මිතුරන් නොවන මිතුරන් හඳුනා ගනිමු

0
411

අංගුත්තර නිකායෙහි ඒකක නිපාතයෙහි මිතුරන් නොවන මිතුරන් පිළිබඳ ඉගැන්වීමක් එයි. යමක් හේතුකොටගෙන නූපන්නා වූ අකුසල ධර්ම උපදින්නේ නම්, උපන්නා වූ කුසල ධර්ම පිරිහෙයි නම් එයට මූලික වන්නේ පාප මිත‍්‍ර ඇසුර බව එමගින් කියවෙයි. ඒ අනුව පාප මිත‍්‍රයන් ඇත්තා හට නූපන්නා වූ අකුසල ධර්ම උපදියි. උපන්නා වූ කුසල ධර්ම පිරිහෙයි.

මේ අනුව බැලූ කල පාප මිත‍්‍ර ඇසුර මිනිසෙකු පරිහානිය කරා යොමු කරවීමට කෙතරම් බලපාන්නේ ද යන්න මනාව පැහැදිලි ය. යම් පුද්ගලයෙකු තුළ සද්ධාව නොමැති ද, දුස්සීල වෙයි ද, ධර්ම විනය නොදන්නේ වේ ද, මසුරුකම ඇත්තේ වේ ද, නුවණ නැත්තේ වේ ද ඔවුහු පාප මිත‍්‍රයෝ වෙති. එවැනි අය හා යම් ඇසුරු කිරීමක් වේ ද, නිතර ඇසුරු කිරීමක් වේ ද, මනාව කරන ඇසුරු කිරීමක් වේ ද, භජනයක් වේ ද, නිතර කරන භජනයක් වේද, ඔවුන් කෙරෙහි භක්තියක් වේ ද, සිත, කය හා වචනය යන තිදොරින් ඔවුන් හා නැඹුරු වූ බවක් වේ ද එය පාප මිත‍්‍ර ඇසුරයි. මෙවන් පාප මිත‍්‍රයන් ඇති පුද්ගලයාට නූපන් අකුසල් උපදින අතර උපන් කුසල් පරිහානියට පත් වේ.

මිනිසාගේ ලෞකික සම්පත් විනාශයට හේතුවන කරුණු සයක් බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත‍්‍රයේ දී දේශනා කළ හ. ‘පාපමිත්තානුයොගො භෝගානං අපාය මුඛං’ යනුවෙන් එහි කියවෙන පරිදි පාප මිත‍්‍රයන් හා නැවත නැවත එක්ව කටයුතු කිරීම අපාය මුඛයකි. අපාය මුඛය නම් වස්තු විනාශයට හේතුවන කරුණුයි. සුරා පානයෙහි නැවත නැවත යෙදීම, නොකල්හි වීථි සංචාරයෙහි නැවත නැවත යෙදීම, නෘත්‍යාදිය දැකීම පිණිස නෘත්‍ය ශාලා වෙත නැවත නැවත යාම, ¥ කෙළියෙහි නැවත නැවත යෙදීම, අලසභාවයෙන් යුක්තවීම යන සෙසු අපාය මුඛ නම් වූ වස්තු විනාශයට හේතුවන කරුණුවලට මෙම පාප මිත‍්‍ර සේවනය කෙතරම් දුරට සම්බන්ධ වේ දැයි සිතා බැලිය යුතු ය. පාප මිත‍්‍ර සේවනය සමගම සෙසු අපාය මුඛයන් අත්වැල් බැඳගෙන පවතින බව ද පැහැදිලි කරුණකි.

පවිටු මිතුරන් ඇසුරු කිරීමෙහි යෙදුණු පුද්ගලයා මෙලොවින් සේ ම පරලොවින් ද පිරිහෙයි. සුරා පානයෙහි දී පමණක් මිත‍්‍රවන ‘පාන සඛ’ නම් මිතුරෙකු පිළිබඳව ද තමා ඉදිරියෙහි මිත‍්‍රය, මිත‍්‍රය කියමින් මිත‍්‍රත්වය හඟවමින් තමා නොමැති තැන සතුරු වූ මිතුරෙකු පිළිබඳව ද, යම්කිසි කාර්යයක් එළඹි කල්හි පමණක් ලාභ ප‍්‍රයෝජන තකා මිතුරුවන පුද්ගලයෙකු පිළිබඳව ද උගන්වා තිබේ.

මෙලොව මිත‍්‍ර නොවූ හෙවත් පසමිතුරු වූ මිත‍්‍ර ප‍්‍රතිරූපකයෝ සිව් දෙනෙක් වෙති. එයින් හිස් අතින් පැමිණ මිතුරාගෙන් යමක් ගෙන යාමට උත්සාහ කරන්නා අඤ්ඤදත්ථුහර ලෙස ද, වචනයම පමණක් ප‍්‍රධාන කොට ඇති තැනැත්තා වචීපරම ලෙස ද, හොඳ නරක දෙකම එක සිතින් අනුමත කරන්නා අනුප්පියභාණී ලෙස ද පරිහානිය සඳහාම පමණක් සහාය වන්නා අපාය සහාය ලෙස ද දක්වා ඇත. මිතුරු වෙසින් සිටිනා මෙම අමිත‍්‍රයින් සතරදෙනාම සිංහ ව්‍යාඝ‍්‍රාදී වන සතුන්ගෙන් වන භය ඇති මාර්ගයක් මෙන් දුරින්ම දුරු කළ යුතු ය.

මිතුරාට උපකාරයක් ම කරන උපකාරක මිත‍්‍රයා ද, දුක සැප දෙකෙහිදීම සම සිතින් ඇසුරු කරන සමාන සුඛ දුක්ඛ මිත‍්‍රයා ද, අර්ථයක්ම සලසන හෙවත් දෙලොව දියුණුවටම මග කියාදෙන අත්ථක්ඛායී මිත‍්‍රයා ද අනුකම්පා කරන ස්වභාව ඇති අනුකම්පක මිත‍්‍රයා ද ඇසුරු කළ යුතු ය.

කාය දුශ්චරිතාදී අකුසල ධර්මයන් හි ඇලූණු පාප මිත‍්‍රයන් සේවනය නො කළ යුතු ය. පහත් ක‍්‍රියාවන් හි ඇලූණු අධම පුද්ගලයින් සේවනය නො කළ යුතු ය. බුද්ධාදී උතුමන් කෙරෙහි අපමණ සැදැහැයෙන් යුක්ත වූ හා කාය සුචරිතාදී කුසල ධර්මයන්හි ඇලූණු කල්‍යාණ මිත‍්‍රයන් ම සේවනය කළ යුතු ය. පහත් ක‍්‍රියාවන් ගෙන් තොර වූ උතුමන් සේවනය කළ යුතු ය. මෙලොව දුසිරිතෙන් තොරව සැනසීමෙන් ජීවත්ව සිට පරලොව ජීවිතය ද සුවපත් කරගත හැකි වන්නේ එසේ ක‍්‍රියා කිරීම තුළින් ය.

ඌරුගමුවේ අස්සජී හිමි