ඇස්‌. පියසේනගේ සිකුරු දැක්‌ම – ජනතා තීන්දුවට ගරු කිරීම

0
732

අපේ රටේ ඕනෑම පුද්ගලයකුට තමන් කැමති දේශපාලන මතයක්‌ දැරීමට හා ඒ අනුව ක්‍රියාකිරීමට ඇත්තේ පූර්ණ නිදහසකි. නීතියෙන් හෝ සංස්‌කෘතියෙන් එයට කිසිදු බාධාවක්‌ නැත. එහෙත් අපේ රටේ ක්‍රියාත්මක වන පක්‍ෂ දේශපාලන නිදහසත් සමඟ අපේ අනාගත පරම්පරාව ගුණමකු කළ ගුණ නොදත් පිරිසක්‌ වේ යෑයි අපට ඇත්තේ කනගාටුවකි. වෙන කවරදාටත් වඩා අද අපේ දේශපාලන වේදිකාවලදී යහපත් දේ වළ දමා අයහපත් දේ මතු කර තම විරුද්ධවාදීන් කෙරේÊජනතාව තුළ ද්වේෂය හා වෛරය ඇති කරවන පසුබිමක්‌ නිර්මාණය වී ඇත. මෙමගින් අපේ අනාගත පරම්පරාවේ ගුණධර්ම විනාශකර දැමීමට ගන්නා උත්සාහයට එරෙහිව ඇත්ත ඇති සැටියෙන් සටහන් කර තැබීම යුතුකමකි.

අපේ රටේ අතීත ජනනායකයන් වූ ඩී. එස්‌. සේනානායක, එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක, සිරිමාවෝ බණ්‌ඩාරනායක වැනි නායකයන් මෙරටේ පමණක්‌ නොව ජාත්‍යන්තර ප්‍රජාවට ද යහපත් ප්‍රතිඵල උදා කර ගත හැකි දැවැන්ත යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ නායකයන් ය. 1931 වර්ෂයේ සීමිත බලතල ඇතිව කටයුතු කළ ඩී. ඇස්‌. සේනානායක එවකට අගමැතිවරයා අප රට තුළ කෘෂිකාර්මික ආර්ථිකයක්‌ ගොඩනැඟීම සඳහා දැවැන්ත කාර්යභාරයක්‌ ඉටුකර ඇත්තාහ. අද ද අප භුක්‌ති විඳින්නේ එහි ප්‍රතිඵලය. එතුමා ගැමි සංස්‌කෘතිය කෙරේ ඇති කර ගෙන තිබූ බැඳීම නිසා තමා උපන් ගම නාගරීකරණය වීම දැකීමට ද අකැමැති විය. 1947 පළමු මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් 95 දෙනා පිළිබඳව දිවංගත කපිල සෙනෙවිරත්න කවියා කාව්‍ය සංග්‍රහයක්‌ ලියා පළ කළේය. එම කාව්‍ය සංග්‍රහයේ පළමු පිටුව වෙන්කර තිබුණේ ඩී. ඇස්‌. සේනානායකයන් හට ය. එහි සඳහන් පළමු කවියේ මෙසේ සඳහන් විය.

කැත්තේ උදැල්ලේ වැඩ හුරු පුරුදු ගමේ

පරිසරයකිනි හැඩ ගැසුණේ තරුණ කමේ

ඉන් පසු දේශපාලන මහ තරග බිමේ

නැඟයති පදවියට මහ ඇමැති කමේ

එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මැතිතුමා ද එදා ජනසතු ව්‍යාපාරය ආරම්භ කරමින් මේ රටේ ආර්ථිකය ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට ගෙන ආවේය. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය පිළිබඳ ජන මනස අවදි කරන ලද්දේ එතුමන්ගේ දේශපාලන දර්ශනය තුළිනි. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම අගමැතිනිය මෙන්ම අප රටේ ද ප්‍රථම අගමැතිනිය විය. එපමණක්‌ නොව ඇය ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස ලබා ගෙන 1972 මැයි 22 අප රට ජනරජයක්‌ බවට ප්‍රකාශයට පත් කළේය. ඡේ. ආර්. ජයවර්ධන මහතා තුළ හොඳට හෝ නරකට සෘජු චින්තනයක්‌ තිබිණි. ආර්. ප්‍රේමදාස මහතා මෙරට විසූ යහපත් සංවර්ධන ආකල්ප ඇත්තෙකු ලෙස පිළිගත හැකිය. ගම්උදාව වැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වූයේ එතුමාගේ රාජ්‍ය පාලන කාලයේදී ය.

අපේ රටේ ජාතික ආණ්‌ඩු සංකල්පය මතු වී ඇත්තේ දැන් ය. පසුගිය තිස්‌ අවුරුදු යුද්ධයේ උපරිම අවස්‌ථාවේදී කිසිවෙක්‌ ජාතික ආණ්‌ඩු ගැන කතා කළේ නැත. සමකාලීන ඉතිහාසයේ ප්‍රබලම ජාතික ආණ්‌ඩුවක්‌ ඇති වූයේ දෙවැනි ලෝක සංග්‍රාමයේදී බ්‍රිතාන්‍යයේ ය. යුද්ධය ජය ගැනීම සඳහා දේශපාලන බේද දුරලා, ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවිය යුතු යෑයි පාලක කොන්සර්වේටිව් පක්‍ෂයේ මෙන්ම ප්‍රධාන විපක්‍ෂය වූ කම්කරු පක්‍ෂයේ ද බොහෝ පිරිස්‌ උද්ඝෝෂණය කරන්නට විය. අවසානයේ ජාතික ආණ්‌ඩුවක්‌ සඳහා එකඟÊවිය. එහෙත් කම්කරු පක්‍ෂය තදින් අවධාරණය කළේ එවකට කොන්සර්වේටිව් පක්‍ෂයේ අගමැති නෙවිල් ටෙම්බර්ලේන් මහතා යටතේ ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවිය නොහැකි බවය. ඊට හේතු වූයේ 1938 දී හිට්‌ලර්ට්‌ බිගොස්‌ලොකියාව පාවා දෙමින් මියුනික්‌ ගිවිසුම අත්සන් කිරීම නිසා ටෙම්බර්ලේන් කෙරෙහි ජනතා විශ්වාසය බැඳවැටී තිබීමයි.

මේ නිසා ටෙම්බර්ලේන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්‌ වී වින්සන්ට්‌ චර්චිල් අගමැති ලෙස පත් කර ගත් අතර කම්කරු පක්‍ෂ නායක ක්‌ලමන්ට්‌ ඇර්ලි මහතා නියෝජ්‍ය අගමැති පදවියට පත් විය. යුද්ධය අවසන් වනතුරුම මෙම ජාතික ආණ්‌ඩුව ක්‍රියාත්මක විය. යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍යය සුපුරුදු තට්‌ටු මාරු ක්‍රමයට ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක රට පාලනය කරන්නේය.

1971 දී ඉන්දියාව හා පකිස්‌තානය අතර යුද්ධයක්‌ ඇති විය. ඒ අවස්‌ථාවේ ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවා නොගත් නමුත් මුළු විපක්‍ෂයම රජයට සහාය දැක්‌වීය. අපේ රටේ යුද්ධයට වසර 30 ක ඉතිහාසයක්‌ ඇත. එහෙත් යුද්ධයට පසුබිම් වූ කාරණා නිර්මාණය වූයේ ඊට බොහෝ කලකට පෙරදීමය. වර්ෂ 2005 වන තුරු ත්‍රස්‌තවාදීන්ට එරෙහි සටන ගෙන ගියේ ඕනෑවට එපාවටය. විසි වසරකට වඩා සටන පැවැත්වුනේ ඉබි ගමනින් ය. වඩමරච්චි ප්‍රහාරය නැවැත්වීමත් සමඟÊඅපේ සෙබළුන් අධෛර්යමත් විය.

මහින්ද රාජපක්‍ෂ මහතා ජනපති පදවියට පත් වූයේ 2005 නොවැම්බර් 18 දිනය. ඔහු ආරක්‍ෂක ලේකම් පදවිය පැවරුවේ යුද හමුදාවෙන් විශ්‍රාම ලබා සිටි සිය බාල සොහොයුරා වූ ගෝඨාභය රාජපක්‍ෂට ය. ත්‍රස්‌තවාදීන්ට එරෙහි සටන සාර්ථකව ගෙන යැමට කළ යුත්තේ කුමක්‌ දැයි ඔහු සිය මලණුවන් වූ ගෝඨාභය රාජපක්‍ෂගෙන් විමසීය.

ප්‍රධානම ප්‍රශ්නය තමයි, අපිට ප්‍රමාණවත් තරම් හමුදා සෙබළුන් නැතිකම. එක ප්‍රදේශයක්‌ ත්‍රස්‌තයන්ගෙන් මුදාගෙන තවත් ප්‍රදේශයක්‌ මුදා ගන්න යා යුත්තේ මුදාගත් ප්‍රදේශයේ ප්‍රමාණවත් ආරක්‍ෂාවක්‌ ඇති කරලයි. ඒ සඳහා ප්‍රමාණවත් සෙබළු අපිට නෑ. ඒ සඳහා දැනට සිටින හමුදා භට පිරිස දෙගුණයක්‌ දක්‌වා වැඩිකර ගත යුතුයි.” ගෝඨාභය රාජපක්‍ෂගේ එම නිර්දේශය අනුමත කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඒ අනුව කටයුතු කළේය. එතරම් විශාල හමුදාවක්‌ ඇති කිරීම අප රටට ඔරොත්තු දෙන්නේ ද යන්න ගැටලුවක්‌ විය. ඒත් දිනපතා බෝම්බ පිපිරීමෙන් විනාශ වන ජීවිත ආරක්‍ෂා කර ගැනීමට නම් එය කළ යුතු විය.

යුද හමුදා භට සංඛ්‍යාව වැඩි විය. ජන අනුපාතය අනුව දකුණු ආසියාවේ විශාලම හමුදාව ඇත්තේ ශ්‍රී ලංකාවේය. ඉතිහාසයේ පළමු වරට සැලසුම් සහගතව එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන්ට එරෙහි සටන ඇරඹුණේ එතැන් සිට ය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනපති පදවියේ දිවුරුම් දී හරියටම වසර 3 යි මාස 6 ගත වූ තැන යුද ජයග්‍රහණය සනිටුහන් විය. ඒ 2009 මැයි 18 දිනය.

ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව ලෝකයේ ඉතිහාසයට එක්‌වන මේ වික්‍රමය අපේ අනාගත පරම්පරාවෙන් වසන් කර තැබීමට ඇතැම් දේශපාලන පක්‍ෂ අද දරන උත්සාහය මහත් කුහකකමකි. යුද සමයේදි විනාශ කර තිබූ මැදවච්චියේ සිට කන්කසන්තුරේ දක්‌වාත් මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්‌වාත් වූ දුම්රිය මාර්ගය නැවත යථා තත්ත්වයට පත් කර උතුරු පළාත දියුණු කර එහි ජනතාවට සැනසීමේ හුස්‌ම ගැනීමට අවස්‌ථාව ලබා දීම යුද ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා ගනු ලැබූ පළමු පියවරය. මේ දුම්රිය මාර්ග දුරින් කි. මි. 200 කට ආසන්නය. එය යථා තත්ත්වයට ගෙන ඒමට ගත වූ කාලය වසර 3 කට අඩුය. ඒ උතුරුකරයේ ය.

දෙවන ලෝක යුද්ධයට පෙර ලංකාවේ 1939 දුම්රිය කාල සටහන් පොතක්‌ ශත 10 කට මිලදී ගත හැකි විය. ඒ පොතට දුම්රිය මාර්ග සටහන් සහිත සිතියමක්‌ද ඇඳ තිබුණි. එම දුම්රිය මාර්ග සිතියමේ පුළුල් දුම්රිය මාර්ග, පටු දුම්රිය මාර්ග මෙන්ම යෝජිත දුම්රිය මාර්ග ද සටහන් කර තිබිණි. ඒ අතර යෝජිත එක්‌ දුම්රිය මාර්ගයක්‌ වූයේ මාතර සිට හම්බන්තොට දක්‌වා වූ දුම්රිය මාර්ගයයි. ඒ 1939 යෝජනාවද ක්‍රියාවට නැංවූයේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී ය. (මේ දුම්රිය කාල සටහන් පොත කෞතුකාගාරයේදී අදත් දැක ගත හැකිය.)

විවෘත ආර්ථිකයත් සමඟÊශ්‍රී ලංකාවට මෝටර් රථ ආනයනය කරන ලද්දේ ඉවක්‌ බවක්‌ නැතිවය. අද දකුණු ආසියාවේ ජන අනුපාතයට අනුව වැඩිම මෝටර් රථ සංඛ්‍යාවක්‌ තිබෙන රට ශ්‍රී ලංකාවයි. ආනයනය කර ඇති මෝටර් රථවලට අමතර කොටස්‌ වගේම අතිරේක ඉන්ධන ද ආනයනය කළ යුතුය. මේවා ආනයනය කළ හැකි වුවද, ඒවා ධාවනයට සුදුසු මාර්ග ආනයනය කළ නොහැක. මාර්ග පද්ධතිවල පටු බව නිසා සෑම නගරයකම දිගු වාහන පෝළිම් දැකිය හැකි විය. ඒ නිසා නිකරුණේa දැවී යන ඉන්ධන ප්‍රමාණය ද දැවැන්තය. මීට ඇති එකම විකල්පය අවබෝධ කරගත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අධිවේගී මාර්ග හා කාපට්‌ මාර්ග ඉදිකිරීම ද ආරම්භ කළේය.

මේ සියලු කාරණා එසේ තිබියදී පසුගිය ජනවාරි අටවැනිදා පැවැති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත් විය. එම පරාජයට ප්‍රබලම හේතුව වූයේ උතුරේ ජනතාව ගේ ඡන්දය මහින්ද රාජපක්‍ෂ මහතාට නොදිය යුතු යෑයි කරන ලද බලපෑමය. එවැනි බලපෑමක්‌ ඇති වූයේ ද යුද ජයග්‍රහණය සඳහා ඔහු තුළ තිබු කැපවීම හා සෘජු ප්‍රතිපත්තියත් අවස්‌ථාවාදී දමිළ දේශපාලන නායකයන්ට ඔහුගෙන් බුරුලක්‌ නොලැබීමත් බව පිළිගෙන ඇති සත්‍යයකි. මේ පරාජය ද තමන්ගේ උද්දාමයට හේතුවක්‌ කර ගෙන ඇති සිංහල දේශපාලන පක්‍ෂ එමගින් අපේ අනාගත පරම්පරාවට මෙන්ම ලෝක ප්‍රජාවට දෙන පණිවිඩය කුමක්‌ද?

යාල්දේවි දුම්රිය යළි ධාවනය වීමෙන් ද උතුරේÊවිනාශ වූ මං මාවත් යථා තත්ත්වයට පත් වී සංවර්ධනය වීමෙන් එම ප්‍රදේශවල ජනතාවගේ ඡන්දය තමන්ට ලැබේ යෑයි මහින්ද රාජපක්‍ෂ මහතා කල්පනා කළ ද එය එසේ සිදු වූයේ නැත. 1948 න් පසු වරින් වර රැවටීම්වලට ගොදුරු වූ උතුරේ ජනතාව තමන්ට සමාන අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින්නේය. 1948 නිදහස ලැබී දස මසක්‌ ගත වීමටත් පෙර එදා බලයේ සිටි රජය ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතක්‌ සම්මත කර ගත්තේය. ඒ පිළිබඳව ඉන්දියානු පුවත්පත් එදා වාර්තා කළේ දකුණු අප්‍රිකාවේ වර්ගවාදය අසල්වැසි ලංකාවට ද බෝවී ඇත යනුවෙනි. මේ පනත නිසා එදා පාර්ලිමේන්තුව නියෝජනය කළ කඳුකරයේ දමිළ මන්ත්‍රීවරුන් අටදෙනකුට යළි පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි අයුරින් දොර වැසිණි. මේ අතර එවකට කන්කසන්තුරේ මන්ත්‍රී එස්‌. වී. චෙල්වනායගම් හා කෝපායි මන්ත්‍රී පී. වන්නියසිංහම් දෙමළ සංගමයෙන් අස්‌ වී පෙඩරල් පක්‍ෂය පිහිටුවා ගත්තේය. ඊට දෙසතියකට පසු රජයේ මුල පටන් ම අමාත්‍ය ධුරයක්‌ දැරූ පී. සුන්දරලිංගම් මහතාද රජයෙන් ඉවත් වී දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ හැර වෙන විකල්පයක්‌ නැත යන්න පළමුවරට ප්‍රකාශ කරන ලද්දේය. ඉන් පසු 1958 බණ්‌ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම ද 1965 ඩඩ්ලි සේනානායක – චෙල්වනායගම් ගිවිසුම ද ඒකපාක්‍ෂිකව අවලංගු කිරීම නිසා දමිළ ජනතාවට ඉතිරි වූයේ අවිශ්වාසය පමණි. මේ සියල්ලට අමතර 1983 ඇති වූ කළු ජූලියෙන් පසු අනවශ්‍ය හයවැනි සංශෝධනය සම්මත කර ගැනීම නිසා දෙමළ මන්ත්‍රීවරු 16 දෙනෙක්‌ සිය ධුරවලින් ඉල්ලා අස්‌විය. දෙමළ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රීය අපේක්‍ෂාවන් මුල්කර ගනිමින් අරගලය එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් අතට පත් වූයේ එතැන් පටන් ය.

මේ අතීත කතාව අපට කියන්නට සිදු වූයේ අද දේශපාලන වේදිකාවල තම තමන්ගේ පක්‍ෂ ප්‍රතිපත්ති පිළිබඳව කතා කරනවාට වඩා විරුද්ධවාදීන්ට එරෙහිව ද්වේෂ සහගතව චෝදනා එල්ල කරමින් අනාගත පරපුරෙන් සත්‍යය වසංකර තැබීමට දරන කුහක උත්සාහය නිසා ය.

කවුරු බලයට පත් වුවත් කවුරු පරාජය වුවත් එය ජනතා තීන්දුවය. එයට අප ගරු කළ යුතුය. එම ජනතා තීන්දුව ලබා ගත යුත්තේ සත්‍යය ජනතාවට වටහා දීමෙන් මිස කුහක ලෙස සත්‍යය වසන් කිරීමෙන් නොවන්නේය. ජනතාව අද පෙරට වඩා බුද්ධිමත්ව හා ඥානාන්විතව සිය ඡන්දය පාවිච්චි කරන බව ද අප මතක තබා ගත යුතුය.

සංවාද සටහන – ජයසූරිය උඩුකුඹුර
Source : Divaina