චමිලා ක්‍රිෂානි
සභාපතිනි – කසුන් මාළු ඇඹුල්තියල් නිෂ්පාදන
මහ මුහුද විසල්ම සම්පත කරගත් දෙවුන්දර උපන් ඇය, හැමදාමත් කෑ මාළු රසයට අලුත් මානයක් එක් කළාය.
ජීවිතය ලුහු බඳිනා ආර්ථික ගැටලුවලට හිස ඔසවන්නට ඉඩ නොදී ආත්ම ශක්තිය ධෛර්යය මතු කර ගත් ඈ, මාළු ඇඹුල්තියලෙන් ලෝකය දිනන්නට සිතුවාය.
තිත්ත ලුණු රසේ උපන් මාළු, ප්‍රණීත රසමසවුලක් කොට ඈ ඒ ගමනේ ඉලක්කය කරා යමින් සිටින්නීය.
* චමිලා ක්‍රිෂානි… සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායිකාවක්. කියන්න ඔබ ගැන…
මං දෙවුන්දර, හැලවත්තෙ. අපිට තියෙන ලොකුම සම්පත මහ මුහුද. දකුණටම ආවේණික ‘මාළු ඇඹුල්තියල්’ තමයි මගේ ව්‍යාපාරය. ධීවර බෝට්ටුවලින් ගන්න අලුත් මාළුවලින් මං ඇඹුල් තියල් හදලා බෝතල් කරනවා. කසුන් නිෂ්පාදන ලෙසයි මේවා අලෙවි කරන්නේ.
අපේ රහට හදනවා
* ඉල්ලුමක් තිබෙනවද, ඔබේ මේ අලුත් නිෂ්පාදනයට…?
මං හුඟක් සුපර් මාකට් වලට ගිහින් බැලුවා. නානා ප්‍රකාර කෑම ජාති තිබුණට අපේ රහට හදපු මාළු ඇඹුල්තියල් විකුණන්න නැහැ. ලංකාවේ අය මේ නිෂ්පාදනය කරනවා. හැබැයි පිටරටට ඉතින් රට ඇතුළෙ විකුණන්නම මේ ව්‍යාපාරය කරන්නෙ මං විතරයි වෙන්න ඇති.
* ඔබට ඔළුව උස්සන්නත් ව්‍යාපාරයක් විදියට ගොඩනැඟෙන්නත් අපේ රටේ මිනිස්සු මේ තරම් ඇඹුල් තියල් කනව ද?
රහ දැනගත්තම ඕනෙ කෙනෙක් කනවා. අනික මං මේකෙන් විතරක් යැපෙන්නෑ. මාළු බහුල කාලෙට ගෙදරම උම්බලකඩ වේළලා බෝතල් කළ උම්බලකඩ සම්බෝල හදනවා. මේ දෙකටම අරන් ඉතුරුවන මාළු කටු තම්බලා කුඩු කරලා රසවත් සුනඛ ආහාරයක් හදනවා. ඊටත් අමතරව මං මුල හිටන් කරගෙන ආපු බෝට්ටු කරවල වෙළෙඳාමත් කරනවා.
ආර්ථික ශක්තියක්
* ඒ කියන්නේ මේ ව්‍යාපාරය පටන් ගන්න පෙරත් ඔබට වෙළෙඳාම හුරුයි…
ඒකට හේතු වුණේ අපේ දුෂ්කර ආර්ථික ජීවිතය. කලක් මගේ මහත්තයා බහුදින ධීවර යාත්‍රාවක වැඩ කළා. මාසෙ දෙකේ එයා මහ මුහුදේ. දරු තුන්දෙනකුගේ අවශ්‍යතාවලට මොන තරම් සල්ලි ඕනෙද… ඒත් හුඟක් වෙලාවට මහත්තයා ගොඩට එනකල් බලා ඉන්න වෙනවා මේ දේවල් ඉටුකරගන්න. මට හිතුණා මමත් ගෙදර ඉඳන් මොනවා හරි කරන්න ඕනෙ කියලා. මුහුදෙන් ගේන මාළු ගෙදර වේළලා කරවල උම්බලකඩ හදන එක කොහොමටත් අපි දෙන්නම කළා. මං ඒක තවත් වැඩියෙන් කරලා ආදායමක් හොයන්න ගත්තා. මහත්තයා ගොඩට එනකල් අඩුපාඩු පිරිමහා ගන්න ඒක ලොකු ශක්තියක් වුණා.
* එතකොට ඔබ ඇඹුල්තියල් නිෂ්පාදනයට අත ගැහුවේ…
දවසක් ශ්‍රී ලංකා කාර්මික මණ්ඩලයෙන් සංවිධානය කළ සම්මන්ත්‍රණයක්, අපේ ගමේ තිබුණා. දැනටමත් කරන පුංචි වෙළෙඳාම් ව්‍යාපාරයක් බවට පත්කරගන්නේ කොහොම ද… අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්නෙ කොහොමද… ඔය වගේ හුඟක් අලුත් දේ කියා දුන්නා. කාන්තාවක් විදියට කළ හැකි ව්‍යාපාර යෝජනාවක් මං ප්‍රථම වතාවට ඉදිරිපත් කළේ එදා. එදා ඒක මට, එවේලේ ආපු අදහසක්. ඒ අය මට ඒ අදහසට තවත් දිරි දුන්නා.
අලුත් මාළු ලැබෙනවා
* මහත්තයා බහුදින යාත්‍රාවක වැඩකළ එක ඔබට හොඳ මාළු ලාබෙට ගන්න ලොකු උදව්වක් වෙන්න ඇති…
එයා මුලින්ම කළේ නුවර සංචාරක හෝටලේක කැෂියර් රස්සාව. දරුවො එක්ක මං තනිවෙන නිසයි කලක් ඒ රස්සාවෙන් අයින්වෙලා ගමට ඇවිත් මුහුදු ගියේ. ඒත් ඒක හුඟක් දුෂ්කරයි. අව්ව වැස්ස නොබලා ගොඩබිමක් නොපෙනෙන ඈත මහ මුහුදෙ මාසයක් හමාරක් මාළු හොය හොයා ඉන්නවා කියන්නෙ ජීවිත අවදානමක්. මමත් කැමැති වුණේ නැහැ. නමුත්, ධීවර වරාය… මාළුවල හොඳ නරක… පුංචි කාලේ ඉඳන් අපි හොඳට හඳුනනවා. මගේ තාත්තත් කළේ ධීවර රැකියාව. ඒ නිසා මහත්තයටත් මටත් අලුත් මාළු තෝරන එක සුළු දෙයක් කොහොමටත් රෑ ගිහින් උදේ එන බෝට්ටුවලිනුයි අපි අලුත්ම මාළු ගන්නෙ.
* ඔබ ඔය කියන දකුණට ආවේණික මාළු ඇඹුල්තියලෙ ආවේණික ලක්ෂණ මොනවා ද?
මිරිස් කුඩු පොදක්වත් දමන්නෙ නැහැ. ගම්මිරිස් කුඩුවලින් තමයි සැර රස මතු කරගන්නෙ. ගම්මිරිස්, කහ, ලුණු, කරපිංචා අඹරලා සහ ගොරකා විතරයි අපේ ඇඹුල් තියලට ගන්නේ.
* ඔබ ඉගෙන ගත්තෙ…
හයේ පන්තියට වෙනකල් ගියේ දෙවුන්දර දාපුලුසෙන් කනිටු විදුහලට. ‘ඕ’ ලෙවල් දක්වා ගියේ, බුලත්ගමුවේ රෝහණ මහා විද්‍යාලයට. ‘ඒ’ ලෙවල් කරන්නෙ නැතිව අන්තිමේ විවාහ වුණා.
* එහෙම ගත්තු හදිසි තීරණය, ජීවිතේට ගෙනාවේ සැපද… දුක ද…?
දුකයි සැපයි දෙකම ගෙනාවා. සමහර කාලවල විඳපු දුක් තමයි, දෙන්නා එක්කම නැඟිටින්න ඕනෙය… කියන සිතිවිල්ල සිතට ඇතුළු කළේ. මොනවා වුණත් හොඳ සැමියෙක් ඉන්නවා නම් ගැහැනියකට හුඟක් දුර යන්න පුළුවන්. මගේ මහත්තයා වැඩිය කතා නොකරන කෙනෙක්. ඒත් හෙවණැල්ල වගේ පිටුපසින් ඉඳගෙන මගේ හැම දේකටම ධෛර්යය ශක්තිය දෙනවා.
දැන් ඇණවුම් ලැබෙනවා
* හා හා පුරා කියලා වැඩේට අත ගහපු හැටි මතක ද…
ඔව්, මහත්තයා පාන්දරම වැල්ලට ගිහින් බලයෝ කිලෝ 25 ක් ගෙනාවා. අපි දෙන්නම එකතුවෙලා මාළු කපලා මැටි වළඳක දර ළිපක් මාළු ඉව්වා. එකම එක ලොකු මැටි වළඳයි අපිට තිබුණෙ. හතර පස්පාරකට මාළු ටික ඉව්වේ. ව්‍යවසායකත්ව මණ්ඩලයෙන් තමයි බෝතල් ගන්න විදිය අහගත්තෙ, ඇසුරුම් කිරීමේ තාක්ෂණය ඉගෙන ගත්තෙ.
* වෙළෙඳපොළ අවිනිශ්චිතභාවය කියන කාරණාවත් එක්ක හුඟක් අය අලුත් ව්‍යාපාරවලට අතගහන්න බයයි නේද…?
ඒ බය මටත් තිබුණා. ඒත් අත නොගහා මුකුත් කරන්න බැහැ. අපේ පළමු බෝතල් 60 ම ගත්තෙ මේක හඳුන්වාදීමේ උත්සවයට පැමිණි අය. ඊළඟට හදපු බෝතල් දෙසීය ගමේ කඩවලට දැම්මා. එදාම කාර්යාල කිහිපයකට ගිහින් මමම කතා කරලා හඳුන්වා දුන්නා. මගේ දේ ගැන හොඳටම දන්නෙ මං. ඉතින් මමම ඉදිරිපත් වෙලා මේ නිෂ්පාදනය ගැන විස්තර කළාම හුඟක් අය ගත්තා. පස්සෙ පස්සෙ කටින් කට ගිහින් හුඟක් ඇණවුම් ලැබුණා.
* බලයො විතර ද ඇඹුල්තියල් හදන්න ගත්තෙ…
මං, ලින්නො සහ හුරුල්ලගෙනුත් ඇඹුල් තියල් හැදුවා. ඒත් රස වැඩිම බල මාළුවගේ. හැම වෙලාවෙම කිලෝ හතර පහක් වැඩුණු මාළු විතරයි අපි මේ සඳහා ගන්නේ. අනික බලමාළුවා මූදේ තියෙන හැම ජරාවක්ම කන මාළුවෙකුත් නෙවෙයි. ලේ වඩන ප්‍රෝටීන් බහුල මාළුවෙක්.
* මාළු බහුල මූදුකරෙන් ඔබේ මේ නිෂ්පාදනයට හොඳ ඉල්ලුමක් තිබෙනව ද…
ඔබ ඇහුවොත් පුදුම වෙයි. මේක වැඩිපුරම ගෙනියන්නෙ බහුදින යාත්‍රාවල යන අය. ඔවුන් මාසයක් හමාරක් මූදෙ ඉන්න නිසා කෑම ජාති හුඟක් අරන් යනවා. ඉතින් මේ හදාපු මාළු ඇඹුල් තියල ඔවුන්ට පහසුවක්. වෙලාවකට වළං හිට මහමුහුදෙ හුළඟට ගහගෙන යනවලු. ඉතින් බතක් උයාගෙන පොල් ටිකක් ගා ගන්නත් මාළු බෝතලේ ඇරගෙන කන්න පුළුවන්. ඒ අය වගේම මාතර, කඹුරුපිටිය, දෙවුන්දර සුපර් මාකට් හා කඩ බොහොමයක් මගේ නිෂ්පාදන මිලදී ගන්නවා. ඒ වගේම මගේ මහත්තයා රස්සාව කළ නුවර පළාතේ හොඳ ඉල්ලුමක් ඇතිවී තිබෙනවා.
හොඳ ඉල්ලුමක්
* ඇයි ඔබ මේ රට ඇතුළෙ විතරක් සීමා වෙලා ඉන්නෙ…
මගේ ආසාවත් ඉලක්කයක් පිටරට මාකට් එකට යවන්න තමයි, ඒ සඳහා තවත් නිෂ්පාදනය ඉහළ නංවාගන්න අවශ්‍යයි. මොකද තවමත් මං නැඟී එන ව්‍යවසායිකාවක්. BMICH එකේ පැවැති කුඩා ව්‍යාපාර සංවර්ධන ප්‍රදර්ශනයේදී මට එවැනි කුඩා ඇණවුම් කිහිපයක් ලැබුණා. එදා BMICH එකේදි නොහිතු විදියට බෝතල් 500 ක් විතර විකිණුණා.
* මේ නිෂ්පාදනයට නිශ්චිත මාකට් එකක් තියෙනවා කියල ද ඔබ කියන්නේ…
හැම සතියකටම දෙපාරක් මං ඇඹුල් තියල් බෝතල් දෙසීයක් පමණ හදනවා. කොහෙන්හරි ඇණවුමක් ලැබෙනවා. කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක්ම නැති නිසා, ඕනෑම තැනෙකින් පරීක්ෂා කරන්න මං අභියෝග කරනවා. ඒ නිසා වරක් ගත්තු අය ආපහු ගන්නවා. ඒක තමයි මගේ ශක්තිමත්ම වෙළෙඳ ජාලය.
* මාළු ග්රෑම් 260 ක් රුපියල් 280 ක්… ගාන වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද…
හිස් බෝතලෙයි මූඩියයි ගන්නට රුපියල් 36 ක් වැය වෙනවා. මාළු මිල පහළ යනවට වඩා ඉහළ යන දවස් ගානයි වැඩියි. ගම්මිරිස් මිලත් ඉතාම ඉහළයි. මහන්සිය අඩුවැඩිය ඔක්කොම බලද්දි බොහොම සුළු ලාභයයි අපිට තියෙන්නේ. ඒත් අලුත් මාළු කන්න ලැබෙන්නෙ කොයි තරම් අඩුවෙන්ද…
* ගැහැනියක්… අම්මෙක්… මේ හැමදේම කරද්දි ජීවිතේ වෙහෙසක් දැනෙන්නෙ නැද්ද…
මං දරු තුන්දෙනෙක්ගෙ අම්මෙක්. ලොකුම පුතා කසුන්ට 16 යි. දෙවැනියා මේ පාර ශිෂ්‍යත්වෙ ලියනවා. බාලම දූ මොන්ටිසෝරි. මේ අයගේ කටයුතුත් කරගෙන, මාළු උයලා, බෝතල් තම්බලා, අසුරලා, පැක් කරලා, වෙළෙඳපොළට අරන් ගිහින් හඳුන්වා දීලා කතා කරලා කරන මේ වෙළෙඳාම වෙහෙසයි තමයි, ඒත් මං හදන දේ ගැන හොඳටම දන්නෙ මං. ඒ ගැන කතා කරන එක මිනිස්සුන්ට කියලා දෙන එක මට සතුටක්. දවස අවසානයේ ගතට දැනෙන වෙහෙස මකාගෙන හිතේ සතුට උපදිනකොට අලුත් බලාපොරොත්තු හිතට ඇතුළු වෙනවා. ඉතින්, ඊළඟ දවසෙත් මං ජවයෙන් වැඩ කරනවා. මගේ ලොකුම බලාපොරොත්තුව හැකි ඉක්මනින් නගරවලට, විශේෂයෙන් කොළඹට මේ නිෂ්පාදනය ව්‍යාප්ත කරන එක.
රසකාරක දුන්නෙ නෑ
* සාම්ප්‍රදායික දැනුම එක්ක අලුත් තාක්ෂණය මුසු වුණොත් නෙවෙයි ද සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නෙ…
ඔව්. මාපලාන කෘෂි විද්‍යා පීඨයෙන් මං නව තාක්ෂණය ගැන නිතර දැනුවත් වෙනවා. අද මාළු ටික බෝතල් කළොත් දවස් තුනක්වත් ගෙදර තියනවා. මොකද පුංචිම හරි වෙනසක් තියෙනව ද කියලා බලලා මිස මං මාකට් එකට දාන්නෑ.
* ගැහැනියක් විදියට සමස්ත කාන්තා පරපුරට දෙන්න පණිවුඩයක් තියෙනව ද…
ගෑනු අපි, දරුවො හදාගෙන බත් උයාගෙන ගෙදරට වෙලා ඉඳලා විතරක් හරියන්නෑ. ගෙදරට සැමියට වගේම රටේ ආර්ථිකයටත් දායක වෙන දෙයක් කිරීමයි වැදගත්. ඒක අපිට පුළුවන්.
* මේ දුර එන්න ඔබට ශක්තිය වූ අය ගැනත් කියන්න…
මගේ මහත්තයා, අම්මා, මගේ දරුවො නෑනලා හැමෝගෙම උදව්ව නැති නම් මේ තරම් දෙයක් කරගන්න ලැබෙන්නෙ නැහැ. ඒ වගේම ව්‍යවසායකත්ව මණ්ඩලය, කාර්මික මණ්ඩලයේ නිලධාරීන් වගේම මට උදව් කළ ආයතන සහ සංවිධානවල හැමෝටම පින්!
ඉනෝකා පෙරේරා බණ්ඩාර
ඡායාරූපය – විමල් කරුණාතිලක