ගිහි නිලධාරිනියක ලෙස මං අසරණ අයට, වැඩිහිටි හා ළමා නිවාසවලට උදව් කරනවා.

අප රටේ දිගටම ළමයින් හා කාන්තාවන් අපරාධවලට ලක්වෙන පුවත් අසන්නට ලැබෙනවා. පොලිස් නිලධාරිනියක ලෙස මේ ගැන ‍ඔබේ අදහස….

අප රටේ කාන්තාවෝ සමාජය ගැන දැනුම්වත් වෙනවා මදි. ඒ වගේ ම දැනුම්වත් කිරීමත් මදි. සමාජීය වශයෙන් තවදුරටත් දැනුම්වත් කිරීම් කළ යුතුයි. දරුවන්ගේ ආරක්ෂාව ගැන මූලිකව මවුපියන් වගකිව යුතුයි. හොඳ මවුපියන්ගේ දරුවෝ නරකට යොමු වෙන්නෙ නෑ. දරුවන් ගැන වැඩිහිටියන් නිතර ඇහැ ගහගෙන සිටිය යුතුයි. දරුවන්ට මවුපියන්ගේ නිසි ආදරය ලැබිය යුතුයි. අද සමාජයේ මවුපිය දූ දරු සබඳතා දුරස්වෙලා. ඒ නිසා සමීප සබඳතා ගොඩනගා ගැනීමත් ඉතා වැදගත්.

ඔබ තව දෙසතියකින් ලොව ‍හොඳම කාන්තා පොලිස් නිලධාරිනිය ලෙස සම්මාන ලබනවා. ඒ ගැන ඔබ කුමක් ද හිතන්නේ?

මා අන්තර්ජාතික කාන්තා පොලිස් සම්මේලනයේ සැසිවාර කීපයකට මීට පෙර ද සහභාගි වී තිබෙනවා. අප රටේ සුනාමි ව්‍යසනයට ගොදුරු වූ පසු ඒ වසරේ එංගලන්තයේ ලීඩ්ස්වල පැවැති සම්මේලන වාරයේදී ස්වාභාවික ව්‍යසන සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමක් කිරීමේ අවස්ථාව මට ලැබුණා. එහිදී මා කළ ඉදිරිපත් කිරීම ඉහළ අගැයීමකට ලක්වුණා.

මා සහභාගි වූ ඒ සැසිවාරවලදී වෙනත් රටවල නිලධාරිනියන් වසරේ හොඳ ම පොලිස් කාන්තව ලෙස සම්මානය ලබද්දී ම‍ගේ රටේ ජාතික ධජය මෙතැන ලෙළ දෙන්නේ කවදා ද කියා මා බලා හිටියා. අනෙක් රටවල ඉහළ පොලිස් නිලධාරිනියන් ඉදිරියේ අපේ රටේ ධජය ඉහළට එසවීමට මගේ ආශාවක් තිබුණා. මේ සම්මානය ලබා ගැනීම මගේ සිහිනයක් වුණා. දැන් ඒ සිහිනය සැබෑ වුණා. මෙය මට පමණක් නොවෙයි රටවල් සිය ගණනක් ඉදිරියේ අපේ රට ඉහළ ඇගයීමට ලක්වෙන අවස්ථාවක් නිසා මට දැනෙන්නේ හරිම සතුටක්.