Atamasthanadhipathi Dr. Pallegama Siriniwasa Nayaka Thero passes away

0
123

අනුරාධපුර අටමස්ථානාධිපති, උතුරු මධ්‍ය දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියෝ අපවත්වූහ. අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි උන්වහන්සේ අපවත්වන විට 69 වැනි වියේ පසුවූහ.

මාතලේ දඹුල්ල පල්ලේගම ග්‍රාමයේදී 1953 වසරේ ජනවාරි දෙවනදා උපත ලද පල්ලේගම සිරිනිවාස ස්වාමීන්වහන්සේ 1968 වසරේදී පැවිදි දිවියට ඇතුළත්ව 1975 වසරේ මහනුවර මංගල උපෝසතාරාමයේදී උපසම්පදා සීලයේ පිහිටවා තිබේ. උන්වහන්සේ අටමස්ථානාධිපති ධුරයට පත් වූයේ 1997 වසරේ ජුනි මස 5 වනදායි.

උන් වහන්සේ මාලිගාකන්ද පිරිවෙන සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙන, හුණුපිටිය ගංගාරාමයේ ජිනරතන පිරිවෙනේ අධ්‍යාපනය හැදැරූ සිරිනිවාස හිමියන් කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිධාරියෙකි.
උන්වහන්සේ තායිලන්ත රජය මගින් පිරිනමන ආචාර්ය උපාධියකින් ද පිදුම් ලබා ඇත.

පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන්වහන්සේ ජයසිරි මහා බෝධීන් වහන්සේ ඇතුළු අටමස්ථානයෙහි සංවර්ධන කටයුතු සිදු කරමින් දැවැන්ත ශාසනික හා ජාතික සේවාවක් ඉටු කළහ.මේ දක්වා වසර 25 කට අධික කාලයක් අටමස්ථානයේ සංවර්ධනය වෙනුවෙන් විශිෂ්ට සේවාවක නිරතවූහ.

හදිසියේ රෝගාතුර වූ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී මෙසේ අපවත් වුහ.