සතුට හා අසතුට තීරණය කරන්නේ අපේ සිතය

0
903

ඉපදුණ මොහොතේ සිට මිය යන තුරුම අපි ජීවිතයේ සතුට බලාපොරොත්තු වෙමු. කොපමණ උත්සාහ කළද බොහෝ දෙනකුට ළං විය නොහැක්කේ ද එතැනටය. ඒ සැබෑ සතුට හා එය ළඟා කරගන්නා මඟ පිළිබඳ නිවැරැදි අවබෝධයක් නොවන නිසා ය. මිල මුදල්, යාන වාහන, සුවිසල් මන්දිර ආදී භෞතික සම්පත් දකින ඕනෑම කෙනෙකුට සිතෙන්නේ ඒවායේ උරුමකරුවන් ධනවතුන් බවය. ජීවිතයේ සැබෑ සතුට විඳින්නන් බවය.

එහෙත් අසීමිත සැප සම්පත් මැද ජීවත් වුවද සතුට හා අසතුට තීරණය කරන්නේ අප ගේ සිත ය. සිය ජීවන රටාව පිළිබඳව කෙනෙකුට හදවතින් ම සතුටු විය හැකි නම් පමණි ඔහු සතුටින් ජීවත්වන පුද්ගලයකු වන්නේ. ජීවන වෘත්තිය එහි දී ප්‍රධාන වේ. ඒ වෙනුවෙන් අවංකව ශ්‍රමය වැය කරන පුද්ගලයා ධාර්මික වෘත්තියක නියැළෙන්නෙක් බව බුදු දහමේ සඳහන් වේ. එහෙත් එහි පදනම ධාර්මික විය යුතුය. එවිට කරන කවර කාර්යයක වුවද විනිවිද බවක් ඇතිවේ. ඔබ යන ගමන හා මෙතෙක් පැමිණි මඟ පිළිබඳව දිනෙක සතුටු වීමට හෝ පසුතැවිලි වීමට හැකි වන්නේ ඒ විනිවිද බව ඇත්නම් පමණි. ජීවිතයේ භෞතික දියුණුව ලබන්නට නම් ශ්‍රමය කැප කිරීමෙහි දක්ෂයකු විය යුතුය. අනලස් හා උපායශීලී විය යුතුය. වෙහෙස වී වැඩ කිරීම ආඩම්බරයට මිස ලජ්ජාවට කරුණක් නොවේ. අනුන්ට වරදක් නොවන සේ, සාධාරණව ධනය හරි හම්බ කරගන්නා කෙනාට සතුට ලැබේ.

ඇස ප්‍රිය කරන දසුන්, කන ප්‍රිය කරන ශබ්ද, නාසය ඉල්ලන සුගන්ධය, සිරුර පිනවන ස්පර්ශය ආදී දේ ඒ ඒ ඉන්ද්‍රියයන් විසින් ඉල්ලන ප්‍රමාණය ම ලබා දෙන්නට ගියේ නම් එතැන දී තාවකාලික සතුටක් ලද හැකිය. එහෙත් පාලනයකින් තොරව ඉන්ද්‍රිය පිනවීමට යාම තුළ විවිධ ගැටලුකාරී තත්ත්වයන් ද නිර්මාණය වේ. එවිට අප විඳි සතුට පසු පස දුක ද ලුහු බඳී.

ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, තණ්හාව, මද මානය ආදී අකුසල සිතිවිලිවලින් නිරන්තරයෙන් අපගේ අධ්‍යාත්මය කිළිටි වේ. ඒ අපිරිසිදු බව ඇති කරන්නේ මානසික ආතතියකි. මානසික අසමතුලිත බවකි. එවිට අප බුදුපියාණන් වහන්සේ ‘සන්තුට්ඨි පරමං ධනං’ යනුවෙන් දේශනා කොට වදාළ ජීවිතයේ පරම ධනය වන සතුට ලැබෙන්නේ නැත. අප ගේ සිත නිරෝගී වන්නේ මේ සිතිවිල හැකිතාක් දුරට ප්‍රහීණ කළේ නම් පමණි.

ජීවිතය යනු අට‍ලෝ දහමය. විටෙක ලාබ ලැබ ප්‍රීණනයට පත්වන අප අලාභයේදී කඩා වැටෙමු. කීර්ති, ප්‍රශංසා, සැපය හමුවේ සතුටින් උද්ධාමයට පත්ව නින්දා, අපහාස හා දුක හමුවේ හඬා වැටෙමු. එවිට අප බලාපොරොත්තු වන සතුට ලැබේද? මෙලොව ඉපදුණ සෑම කෙනෙකුට ම මේ අටලෝ දහමට මුහුණ දෙන්නට සිදුවේ. එහිදී මධ්‍යස්ථව, මැද මාවතක ගමන් කළ හැකි නම් සතුටත් දුකත් සමව විඳ දරා ගැනීම අපහසු නොවේ.

සතුටින් ජීවත් වන්නා සිල්වත්ය. එනම්, නීති ගරුකය. ඔහු කයින් වැරදි නොකරන්නේය. වචනයෙන් ද වැරදි නොකරන්නේය. සමාජයට ද අයහපතක් නොවන ඔහු ගෞරවණීයත්වයට පත් වූ චරිතයක් වන්නේ ය. වඩාත් සතුටින් ජීවත්වන පුද්ගලයා අසීමාන්තික ආශාවන්ගෙන් බැහැරය. බොරුව, සොරකම, ප්‍රාණඝාතය ආදී අකුසල් කරන්නට සිදුවන්නේ ආශාවන් සීමාව ඉක්මවා ගිය විටදීය. ඒ එම පුද්ගලයා දැඩි කැමැත්තෙන් හෙවත් ඡන්දයෙන් මුලා වී ඇති බැවිනි. යම් දෙයක් වෙත වූ ඇල්ම, ආශාව නරක දෙයක් යැයි මින් නොහැඟවේ. නොකළ යුතු වන්නේ එහි අගතියට යාමය. එය පාලනය කර නොගත් තැන සිදුවන්නේ විපතකි. විපාක තමන්ට මෙන් ම සමාජයට ද ලැබේ. එය දුකට මිස සතුටට හේතු නොවේ.

බෞද්ධයින් ගේ අත්පොත ලෙස හැඳින්වෙන ධම්ම පදයේ මෙසේ සඳහන් ය.

‘ඉධ සෝචති පෙච්ච සෝචති
පාප කාරී උභයත්ත සොචති
සො සෝචතී සො විභඤ්ඤති
දිස්වා කම්ම කිලිට්ඨමත්තනො’

පව් කරන්නා මෙලොවත් ශෝක කරයි. පරලොවත් ශෝක කරයි. තමන් ගේ කිළිටි කර්මය හෙවත් අපිරිසුදු ක්‍රියාවන් දැක ශෝක කරයි. නිරන්තරයෙන් පෙළෙයි යනු එහි අර්ථයයි. මේ ගාථා ධර්මයෙන් අපට කියන්නේ පව් කරන්නා නිරන්තරයෙන් ම ශෝක කරන බවය. දුක් වන බවය. පවෙහි විපාක මෙලොව මෙන් ම පරලොව දී ද ලැබේ. මරණ මොහොතේ හෝ ලැබේ. පවෙහි විපාක දුකට මිස සතුටට හේතු නොවේ. කළ යුත්තේ ඉන් දුරු වී යහපත්ව ජීවිතය ගෙන යාමය. ඒ සඳහා ඔබ ප්‍රමාද වූවා යැයි නොසිතන්න. මේ මොහොතේ සිට නිවැරැදි වන්නට උත්සාහ කරන්න. ඔබ පව්වලින් බැහැර වී පින් කළේ නම් මේ ලොව දී ම ‘මම පින් කළා’ යැයි සතුටු විය හැකි වේ. පරලොව දී ද සතුටු විය හැකිවේ. ඒ මඟ යාම සඳහා ඔබට තෝරා ගත හැකි මාර්ග බොහෝ වේ. සත් පුරුෂ ඇසුර එහි දී ප්‍රධානය. හොඳ මිනිසකු ගේ ඇසුර ලැබීම යනු සිල්වතකු ගේ ඇසුර ලැබීමය. ඔහු වැරදි නොකරන්නා සේ ම ඔබ ද වරදින් මුදවා ගනී. වැරදි නොකරන නිසා ඔවුන් සමීපයේ දී ඔබට බියක් නොදැනේ. මානසික සුවයක් ලැබේ. ඒ මානසික සුවය ඔබට සතුටින් සිටීමට උපකාරී වේ.