ආර්ථිකයක පාවෙන අයිස් කන්ද

0
509

අත්දැකීම් ඇති නාවිකයෝ මහා සාගරයේ පාවෙන අයිස් කඳු සුළු කොට තකන්නේ නැත. පාවෙන කන්ද මතු පිට පෙනෙන ප්‍රමාණයට වඩා දැවැන්ත අයිස් පථයක් මහ මුහුද යට සැඟවී තිබෙන බව ඔවුහු හොඳාකාරව දනිති. ලෝකයේ දෙකෙලවර අර්ධ ගෝලවල පිහිටි අයිස් පර්වත සමහර අවස්ථාවල කැඩී වෙන්වෙයි. එයට බලපාන නොයෙක් හේතු තිබේ. උණුසුම හෙයින් දියැවෙන අයිස් කඳු මහ මුහුදේ පාවෙමින් තිබේ. දියැවෙන මතුපිටට වඩා කොටසක් සාගර ජගයේ ගිලී පවතී. ටයිටැනික් නෞකාවේ කපිතාන් අයිස් කන්ද සුළුකොට තැකුවේය. විනාශ කළ නොහැකි යැයි කල්තබා කියා තිබුණ බලවත් සුඛෝපභෝගී ටයිටැනික් නැව එහි හැපී දෙකඩ වී වැනසුණ අන්දම ඉතිහාසයෙන් කියා දෙන පාඩමකි. ආර්ථිකයක ද “අයිස් කඳු” තිබේ. තක්සේරු කරන ප්‍රමාණයට වඩා කොටසක් නොපෙනන බව සැලකිය යුතුය. කොවිඩ්-19 වයිරසයේ බලපෑමෙන් මෙල්ල වී ඇති ජගත් ප්‍රජාව ලෝක ආර්ථිකය දැවැන්ත අර්බුදයක බව ප්‍රකාශ කරමින් සිටිති. සියලු අංශ බෙලහීන වී තිබේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය හා තාක්ෂණික භාවිතාව පමණක් බලගැන් වී තිබේ. මෙම ස්වභාවය මැනැවින් අධ්‍යයනය කිරීම අපට වැදගත්ය.

වසර හතළිහකට මෙපිට දැවැන්ත අර්බුදය

ලෝක බැංකුව මෙයින් දින කිහිපයකට කලින් තද අනතුරු ඇඟවීමක් කළේය. ලෝක ප්‍රජාව ඉතිහාසයේ නොතිබුණ අර්බුදයක් අභිමුවෙහි සිටින බවට අනතුරු ඇඟවීය. එහි දිග පළල ගැන අදහසක් ප්‍රකාශ කළ ලෝක බැංකු පර්‌යේෂකයෝ වසර හතළිහකට මෙපිට කාලය තුළ ඇති නොවුණ තරම් බරපතළ ආර්ථික අර්බුදයක් දකුණු ආසියාවට ඇති වන බව කියා තිබේ. 2020 ආරම්භ වන කාලය ආසියාවේ යුගය බව ප්‍රකාශ කරමින් තිබුණ බව අමතක කළ යුතු නැත. ලෝක ආර්ථික වර්ධනයට ආසියාව වැඩිම දායකත්වයක් දක්වනු ඇතැයි ගණන් බලා තිබුණ බව පෙන්වා දිය යුතුය. කොවිඩ්-19 වයිරසයේ බලපෑම එම පුරෝකථන උඩු යටිකුරු කර ඇත.

වසර හතළිහකට කලින් ජීවත්වූ, එම කාලයේ සමාජ ආර්ථික පසුබිම ගැන අත්දැකීම් ඇති සියලු දෙනාට එකල තිබුණ වාතාවරණය ගැන හැඟීමක් ඇති බව නිසැකය. එකල මෙතරම් සංකීර්ණ ආර්ථික ව්‍යුහයක් තිබුණේ නැත. ගෝලීයකරණය ප්‍රාථමික අවධියේය. ආනයන අපනයන හෝ සැපයුම් චක්‍රය ජන සමාජයට විශේෂ බලපෑමක් නොකළේය. කොටින්ම පරිගණකයක බොත්තමක් ඔබා තොරතුරු හුවමාරු කරගන්නා තැනක නොතිබුණි. එහෙත් අද තත්ත්වය වෙනස්ය. පරිගණක පද්ධතියකට වෛරසයක් ඇතුළුවුවහොත් රටක් අසරණ වන තැනට කරුණු සකස් වී තිබේ. එවැනි පසුබිමක කොවිඩ් වයිරසය මුළු ලෝකයම එක යායට නිහඬ නිසොල්මන් කර ඇති බව පෙන්වා දිය යුතුය. එය ඉතාම අර්බුදකාරී තත්ත්වයකි.

අර්බුදය මතු වන තරම නිරීක්ෂණය කරන්නේ කෙසේද? වසර 2020 තුළ සියයට 6.3 ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළ දකුණු ආසියාව සියයට 1.8-2.8 අතර වර්ධනයකට සීමා විය හැකි බව ලෝක බැංකු වාර්තාව අනාවරණය කරයි. බිලියන 1.8 ක ජනගහණයක් දකුණු ආසියාවේ ජීවත්වන අතර ලෝකයේ වඩාත් ජනාකීර්ණ නගර කිහිපයක් ද දකුණු ආසියානු කලාපයට ඇතුළත්ය. වර්ධනය අඩුවන විට ආදායම පහත වැටේ. රැකී රක්ෂා උත්පාදනය අවම විය හැකිය. කර්මාන්ත හා සේවා අංශයන් හි අලෙවිය සිමා වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුවලට ලැබෙන බදු ආදායම සීමා විය හැකිය. සහන වැඩපිළිවෙළ පවා අඩාළ වනු ඇති අතර තව දුරටත් දේශීය හා විදේශීය ණය ගැනීමට රාමුව සකස් විය හැකිය. ලෝක බැංකුව දක්වන අන්දමට පවතින අර්බුදය ආර්ථික කුණාටුවක් බවට පත් විය හැකිය. සංචාරක අංශය දක්වන දායකත්වය අවම වනු ඇත. සැපයුම් චක්‍රය අක්‍රමවත් වෙයි. ඇඟලුම් අංශයට එහි තද බලපෑමක් එල්ලවන අතර පාරිභෝජනය හා ආයෝජන යන අංශ පිරිහීමක් වාර්තා කරනු ඇති බව ද ලෝක බැංකුව පෙන්වා දී තිබේ.

ලෝක සිතියමෙන් රටක් මැකෙන්නේ නැත

ආර්ථිකය දැවැන්ත අර්බුදයක කියන පමණින් බිය ඇති කරගත යුතු නොවේ. අලුත් ධෛර්යයක් සහ ආත්ම ශක්තියක් අවශ්‍යය. හැම තැනෙකම අයිස් කඳු පාවෙන නමුත් තරාතිරම බලා ඉලක්කයකට ගමන් කරන්නට කපිතාන්වරුන්ට දක්ෂතාවක් තිබේ. මෙවැනි ආර්ථික අර්බුදවලට ලෝකයේ නොයෙක් රටවල් මුහුණ දුන් අතර කිසිම රටක් ආර්ථික අර්බුදයක් හෙයින් විනාශ වී ගියේ නැත. ගැටලු ඇතිවන විට විසඳුමක් ද සොයා ගැනේ. බ්‍රසීලය කලකට පෙර විදේශීය ණය ගෙවා ගත නොහැකි තැනට පත්ව තිබුණි. එහෙත් දැන් තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. ග්‍රීසියේ ආර්ථික අර්බුදය කළමණාකරණය කරගෙන තිබේ. සෝවියට් දේශය බිඳවැටුණු පසු අලුතින් හැදුණු රටවල් මුල් කාලයේ දැවැන්ත ප්‍රශ්නවලින් මිරිකී සිටියහ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජපානය මුහුණ දුන් තත්ත්වය කිසිවෙකුට අමතක නැත. එම සියලු රටවලට අතීතය මිහිරි මතකයක් පමණක් වන අතර කැපවීම, වෙහෙස වී අලුතින් ගොඩනැගීම ගැන අප්‍රමාණ පාඩම් ලෝකයට උගන්වා තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැන් පවතින තත්ත්වයෙන් ඔබ්බට කැඳවීම ගැන ද අලුතින් හිතන්නට අවශ්‍යය. මැදි ආදායම් රටක් සේ ඉදිරියට නැග එමින් තිබුණ ශ්‍රී ලංකාව යළිත් ආපස්සට ඇද දමා ඇති බව නිසැකය. එම “ අයිස් කන්දේ ” තරම ගැන තවමත් ප්‍රමාණවත් රටට විනිශ්චයක් නැත. අර්බුදයෙන් ගොඩ එන කාලවකවානුව තුළ කළ යුතු කැපවීම ගැන ජන සමාජයට නිසි අදහසක් ඇති බවක් පෙනෙන්නට නැත.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික මර්මස්ථාන සෑහෙන කාලයකට අකර්මන්‍ය විය හැකිය. මැද පෙරදිග ඇතුළු රටවල සේවය කරන ලද ලාංකිකයන්ගෙන් ලැබුණ විනිමය, ඇඟළුම් කර්මාන්තයේ ආදායම, සංචාරක ව්‍යාපාරයෙන් ඉපැයීම් සහ තේ රබර් හා පොල් ඇතුළු කෘෂි අපනයනවලින් උපයන ලද විනිමය පහතටම වැටෙන බව සැකයක් නැත. මෙම විනිමය රහිතව රටට ඉන්ධන ආනයනය කරන්නට පුලුවන්කමක් නැත. අත්‍යවශ්‍ය දේ ගෙන්වන්නේ කෙසේද? විදේශ රටවලින් ගත් ණය ආපසු ගෙවීම අතපසු විය හැකිය. සියලු දේ පුරුදු පරිදි කරගෙන යන්නට අවශ්‍යම නම් ඉතා ඉහළ පොලී අනුපාත වලට වානිජ ණය විදේශ මුදල්වලින් ගැනීමට රටට සිදුවේ. එය ඉතා අනතුරුදායක තත්ත්වයකි. මෙවැනි අර්බුදවලින් බැට කෑ ලෝකයේ වෙනත් රටවල් අනුගමනය කරන ලද ප්‍රතිපත්තිවලට හැර අනෙක් ගැලවීමක් ශ්‍රී ලංකාවට නැත.

තිත්ත කසාය හොඳම ඖෂධයකි

කසාය කොහොමටත් තිත්තය. ආයුර්වේදයේ දී කසාය පොවන්නේ අනුපානුවක් සහිතවය. බටහිර බෙහෙත් පෙති හා කරල් තිත්ත නොදැනෙන්ට ගිලින්ට පුළුවන්කමක් තිබේ. කොහොම කොයි ආකාරයට ප්‍රතිකාරයක් ගන්නා නමුත් අර්බුදයකින් ගොඩ එන අවස්ථාවක අනුගමනය කරන විසඳුම් කිසිසේත් රසවත් ඒවා නොවේ. හැබෑ මුහුණුවර සහ පෙන්වන ඒවායේ ස්වභාවය අනුව ගත හැකි පියවර ගැන කියා දෙන පියවරකින් පසු ගැලවෙන්නට නම් තිත්ත කසාය වඩි ගණනක් අවශ්‍ය බව ජනතාවට ඇඟවිය හැකිය. නිසි නායකත්වය හා ක්‍රමය ගැන ඇති විශ්වාසය එහි දී වැදගත්ය. අනුගමනය කරන අලුත් ව්‍යුහය ගැලවීමට ඇති එකම මග වන අතර දුෂ්කර තත්ත්වයෙන් ගැලවෙන්නට පියවරෙන් පියවර අනුගමනය කරන පිළිවෙළ පොදු ජනතාවට කියා දෙන්නට අවශ්‍යය.

ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ පරිපාලන සේවය ඇතුළු අත්‍යවශ්‍ය සේවා හා සෞඛ්‍ය අංශ කරගෙන යන වසංගතය තුරන් කරන පියවරට පසු ආර්ථිකය නැවතත් නිසි මගට ගැනීම අවශ්‍යය. මුල් කාල පරිච්ඡේදයේ දී සෑහෙන පිරිසකට රැකියා අහිමි විය හැකිය. රාජ්‍ය හා පුද්ගලික අංශයේ ආයතනවල පැවැත්ම වෙනුවෙන් වන්දි ගෙවා ඉවත් කරන පියවර ඇරඹෙන්නට බැරි නැත. දීමනා අඩුවිය හැකි අතර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා සේවා අංශ ඉතාම දුෂ්කර තැනකට පත්විය හැකිය. මෙවැනි පසුබිමක දී අනුගමනය කළ හැකි දේ ගැන දැන් සිටම කල්පනා කිරීම සුදුසුය.

ජාත්‍යන්තර ප්‍රදානක ආයතන ආධාර වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කර තිබේ. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ආසියානු සංවර්ධන බැංකුව විශේෂ ණය යෝජනා ක්‍රම හඳුන්වා දී ඇත. මේවායේ සහාය ලබා ගත හැකි නමුත් එම ආධාර ආපසු ගෙවන ණය හෙයින් පරෙස්සමෙන් ක්‍රියා කරන්නට අවශ්‍යය. අනෙක මෙම ආයතන ආපසු මුදල් අයකරගැනීම ගැන අවධානය යොමු කරන බැවින් කොන්දේසි පනවා ආර්ථිකය හසුරුවන යෝජනා ඉදිරිපත් කරනු නිසැකය. එය අලුත් වටයකින් මෙරටට බලපෑම් කරන අවකාශයක් වනු ඇත.

අපට අනන්‍ය අලුත් ආර්ථික ව්‍යුහයක්

රටට අලුත් දර්ශනයක් අවශ්‍යය. ප්‍රතිසංස්කරණ සෑහෙන ප්‍රමාණයක් ක්‍රියාත්මක කළ යුතුය. පසුගිය වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරය සමග කරුණු දැක් වූ ශ්‍රීලන්කන් ගුවන් සේවය 2019 අවුරුද්ද තුළ ඇමරිකානු ඩොලර් බිලියන 160 ක් අලාභ වාර්තා කරනු ඇති බව කියා සිටියේය. මෙය රුපියල් වලින් ගණන් බැලීමට අඩුම තරමින් ඩොලරයේ මිල සලකා 190 කින් වැඩි කළ යුතුය. කෝප් වාර්තාව කියා ඇති පරිදි පසුගිය වසර දහය තුළ ශ්‍රීලන්කන් පමණක් ලැබූ අලාභය රු. බිලියන 240 කි. ආණ්ඩුව කොවිඩ් -19 වසංගතයෙන් ගැලවීම සඳහා අරමුදලක් පිහිටුවා ඇති අතර එයට මෙතෙක් එකතුවී ඇති මුදල රු. මිලියන 600 නොඉක්මවයි. එක රජයේ ආයතනයක බර ආර්ථිකයකට කිසිසේත් උසුලා ගත නොහැකිය. ඛනිජ තෙල්, විදුලිය, දුමිරිය හෝ තැපැල් යන අංශ ඇතුළු රජයේ ආයතනවල අලාභය මෙම 2020 වසරේ දී කොපමණ විය හැකිද? යල් පැන ගිය මිත්‍යා විශ්වාසවලින් දැන් ප්‍රයෝජනයක් නැත. ඉතාම වටිනා ජාතික සම්පත් වශයෙන් ආරක්ෂා කරන්නට කළින් ඒවායෙන් කරන හානිය අවම කරගැනීම ගැන අවධානය යොමු කළ යුතුය. අඩු ආදායම් ලබන ජනතාවට සහන වශයෙන් මාසික දීමනාවක් ගෙවීම දුෂ්කර තැනක සිටින රටකට ගුවන් සේවාව වෙනුවෙන් අතිවිශාල ධනයක් වැය කරන්නට පුළුවන්කමක් තිබේද? නොහැකි යැයි දෙයක් නැත. දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් තවත් ණය ගෙන නඩත්තු කරනු වෙනුවට ප්‍රතිසංස්කරණයක් ගැන අවධානය ඉතාම අවශ්‍ය කරනු ඇත. ප්‍රතිපත්ති සම්පාදකයෝ මේවා ගැන සොයා බැලීම කාලීන අවශ්‍යතාවයකි.

පළමුවෙන් රට තුළ පැවැත්ම තහවුරු කරගත යුතුය. දෙවැනුව ජාත්‍යන්තර වෙ​ෙළඳපොළ ගැන අවධානය යොමු කරන පියවරකට යා යුතුව ඇත. නිෂ්පානදය නැංවීම පළමු අභියෝගයයි. නතර වී ඇති රටක නිසොල්මන් වී ඇති මොහොතක නිෂ්පාදනය නංවන පියවර ගැන සාකච්ඡා කිරීම සුදුසුය. මූලික වශයෙන් රටට අවශ්‍ය තරමට කෘෂි නිෂ්පාදන, කර්මාන්ත හා සේවා අංශ නංවා ගැනීම සුදුසුය. කාර්යක්ෂමතාව වැදගත් වන අතර ලෝකය ආපසු අවදිවෙන්නේ ඉතා දියුණු තාක්ෂණික පිම්මක් සහිතවය. එය අමතක කළ යුතු නැත. කාලය කළමනාකරණය කළ යුතු අතර ජනී ජනයාගේ කාලය ඉතිරි කරන කාර්යක්ෂම සේවා පද්ධතියක් ඇති කළ යුතුය. තොරතුරු තාක්ෂණයේ පිටිවහල ලබා ගැනීම අවශ්‍යය. යෝජනා කළ හැකි නමුත් ක්‍රියාත්මකවීමේ දී මේවා පහසු නැත. එහෙත් අභියෝගයේ තරම හඳුනාගතහොත් විසඳුම නිර්මාණය කරගත හැකිය.

ජී. කේ. ජී. සරත්
– Aruna