මේ නීතිරීති තිබුණු ඒවාමය…

0
664

මෑත ඉතිහාසයේ මැතිවරණ කොමසාරිස්‌වරයකු විසින් නිකුත් කළ වැඩිම නියෝග ප්‍රමාණය නිකුත් කර ඇත්තේ වත්මන් මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතායි. පසුගිය මැතිවරණවලදී මෙවැනි තත්ත්වයක්‌ අත්දුටුවේ නැති බව විශ්වාසයෙන්a යුතුව කිව යුතුව ඇත. මැතිවරණ කොමසාරිස්‌වරයාම කියන පරිදි මෙවර, කිසිදු සාධාරණ හේතුවක්‌ නොමැතිව රාජ්‍ය නිලධාරීන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ මැතිවරණ රාජකාරි සඳහා ඉල්ලුම් නොකර සිය වගකීම් පැහැර හැර තිබේ. රාජ්‍ය සේවයේ නියුතු මාණ්‌ඩලික නිලධාරීන් නිලධාරිනියන්, මාණ්‌ඩලික නොවන නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ සිය දත්ත පත්‍ර මැතිවරණ දෙපාර්තමේන්තුවට ලබා නොදී වගකීම් පැහැර හැර තිබේ. ඔවුන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පවරන බව මැතිවරණ කොමසාරිස්‌වරයා පවසන්නේය.

කවර හේතුවක්‌ නිසා හෝ මෙවර මැතිවරණයේ එවැනි සිදු නොවිය යුතු බොහෝ දෑ සිදුවන බව අකමැත්තෙන් වුවද පිළිගන්නට වන්නේ, මැතිවරණ කොමසාරිස්‌වරයාම ඒ ගැන සඳහන් කරන නිසාය.

පිටතින් “ෂෝක්‌” මැතිවරණ ක්‍රියාවලියක්‌ ලෙස පෙනුණ ද මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම්, ප්‍රචණ්‌ඩ ක්‍රියා, රාජ්‍ය දේපළ, පොදු දේපළ අවභාවිතය යහමින් සිදු වන මැතිවරණයක්‌ ලෙස මේ මැතිවරණය හැඳින්විය යුතුය. නැතිනම් මැතිවරණ කොමසාරිස්‌වරයාට එලෙස නියෝග පිට නියෝග නිකුත් කිරීමේ අවශ්‍යතාවක්‌ පැන නගින්නේ නැත.

මැතිවරණ කොමසාරිස්‌වරයා “මාරයි” යන මුරුංගා අත්තක තබා ඔහුට ප්‍රශස්‌ති ගායනා කිරීමේ අවශ්‍යතාවක්‌ අපට නැත. එය මැතිවරණ කොමසාරිස්‌වරයාගේ සාමාන්‍ය “ඩියුටිය” යි. විශේෂය නම් එතුමා තම ඩියුටිය නියමෙටම කිරීමය. මෙවර ඩියුටියේ “බර” වැඩි වී ඇති වගක්‌ පමණක්‌ අපට පෙනේ. කෙසේ හෝ ඊයේ අප පුවත්පතේ වාර්තා කර තිබූ පරිදි මැතිවරණ කොමසාරිස්‌වරයා රාජ්‍ය නිලධාරීන්ට තවත් උපදෙසක්‌ නිකුත් කර තිබිණි. ඒ 18 වැනිදා තෙක්‌ දේශපාලනඥයන්ට රාජ්‍ය උත්සව සියල්ල තහනම් කිරීමය. ඒ අනුව 18 වැනිදා තෙක්‌ රජයේ හෝ පළාත් සභා හෝ පළාත් පාලන ආයතනවල කිසිදු ව්‍යාපෘතියකට මුල්ගල් තැබීම්, ජනතා අයිතියට පත් කිරීම් හෝ ඒ හා සබැඳි කිසිදු උත්සවයකට කිසිදු අපේක්‍ෂකයකු, පළාත් සභා, පළාත් පාලන දේශපාලනඥයකු සහභාගි වීම සපුරා තහනම් වේ. විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මෙය අලුතින් පණවන ලද මැතිවරණ නීතියක්‌ නොවීමය. මෑත කාලයේ මැතිවරණ කොමසාරිස්‌වරයා නිකුත් කළ නියෝග සියල්ල මැතිවරණ නීතිරීතිවල අඩංගුව තිබුණු ඒවාය.

එහෙත් මේ සියලු නියෝග, උපදෙස්‌, නොතකමින් මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් බහුල වශයෙන් සිදුවන බව දිනපතා වාර්තා වේ. මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන මගින් ලබාදෙන තොරතුරු සේම, මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි අංශයට ද මේ ගැන විශාල වශයෙන් තොරතුරු ලැබේ.

පසුගියදා තැපැල් අමාත්‍යාංශය ලේකම්වරයා ඉවත් කරන ලද්දේ මෙම නීතිරීතිවලට පටහැනිව ක්‍රියා කළ නිසාය. වෘත්තීය සමිති නායකයන් පෙන්වා දෙන්නේ එම අමාත්‍යාංශය යටතේ පැවැති නිල වාහන හා නිවාඩු නිකේතන ඇතුළු රාජ්‍ය සම්පත් බොහෝමයක්‌ නීති විරෝධී ලෙස මැතිවරණ කටයුතු සඳහා යොදාගෙන ඇති බවය.

එමෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණ සතියක්‌ පවත්වන බව කියමින් මහනුවර ප්‍රදේශයේ දේශපාලන ව්‍යාපෘතියක්‌ ද ආරම්භ කර ඇති බව එම වෘත්තීය සමිති මෙන්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පෙන්වා දුන් බව ඊයේ “දිවයින” පුවත්පත වාර්තා කර තිබිණි.

මැතිවරණයක්‌ යනු ජනතා පරමාධිපත්‍යයේ ප්‍රමුඛ ක්‍රියාවලියකි. ජනතා පරමාධිපත්‍ය ප්‍රායෝගිකව ක්‍රියාවට නැගෙන අවස්‌ථාවක්‌ ලෙස එය හැඳින්වේ. එසේ වූ කල ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය යාන්ත්‍රණය සතු පොදු දේපළ යම්කිසි දේශපාලන වුවමනාවක්‌ වෙනුවෙන් මැතිවරණයකදී යොදා ගැනීම ජනතා පරමාධිපත්‍ය අභියෝගයට ලක්‌ කිරීමකි.

මේ වසරේ නව රජය බලයට පත්වීමෙන් පසු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට එක්‌වූ 19 වැනි සංශෝධනය මගින් පොදු දේපළ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම වැළැක්‌වීමට නිශ්චිත බලතල මැතිවරණ කොමසාරිස්‌වරයාට පැවරී තිබේ. මෙම පොදු දේපළ අවභාවිත කිරීම වැළැක්‌වීමට අවශ්‍ය විධිවිධාන මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් ගැසට්‌ කළ යුතුය. එම විධිවිධාන එසේ ගැසට්‌ පත්‍ර මගින් ප්‍රසිද්ධ කිරීමටද මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් කටයුතු කරන ලදී.

මේ වනවිට අමු අමුවේම කඩකරමින් සිටින්නේ ඒ නියෝග සහ විධිවිධානය. බලය ඇති පාර්ශ්වයකට මිස බලය ගිලිහුණු පාර්ශ්වයකට පොදු දේaපළ අවභාවිත කිරීමේ වැඩි ඉඩක්‌ නැත. ඒ අර්ථයෙන් ගත්කල වත්මන් රජයේ අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරීන් වඩාත් පෙරටුගාමී පූර්වාදර්ශයක්‌ සැපයිය යුතුය. ජනතා පරමාධිපත්‍ය ප්‍රායෝගිකව අත්දැකිය හැකි අවස්‌ථාවක්‌ 17 වැනිදාට එළැඹෙන බව ඒ කවුරුත් සිහි තබා ගත යුතුය.
Source : Divaina