මරණයේ ගෙඩිත් නැති කඩන්න අළුගෝසුවෙකුත් නැති ලංකාවේ එකම ගහ

0
934

ජනාධිපතිවරුන් හිතන්නේ එකම විදියටද? මේ රටේ එල්ලුම් ගසේ මෑත කාලීන ඉතිහාසය ගැන තොරතුරු සොයන විට අපට පෙනෙන්නේ ජනාධිපතිවරුන්ගේ සිතුම් පැතුම් රටාව එක සමාන වන අවස්‌ථා ඇති බවය. අද එල්ලුම් ගස යළි ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති මෛත්‍රී කියන පරිදිම 1995 දී ජනාධිපති චන්ද්‍රිකා එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළාය. ඒ වෙලාවේදී බිෂප්වරයකුව සිටි මැල්කම් රන්ජිත් පියතුමා කියා සිටියේ තමන් එල්ලුම්ගසට විරුද්ධ බවය. කෙසේ වුවද චන්ද්‍රිකා එල්ලුම්ගස යළි ඇති කිරීමට උත්සාහ කරන අවස්‌ථාවේ ජනාධිපති පදවියට පත් වී අවුරුද්දක්‌ ගත වුණා පමණි.

ඉන් පසු වසර 2004 නොවැම්බර් මාසයේදී ඇය නැවත වරක්‌ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළාය. එයට හේතු වූයේ සරත් අඹේපිටිය නමැති කිSර්තිමත් විනිසුරුවරයා පොට්‌ට නවුෆර් නමැති කුඩු මුදලාලි විසින් ඝාතනය කරවන ලද කල්හිය. මහ බැංකු බෝම්බය පිපිරවීම සම්බන්ධයෙන් ප්‍රභාකරන්ට අවුරුදු 200 ක සිර දඬුවමක්‌ නියම කළ සුප්‍රකට විනිසුරුවරයා සරත් අඹේපිටිය ය. එසේම පොට්‌ට නවුෆර්ගේ නඩුව විභාග කළේ ද සරත් අඹේපිටියම ය. කුඩු නඩු වලදී බරපතළ දඬුවම් නියම කිරීම විනිසුරු අඹේපිටියගේ සිරිත වූ නිසා තම නඩුවේ තීන්දුව දීමට පෙර විනිසුරුවරයා ඝාතනය කිරීමට ඒ වන විටත් හිරේ සිටින නවුෆර් තීන්දු කළේය.. ඝාතන කොන්ත්‍රාත්තුව භාරගත් පිරිස විනිසුරු අඹේපිටියගේ නිවසේදීම මහදවල් ඔහුට වෙඩි තබා මැරීය. විනිසුරු අඹේපිටිය ඝාතනය වීමත් සමඟ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වෙමින්, එල්ලුම් ගස යළි බලාත්මක කරන ලෙස ඉල්ලා සිටියේය. මේ තත්ත්වය තුළ එවකට බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් ලෙස කටයුතු කළ නීතිඥ රූමි මර්ෂුක්‌ පාකිස්‌ථානයෙන් අලුත් කඹයක්‌ ගෙන්වන ලද අතර, එයට හේතු වූයේ 1977 සිට අපරාධකරුවන් නො එල්ලීම නිසා වැලිකඩ හිරගෙදර එල්ලුම් ගසේ එතෙක්‌ පැවැති තොණ්‌ඩුව දිරා යැමය. එපමණක්‌ නොව එල්ලා මරා දමන පුද්ගලයා දමාගෙන යන ට්‍රොලියද දිරාගොස්‌ තිබිණි.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපති පදවියට පත් වූ පසු ද එල්ලුම් ගස යළි බලාත්මක කරන්නට තීරණය විය. ඒ වන විට පාකිස්‌තානයෙන් ගෙන්වූ කඹය හොඳ තත්ත්වයේ තිබුණද, අලුගෝසුවා විශ්‍රාම ගොස්‌ තිබිණි. අපරාධකරුවන් 369 ක්‌ ඇපෑල් පරාද වීමෙන් මරණ දණ්‌ඩනයට ස්‌ථිර වශයෙන් ම නියමව සිටි අතර, අපරාධකරුවන් 471 දෙනෙක්‌ තමන්ට පැනවීමට යන මරණ දඬුවමට එරෙහිව ඇපෑල් ඉදිරිපත් කර සිටියහ. මෙහිදී අලුත් අලුගෝසුවෙක්‌ බඳවා ගතහොත් මුලින් කී 369 දෙනා එල්ලීමට හැකි බව කල්පනා කළ බන්ධනාගාර ප්‍රධානීහු පුවත්පත්වල දැන්වීම් පළ කර අලුගෝසුවකුට ඇබෑර්තුවක්‌ ඇති බව මහජනතාවට දැනුම් දුන්නේය.

ඒ අනුව අයෑදුම්පත් 178 ක්‌ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලැබිණි. එක ඇසක්‌ පමණක්‌ පෙනෙන මිනිසෙක්‌, ත්‍රිරෝද රථ රියෑදුරෙක්‌, විශ්‍රාමික හමුදා සෙබළෙක්‌, කම්කරුවෙක්‌ සහ සරසවි ශිෂ්‍යයෙක්‌ ඒ අතර වූහ. සරසවි ශිෂ්‍යයා අලුගෝසු තනතුරට ඉල්ලුම් කළේ රැකියා සිය ගණනක්‌ සඳහා අයෑදුම්පත් දමා පලක්‌ නොවූ බැවිනි. ඇතැම් අයදුම්කරුවන් ප්‍රතික්‍ෂේප කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සිදුවිය. එයට හේතුව සමහරු නිසි වයස සම්පූර්ණ නොකිරීමය. තව කෙනෙක්‌ ඉතා මහලු විය. මේ සඳහා ඉදිරිපත් වූ කාන්තාව හරවා යවන ලදී. අවසානයේදී අයෑදුම්කරුවන් දෙදෙනකු තෝරා ගැනීමට සම්මුඛ පරීක්‍ෂණ මණ්‌ඩලය සමත් විය. එහෙත් මේ දෙදෙනාට පුහුණුවක්‌ දීමට හැකි වූයේ නැත. එයට හේතුව කලින් සිටි අලුගෝසුවන් දෙදෙනාගෙන් එක්‌ අයෙක්‌ මියගොස්‌ සිටීමය. අනෙකා තම මුළු සේවා කාලය තුළදීම කිසිවකුත් එල්ලා තිබුණේ නැත.

මෙයින් පසු එළැඹියේ සම්මුඛ පරීක්‍ෂණයෙන් තෝරාගත් අලුගෝසුවන්ට එල්ලුම් ගස පෙන්වීමය. ඒ සඳහා පළමුවන අවස්‌ථාව ලැබුණේ අනුරාධපුරයෙන් පැමිණි අවුරුදු 40 ක්‌ වයස පුද්ගලයකුටය. ඔහු එල්ලුම්ගස සවිකර ඇති කාමරයට ගෙන යන ලදී. එල්ලුම් ගස දුටු සැනින් ක්‌ලාන්ත වූ ඔහු බිම ඇද වැටුණේය. සිහිය ලද පසු බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල්ට ලිපියක්‌ ලියූ ඔහු අලුගෝසු රැකියාවෙන් ඉල්ලා අස්‌විය. මේ ගැන සිතා තීන්දුවක්‌ ගැනීමට ඔහුට මාසයක්‌ කල් දෙන ලදී. එහෙත් ඔහු අදටත් ආගිය අතක්‌ නැත.

ශ්‍රී ලංකාවේ නීතියට අනුව මරණ දණ්‌ඩනය හිමිවන වැරදි මෙසේය!

1. මිනීමැරුම්,

2. මරණය සිදු කරන වෙනත් වැරදි එනම් බොරු සාක්‍ෂි මත පුද්ගලයකුට මරණ දණ්‌ඩනය දෙන ලද්දේ නම් එකී බොරු සාක්‍ෂි දුන් තැනැත්තාට ද මරණ දඬුවම හිමිය. කිසියම් කෙනෙකුගේ පෙළඹවීම මත සියදිවි නසා ගැනීමක්‌ සිදු වූයේ නම් එම පෙළඹවීම කළ අයට ද මරණ දණ්‌ඩනය හිමිය.

3. මරණයකින් කෙළවර නොවන ස්‌ත්‍රී දූෂණයක්‌ කළ අයට මරණ දණ්‌ඩනය හෝ ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් හිමිය. පැහැර ගැනීම්, කප්පම් සඳහා පැහැර ගැනීම් සහ නීති විරෝධී ලෙස රටකින් රටකට පුද්ගලයන් ප්‍රවාහනය කිරීම ද ඉහත දඬුවම්වලට යටත් ය.

මිනී මැරුමකින් තොරව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, හෙරොයින්, කොකේන්, මෝෆින් සහ අබිං ළඟ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීමට මරණ දණ්‌ඩනය හෝ ජීවිතාන්තය දක්‌වා වූ සිරදඬුවම් හිමිය.

5. රාජෙද්‍රෝහීත්වයට මරණ දඬුවම හිමිය.

6. ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අර්ථකථනය කරන පරිදි ත්‍රස්‌තවාදය මරණ දඬුවම හිමි වරදකි.

වරදකදී මරණ දඬුවම හිමි නමුත් එයින් නිදහස්‌ වන අය මෙසේය.

1. අපරාධය කරන අවස්‌ථාවේදී අවුරුදු 18 ට අඩු වීම

2. ගර්භණී මාතාවන්

3. මානසික ආබාධ ඇති අය

එල්ලුම් ගහේ ඉතිහාසය සොයා ගැනීමට බැරිය. මධ්‍ය කාලීන යුගයේත්, එයට පෙරත් , ක්‍රිස්‌තු පූර්වයේත් එල්ලුම් ගස්‌ තිබිණ. ඉංග්‍රීසි බසින් එල්ලුම් ගස හඳුන්වන්නේ Gallows යනුවෙනි. මෙය ආදී ජර්මන් භාෂාවට අයත් යන Gallgo වචනයෙන් බිඳී ආවකි. එහි තේරුම උස කණුව, දිග කූර, ගසක අත්ත යනාදිය ය. ඒ අනුව එල්ලුම් ගස්‌ භාවිතය මුලින්ම සිදු කරන්නට ඇත්තේ ජර්මනිය අවට යුරෝපීය ප්‍රදේශවල විය හැකි බව පැහැදිලිය. ක්‍රිස්‌තු පූර්වයට පෙර යුගයේ එල්ලුම් ගස සාදන ලද්දේ ගසක තිබෙන උස්‌ වූ, දිගු වූ ද අත්තක්‌ දෙතුන් දෙනකු එක්‌ වී බලහත්කාරයෙන් පහත් කර එහි තොණ්‌ඩුවක්‌ ගැට ගැසීමෙනි. ඉන් පසු එල්ලීමට නියමිත පුද්ගලයා ගෙනවුත් ඔහුගේ ගෙල එම තොණ්‌ඩුවට රිංගවා ගැටය හිරකර අත්ත අත්හරිනු ලැබේ.. එවිට අධික වේගයෙන් අත්ත ඉහළ යන අතර තොණ්‌ඩුවට ගෙල හිරකළ පුද්ගලයාගේ උගුරු ඇටය සහ ග්‍රීව අස්‌ථිය කැඩී යයි. එයින්ම මරණය සිදුවෙයි.

ඉංග්‍රීසි ආණ්‌ඩු කාලයේදී මරණ දණ්‌ඩනය ක්‍රියාත්මක කරන විට එල්ලුම් ගස හරි හැටි වැඩ නොකළොත් එල්ලීමට නියමිත පුද්ගලයා නිදහස්‌ කරනු ලැබේ. එහෙත් පසු කාලයේදී එම සම්ප්‍රදාය අවලංගු කර අදාළ පුද්ගලයා එල්ලී මියයන තුරුම එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීම සිදුවිය.

-Divaina