රාජ්‍ය පත්වීම්-උසස්වීම් වහාම අත්හිටුවන්න

0
507

මැතිවරණ කාලසීමාව තුළදී රාජ්‍ය ආයතනයන්හි බඳවා ගැනීම්, පත්වීම්, උසස් කිරීම් හා මාරු කිරීම් ඊයේ (20) සිට අගෝස්තු 20දා දක්වා අත්හිටුවිය යුතු බව ජනාධිපති ‍ලේකම් පී.බි. අබේකෝන් මහතා විසින් සියලුම අමාත්‍යංශ ‍ලේකම්වරුන් සහ ප්‍රධානීන් වෙත දැනුම්දී තිබේ.

මැතිවරණ කොමසාරිස්වරයා මේ පිළිබඳව මීට පෙර දැනුම්වත් කර තිබුණත් සමහර රාජ්‍ය ආයතන එම උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීමකින් තොරව කටයුතු කරන බවට තමාට වාර්තා වී තිබෙන බවද ජනාධිපති ‍ලේකම්වරයා විසින් සඳහන් කර ඇත.   පාර්ලිමේන්තු මැතිවරණය නියමානුකූල පරිදි පැවැත්වීම සඳහා මැතිවරණ කොමසාරිස්ට පූර්ණ සහයෝගය දීමට සියලු රාජ්‍ය නිලධාරීන් බැඳී සිටින බව පෙන්වා දෙන ජනාධිපති ‍ලේකම්වරයා මැතිවරණය සඳහා අවශ්‍ය වන නිලධාරීන් හා සහයක කාර්ය මණ්ඩලය මැතිවරණ කොමසාරිස්වරයා වෙත නිසි පරිදි දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද සියලුම අමාත්‍යංශ ‍ලේකම්වරුන් වෙත දන්වා යවා ඇත.   මීට අමතරව එළැඹෙන අගෝස්තු 20දා දක්වා කාලය අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අයත් වාහන අතරින් පෞද්ගලික ‍ලේකම්වරුන්ට පමණක් නිල රථයක් දිය යුතු බවත් අනිකුත් කාර්ය මණ්ඩලයන් සඳහා ලබා දී ඇති වාහන ඊයේ (20) දිනය වන විට නැවත බාරදී තිබිය යුතු බවත් ජනාධිපති ‍ලේකම්වරයා සියලුම අමාත්‍යංශ ‍ලේකම්වරුන්ට දන්වා යවා ඇත.
තවද එසේ නිල වාහන ආපසු භාරගත් පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සඳහා රුපියල් 30000ක දීමනාවක් දීමට පියවර ගත යුතු බවද ජනාධිපති ‍ලේකම්වරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Source : Lakbima