අපරාධකරුවන්ම පෙන්වා දුන් ඇඹිලිපිටියේ සේප්පු සොහොන

0
860

අපරාධයක්‌ කළ තැනැත්තකු නීතියේ රැහැනට හසුකිරීමට සඳ හෝ සාක්‍ෂි කියනු ඇති බව පැරැණි කියමනකි. එය සනාථ කිරීමේ සිදුවීමක්‌ පසුගිය 9 වැනිදා තංගල්ල අඟුණකොළපැලැස්‌සෙන් අපට අසන්නට ලැබිණි. එනම් දිවයිනේ විවිධ ප්‍රදේශ රැසක මුදල් සහිත සේප්පු සොරාගැනීම ඇතුළු විවිධ කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු පොලිස්‌ අත්අඩංගුවට පත්වීමේ සිද්ධියකි.

තංගල්ල කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රොෂාන් විඡේසිංහ මහතාට ඔත්තුකරුවකු මාර්ගයෙන් වැදගත් තොරතුරක්‌ දැනගන්නට ලැබිණි. එනම් ගංජා ප්‍රවාහනය කරන පුද්ගලයන් දෙදෙනකු ගැනය. වහාම ක්‍රියාත්මක වූ පොලිස්‌ අධිකාරිවරයා තංගල්ල කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට එම පුවත පවසා එම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළේය.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ අඟුණකොළපැලැස්‌සේදී එම සැකකරුවන් දෙදෙනා පොලිස්‌ අත්අඩංගුවට ගත්තේය. එම අවස්‌ථාවේදී ඔවුන් දෙදෙනා ළඟ ගංජා කිලෝ 5 1/2 කට අධික ප්‍රමාණයක්‌, ජීව අත්බෝම්බයක්‌ සහ ගල්කටස්‌ වර්ගයේ ගිනිඅවියක්‌ ද තිබී ඇත. අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන් ළඟ ගංජාවලට අමතරව නීති විරෝධී ගිනි අවියක්‌ සහ ජීව අත්බෝම්බයක්‌ තිබීම පොලිස්‌ නිලධාරීන්ගේ විශේෂ සැකයකට භාජනය වී තිබේ. එම නිසා මෙම සැකකරුවන් දෙදෙනාව අඟුණකොළපැලැස්‌ස අධිකරණයට ඉදිරිපත් කර දින හතක්‌ සඳහා රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කරන ලදී. එහිදී මොවුන් වසර කිහිපයක්‌ පුරා දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සිදු කරන ලද අපරාධ රැසක තොරතුරු හෙළිකර ගැනීමට පොලිස්‌ නිලධාරීන්ට හැකිවිය.

මෙම සැකකරුවන් දෙදෙනා ප්‍රධාන වශයෙන් සිදුකර ඇත්තේ ඉන්ධන පිරවුම්හල්, ග්‍රාමීය බැංකු ආදී ස්‌ථානවල ඇති සේප්පු සොකරම් කරගෙන යැමයි. පසුව එම සේප්පු කඩා මුදල් ලබාගෙන හිස්‌ සේප්පු පාළු ළිංවල හෝ වැව් පතුල්වලට දමයි. මෙලෙස මෙම සැකකරුවන් මංකොල්ල කන ලද මුදල් සහ භාණ්‌ඩවල වටිනාකම කෝටි දෙකකට ආසන්න බව පොලිස්‌ නිලධාරීහු පවසති.

ඇල්පිටිය නගරයේ පිහිටා තිබූ ඉන්ධන පිරවුම්හල කොල්ලකා එහි තිබූ සේප්පුවෙන් ලක්‍ෂ 15 කට අධික මුදලක්‌ මෙම සැකකරුවන් සොරාගෙන තිබිණි. ඉන්පසු මොවුන් හක්‌මන ඉන්ධන පිරවුම් හල කොල්ලකා ලක්‍ෂ 9 ක මුදලක්‌ රැගෙන එහි තිබූ සේප්පුව රැගෙන යැම, සූරියවැව විහාරගල ඉන්ධන පිරවුම්හල කොල්ලකා එහි සේප්පුවේ තබා තිබූ ලක්‍ෂ 24 ක මුදලක්‌ සොරා ගැනීම, වැලිගම ඉන්ධන පිරවුම්හල තුළ තිබූ ලක්‍ෂ 20 මුදලක්‌ සොරා ගැනීම, නිවිතිගල ඉන්ධන හල කොල්ලකා එහි තිබූ මුදල් හා මැණික්‌ ගල් වගයක්‌ ද මෙම සැකකරුවන් රැගෙන ගොස්‌ තිබිණි.

දික්‌වැල්ල ගොඩඋඩ සමුපකාර ග්‍රාමීය බැංකුව සතු සේප්පුව කොල්ලකා එහි තිබූ රුපියල් ලක්‍ෂයකට අධික මුදලක්‌ සොරාගෙන තිබූ අතර ඇහැලියගොඩ සණස සංවර්ධන බැංකුව, දික්‌වැල්ල ග්‍රාමීය බැංකුව ද කොල්ලකා මුදල් රැගෙන පලාගොස්‌ තිබුණේ මෙම සැකකරුවන් විසින්ය.

මීට අමතරව මෙම සැකකරුවන් විසින් හුංගම, අම්බලන්තොට, අඟුණකොළපැලැස්‌ස යන පොලිස්‌ බලප්‍රදේශයන්හි වී මෝල් සහ ටයර් වෙළෙඳසල් කිහිපයක්‌ ද කොල්ලකා ඇත. එවායේ තිබී මුදල්වලට අමතරව ටයර් සහ වී තොග ද සොරාගෙන තිබේ.

අවස්‌ථා දෙකකදී මෙම සැකකරුවන්ට දික්‌වැල්ල කාගිල්ස්‌ µqඩ් සිටිය සහ හොරණ ඉන්ධන පිරවුම් හලක්‌ කොල්ල කෑමට ගොස්‌ එහි තිබූ සේප්පු සොරාගැනීමට නොහැකි වී තිබේ.

වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී පොලිස්‌ නිලධාරීන්ට දැනගන්නට ලැබී ඇත්තේ කොල්ලකන ලද සේප්පු ආරක්‍ෂිත ස්‌ථානයකට රැගෙන ගොස්‌ ඒවා කෙසේ හෝ විවෘත කර මුදල් රැගෙන එම හිස්‌ සේප්පු පාළු ළිංවලට හෝ වැව් පතුල්වලට දමන බවයි. ඒ අනුව සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත මාමඩල ප්‍රදේශයේ ළිං දෙකක හා ඇඹිලිපිටිය චන්ද්‍රිකාවැවේ තිබී සේප්පු හතක්‌ සොයා ගැනීමට පොලිස්‌ නිලධාරීන්ට හැකි විය. මෙහි ඇති විශේෂත්වයක්‌ වනුයේ මෙම ලිපිය ලියන මොහොත වන විටත් එක්‌ සේප්පුවක්‌ සඳහා හිමිකරුවකු පෙනී නොසිටීමයි.

මෙම සැකකරුවන් දෙදෙනා විසින් සිදු කරන ලද අපරාධවලට සම්බන්ධ තවත් පුද්ගලයන් 4 දෙනකු සිටින බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. තවද මෙම සැකකරුවන් දෙදෙනාට විරුද්ධව නඩු කිහිපයක්‌ අධිකරණයේ විභාග වෙමින් පවතී.

කොතරම් සැලසුම්සහගත ලෙස අපරාධ කළත් කවදා හෝ දිනක ඒවා හෙළිවේ. එවිට සිදුවන්නේ නීතියේ රැහැනට අසුවී තම ජීවිතයම නන්නත්තාර කර ගැනීමටයි. එම නිසා අපරාධයක්‌ කිරීමට සැරසෙන ඕනෑම කෙනකු තමන්ට අත්වන ඉරණම ගැන කිහිප වරක්‌ කල්පනා කරන්නේ නම් මෙරට තුළ මෙතරම් අපරාධ සිදු නොවනු ඇත.

දකුණු දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති චන්දන වික්‍රමරත්න මහතාගේ හා මාතර හම්බන්තොට දිශාව භාර නියෝජ්‍ය පොලිස්‌පති සුමිත් එදිරිසිංහ මහතාගේ උපදෙස්‌ යටතේ තංගල්ල කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රොෂාන් විඡේසිංහ මහතාගේ හා තංගල්ල සහකාර පොලිස්‌ අධිකාරි සුදත් මාසිංහ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ තංගල්ල කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පො.ප. වසන්ත කුමාර, උ.පො.ප. ගුණතුංග, පො.සැ. මුණසිංහ (10581), පො.සැ. සරත් (31940), පො.සැ. කුමාර (43234), පො.සැ. ලාල් (19260), පො.කො. මංජුල (44974), පො.කො. සම්පත් (41717), පො.කො. රංජිත් (52712) පො.කො. ගාමිණී (53724), පො.කො. සිරිවර්ධන (62427) යන නිලධාරීහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූහ.

ගයාන් සමරසිංහ

Source : Divaina