බිල්ලන් පෙන්වා ඡන්දය ගැරීම

0
640

මෙරට අට වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සඳහා පැවැත්වෙන ඡන්ද විමසීම දැන් අත ළඟටම පැමිණ තිබේ. ප්‍රධාන දේශපාලන පක්ෂ ඇතුළු මහ මැතිවරණයට ඉදිරිපත්වී සිටින සියලුම පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට අයත් අපේක්ෂකයන්ගේ වෑයම වී ඇත්තේ කෙසේ හෝ ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට රිංගා ගැනීමය. එසේම ඔවුන් ඒ සඳහා නොකරන දෙයක් නැති තරම්ය.
මේ අතර ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ නායකයන්ගේ අරමුණ ඊටත් වඩා ඉහළට විහිදුණු එකකි. එනම් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගෙන කුමන අයුරකින් හෝ ආණ්ඩු බලය තමන් සතු කරගැනීමය. ඒ සඳහා අවශ්‍ය ජනතා ආකර්ෂණය තමන් වෙත දිනා ගැනීම ඔවුන් හැම දෙනකුගේම මූලික අරමුණවී තිබේ.

පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් පවතින රටක මහ මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවකදී ඔවුනොවුන් හා තරගවැදී සිටින ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයන් විසින් කළ යුතුව තිබෙන්නේ තම තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති නොවලහා ජනතාව හමුවට ඉදිරිපත් කිරීමයි. ඒ අනුව තම රටට වඩාත් ගැළපෙන සහ වැඩදායී ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරන දේශපාලන පක්ෂයට ආණ්ඩු බලය පැවැරීමේ අදහසින් ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ලැබේ.

මහ මැතිවරණයක් පැවැත්වෙන කාලවකවානුවකදී එකී දේශපාලන පක්ෂ විසින් සිදුකළ යුතුව ඇත්තේ එවැනි ක්‍රියාදාමයක් වුවද අද බොහෝවිට සිදුවෙමින් තිබෙන්නේ ඊට වඩා වෙනස් දෙයකි. එනම් හැකි සෑම අවස්ථාවකදීම තමන් හැර සෙසු පක්ෂවලට අයත් සියලුම දෙනා බිල්ලන් ලෙස හුවා දක්වා ජනතාවගේ ඡන්දය ගරා ගැනීමයි.
උදාහරණයක් වශයෙන් අද ඇතැම් දේශපාලන පක්ෂ නායකයන් ජනතාවට කියන්නේ අසුවල් පක්ෂයට රටේ පාලන බලය හිමිවුවහොත් නියත වශයෙන්ම රට බෙදන බවය. නැතහොත් යළි රට තුළ බෙදුම්වාදී යුද්ධයක් ඇති වන බවය.

මේ අතර තවත් පක්ෂයක් පෙන්වා දෙන්නේ ඊටත් වඩා බරපතළ අදහසකි. අසුවල් පක්ෂය බලයට පත්වුවහොත් රටේ ආර්ථිකය බින්දුවටත් වඩා පහළට වැටී මුළු රටම බංකොළොත් වන බවටත්, එවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාව දෙවැනි ඉතියෝපියාවන තත්ත්වයට පත්විය හැකි බවටත් ඔවුහු පෙන්වා දෙති. ඔවුන්ගේ අදහසට අනුව එවැනි දුක්ඛිත තත්ත්වයකට පත්නොවී රටේ අනාගතය සරුසාර කරගැනීමට නම් පාලන බලය තම පක්ෂයට ලබාදිය යුතුය.
ශ්‍රී ලංකාව කැසිනෝකාරයන්ගේ හෝ මහා පරිමාණ මට්ටමේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් නොවීමට නම් තම පක්ෂයට ආණ්ඩු බලය ලබාදිය යුතු බවට ජනතාව හමුවේ කරුණු දැක්වීමටද ඇතැම්හු පෙළඹී සිටිති. තවත් පිරිසකගේ පිළිගැනීම වී ඇත්තේ රටේ ආර්ථිකය කළමනාකරණය කරමින් රටේ ආර්ථිකය ධනාත්මක ලෙස වර්ධනය කිරීමේ හැකියාව ඇත්තේ තම පක්ෂයට පමණක් බවය. ඔවුන්ගේ පිළිගැනීමට අනුව තමන් හැර වෙනත් පක්ෂයකට පාලන බලය හිමිවුවහොත් සිදුවන්නේ රාජ්‍ය සම්පත් මුළුමනින්ම මුදලාලිකරණය වීමය. දැනට දසලක්ෂයත් ඉක්මවන රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව පතඅට එකට සිඳවීමක්ද එවැනි තත්ත්වයක් යටතේ නියත වශයෙන්ම සිදුවිය හැකි බව කියන එම පිරිස පෙන්වා දෙන්නේ ඒ සඳහා ඇති එකම විසඳුම රාජ්‍ය සේවය සුරකින තම පක්ෂයට ආණ්ඩු බලය ලබාදීම බවයි.

මීට අමතරව ළිංවලින් පවා ජල බදු අයකිරීම, උතුරට යාම සඳහා වීසා ලබා ගැනීමට සිදුවීම පමණක් නොව ශ්‍රී ලංකාව අපරාධවලින් ගහන චිකාගෝවක් බවට පත්වීම වැනි බිල්ලන් මවාපාන්නේද අපේම ඇතැම් දේශපාලන පක්ෂ විසිනි. මේ අතර සුදු වෑන්වලට සහ නාඳුනන තුවක්කුකරුවන්ටද සුවිශේෂ තැනක් හිමිවී තිබේ. එසේ වන්නේ සුදු වෑන් සහ නාඳුනන තුවක්කුකරුවන් විසින් මෙරට සමාජ සංස්ථාව තුළ ඇති කරන ලද තිගැස්ම තවමත් ජනතාවට අමතක නොවී තිබෙන බැවිනි.

ඉහත සඳහන් සියලුම කරුණු කාරණා මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් වැනි තීරණාත්මක ඡන්දයකදී බිල්ලන්ගේ භූමිකාවට පණ‍පොවන බව ප්‍රසිද්ධ රහසකි. අද අප අතර පවතින හැම දේශපාලන පක්ෂයක්ම පාහේ ඉහත සඳහන් බිල්ලන් නාමමාත්‍රික වශයෙන් හෝ තම මැතිවරණ ක්‍රියාවලිය සඳහා යොදා ගනිමින් තිබෙන බවක් පෙනෙන්නට තිබේ.

එහෙත් සිදුවිය යුත්තේ තම පක්ෂවලට අයත් ප්‍රතිපත්ති ඉතාමත් පැහැදිලි ලෙස ජනතාව හමුවේ ගෙනහැර දැක්වීමයි. එසේම තම පක්ෂයේ ප්‍රතිපත්ති හා ක්‍රියාකාරකම් ගැන හුවා දැක්වීමට ඔවුන්ට අයිතියක් ඇතත් මනෝමය බිල්ලන් මවා පා ජනතාවගේ ඡන්දය පිල්ලි ගැසීමට කිසිදු දේශපාලන පක්ෂයකට නොපුළුවන. කෙසේ වෙතත් අද බැලුබැලු අත සිදුවෙමින් පවතින්නේ ඊට සමාන ක්‍රියාවලියකි.

Source : Lakbima