ජනවාරි අට පෙරළියෙන් දෙමළ සන්ධානය බලාපොරොත්තු වන දේ

0
840
Northern-Provincial-Council

පැවැති මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව සහ වර්තමාන සිරිසේන – වික්‍රමසිංහ පාලනය යුද අපරාධ චෝදනා සහ වගවීම සම්බන්ධයෙන් තම තමන්ගේ ක්‍රියාදාමයන් පිළිබඳව ගැඹුරින් සිතා බැලිය යුතුය.

හිටපු ජනපතිවරයාට ලැදි ඒකාබද්ධ විපක්‍ෂය ජනවාරි 15, 2015 පෙර, එම රජය යුද අපරාධ චෝදනා සහ වගවීම සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳව අනිවාර්යයෙන්ම පසු විපරමක්‌ කළ යුතුමය. එම රජය පරාජය වී වසර 1 1/2 ගතවී ඇතත් එම කණ්‌ඩායම (පොදු විපක්‍ෂය) සහ විදේශීය අතපෙවීම්වලට එරෙහි රටට හිතැති සංවිධාන පවා සිදුවූ අඩුපාඩු පිළිබඳව පසු විපරමක්‌ කරන බව නොපෙනේ.

මෙම තත්ත්වය ඉතාම කනගාටුදායකය.

යෝජිත අධිකරණ ක්‍රියාවලිය මොනයම් මුහුණුවරක්‌ ගත්තත් ඊට මුහුණදීමට අවැසි කරුණු කාරණා පෙළගස්‌වන බවක්‌ අදටත් නොපෙනේ. දැනට සිදුවන්නේ රජය කරනු ලබන මේ සම්බන්ධ සියලු යෝජනා ප්‍රතික්‌ෂේප කිරීම පමණි.

ශ්‍රී ලංකාව අනුගමනය කළ අනුමත ක්‍රියාදාමය හේතුවෙන් අද රට බරපතළ අර්බුදයකට මුහුණදී ඇත.

මෙම තත්ත්වයට ප්‍රධානතම හේතු සාධක වන්නේ බටහිර අවශ්‍යතා නියෝජනය කරන ඇමරිකානු රජය අසල්වැසි ඉන්දියාව සහ ආර්. සම්බන්ධන් මහතාගේ දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පැහැදිළි දැනුමක්‌ නොමැති බවය. එලෙසම දෙමළ ජාතික සන්ධානයත් යුරෝපය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන ගෝලීය ද්‍රවිඩ සංසදය අතර ඇති ඉතා කිට්‌ටු සම්බන්ධතාවද මෙම තත්ත්වයට ප්‍රබල බලපෑමක්‌ කරයි. ඒ පිළිබඳවද ශ්‍රී ලංකාව අවධානයෙන් කටයුතු කරන බවක්‌ නොපෙනේ.

දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් ජුනි මස 14, 2016 ඇමරිකානු කොංග්‍රස්‌ මණ්‌ඩලය ඉදිරියේදී එම්. ඒ. සුමන්තිරන් මහතා ඉතාම පැහැදිළි ප්‍රකාශයක්‌ ලංකාවේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් ප්‍රකාශ කළේය. නමුත් කුමක්‌දොa අවාසනාවකට රජය , පොදු විපක්‍ෂය සහ බටහිර මැදිහත්වීම්වලට එරෙහි කණ්‌ඩායම් සුමන්තිරන් මහතාගේ ප්‍රකාශය අධ්‍යයනය කළ බවක්‌ පෙනෙන්නේ නැත.

ඇමරිකාවේ සිටින ශ්‍රී ලංකාවේ ඉහළම නියෝජිතයා වන ප්‍රසාද් කාරියවසම් තානාපතිතුමා පසෙකින් තබාගෙන කරනා ලද එම ප්‍රකාශයේ පිටපතක්‌ ද්‍රවිඩ ජාතික සංධානය මෙම ලියුම්කරුට ඊට දින දෙකකට පසුව ලබාදෙන ලදී.

යාපන දිස්‌ත්‍රික්‌ පා. මන්ත්‍රී සහ ද්‍රවිඩ ජාතික පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සුමන්තිරන් මහතා නව රජය පසුගිය අගෝස්‌තුවේ බලයට පත්වූ පසු ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් කරනා ලද සම්පූර්ණ ප්‍රකාශය ලෙස මෙය සැලකිය හැකිය. එම තත්ත්වය සම්බන්ධයෙන් කිසිවෙකුටත් ප්‍රශ්නයක්‌ තිබිය නොහැක.

සුමන්තිරන් මන්ත්‍රීවරයා තම දීර්ඝ ප්‍රකාශය ආරම්භයේදීම කොන්ග්‍රසයට මතක්‌ කර දුන්නේ එවකට ජනපති රාජපක්‍ෂ තම බලය ව්‍යාප්තකර ගැනීමට සහ දිගටම ජනපති තනතුරේ රැඳී සිටීමට 18 වැනි සංශෝධනය ගෙන ඒම පිළිබඳවයි. රට තනි පාලනයකට තල්ලු වීමට එම ක්‍රියාදාමය හේතුවූ ආකාරය පිළිබඳව එම මන්ත්‍රීවරයා පැහැදිළි කර දුන්නේය. ජනපති රාජපක්‍ෂ ගෙනා 18 වැනි සංශෝධනය මගින් තමන්ට නැවත වරක්‌ ජනපති තරගයට ඉදිරිපත් වීමේ අවස්‌ථාව ලබාගැනීම හේතුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවන මරු පහර පිළිබඳව සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. එහි කිසි වැරැද්දක්‌ නොමැත. තුන් වරක්‌ ජනපතිවීමේ අවස්‌ථාව කිසිවෙකුට දිය යුතු නැත. වර්තමාන ජනපති තමන්ට හිමි වසර හයක කාලය 19 වැනි සංශෝධනය හරහා වසරකින් අඩුකර ගැනීම අගය කළ යුත්තේ එබැවිනි.

ඇත්ත වශයෙන්ම ද්‍රවිඩ ජාතික සන්ධානයේ නොවෙනස්‌ ස්‌ථාවරය සම්බන්ධයෙන් සුමන්තිරන් මන්ත්‍රීවරයා කරන ලද පැහැදිළි කිරීම පිළිබඳව එම පක්‍ෂයට ස්‌තුති විය යුතුය.

ද්‍රවිඩ කතා කරන ජනතාවට මහා බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාවට නිදහස ලබාදීමෙන් පසු මුහුණදීමට සිදුවූ අසාධාරණකම්වලට පැවැති සියලු පාලනයන්ට චෝදනා කළ සුමන්තිරන් මන්ත්‍රීවරයා ජනවාරි 15, 2015 වෙනසින් පසුව පැවැති තත්ත්වය වෙනස්‌ කිරීමට හැකියාවක්‌ ඇතිවූ බවත් එම කටයුතු වේගයෙන් කරගෙන යැමට නොහැකි වී ඇති ප්‍රධානතම හේතු දෙක පෙන්වා දීමටත් අවස්‌ථාවක්‌ කරගත්තේය.

එනම් 1. පවතින ඒකීය රාජ්‍ය සංකල්පය වෙනස්‌ කර ෙµඩරල් පාලනයකට යැමයි.

2. උතුරු සහ නැගෙනහිර පළාත් 2 ක (අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, වවුනියාව, මන්නාරම, මුලතිව් සහ යාපනය යන පරිපාලන දිස්‌ත්‍රික්‌ක) එක පළාතක්‌ ලෙස පිළිගැනීම. ලාල් විඡේනායක කොමිටිය මොනයම් ප්‍රකාශ යෝජනා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් කළත්, එම සාකච්ඡාවල නිරත ප්‍රධාන පාර්ශ්වකරුවෙකු වන ද්‍රවිඩ ජාතික සන්ධානය තමන්ගේ ප්‍රධානතම යෝජනා/ ඉල්ලීම් ලෝක බලවතා හරහා ලංකාවට ඉදිරිපත් කර හමාරය.

සුමන්තිරන් මහතා ඉතාම පැහැදිළිව ප්‍රකාශ කළේ උතුරු, නැගෙනහිර පළාත් දෙක එකතු කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ ද්‍රවිඩ නායකයන් අතරදී එකඟතාව ඇතිකර ගත්තේ 1957 බවය.

මෙහිදී සුමන්තිරන් මන්ත්‍රීවරයා නවදිල්ලිය මැදිහත්වී 1987.7.29 දින එවකට ජනපති ඡේ. ආර්. ජයවර්ධන රජය මත පැටවූ ඉන්දු – ලංකා ගිවිසුම හරහා ක්‍රියාත්මක කරන ලද 13 වැනි සංශෝධනය මගින් ලබාදුන් පළාත් පාලන ක්‍රමය කිසිම තේරුමක්‌ නැති බලය බෙදීමේ ක්‍රියාදාමයක්‌ ලෙසද හැඳින්වීය.

සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉන්දියානු මැදිහත්වීම අවතක්‌සේරුකර ඇති බව ලියුම්කරුගේ හැඟීමයි. ඉන්දියානු මැදිහත්වීමක්‌ නොවන්නට ත්‍රස්‌තවාදී කොටි සංවිධානය 1987 ජුනි – ජුලි වනවිට ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවලට විනාශ කර දැමීමේ ශක්‌තිය තිබිණි. එම මැදිහත්වීම නොවුණානම් කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කණ්‌ඩායම විනාශ වන්නේ යාපන අර්ධද්වීපයේ බොහෝ විට වඩමාරච්චි කලාපයේදීය. ඒ ජුනි – ජුලි 1987 දීය.

ද්‍රවිඩ ජාතික පෙරමුණ වෙනුවෙන් සුමන්තිරන් මන්ත්‍රීවරයා ව්‍යවස්‌ථාවක්‌ හෝ ව්‍යවස්‌ථා වෙනස්‌කම් මගින් රටේ මූලික ව්‍යqහය වෙනස්‌ කිරීම තම අවශ්‍යතාවය තම ජනතාවගේ අවශ්‍යතාවය බව ප්‍රකාශ කර ඇත. එලෙසම එම ප්‍රධාන ව්‍යවස්‌ථා වෙනස්‌කම්වලට සමගාමීව හතරවන ඊළාම් යුද්ධය සම්බන්ධයෙන් යුද අපරාධ චෝදනා ඇතිවූ ආකාරය පිළිබඳව වගවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනා පිළිවෙත සඳහන් කර ඇත.

සුමන්තිරන් මන්ත්‍රීවරයා තමන්ට වාසිදායක ලෙස දෙමළ ජාතික සන්ධානය කොටි ත්‍රස්‌තවාදීන් සමඟ ඉතාම සහයෝගයෙන් 2001 සිට ක්‍රියාකළ ආකාරය අමතක කරදමා ඇත. හතරවැනි ඊළාම් යුද්ධය පටන් ගැනීමට පෙර කොටි සංවිධානය ‘ද්‍රවිඩ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පිළිගෙන’ යුද්ධයට අවශ්‍ය අඩිතාලම දමා දුන්නේ දෙමළ ජාතික සන්ධානයයි. එවකට නීතිඥ සුමන්තිරන් එම සන්ධානයේ ප්‍රබලයකු නොවූ අතර කොටි සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර තිබෙන ඉතා කිට්‌ටු සම්බන්ධය පිළිබඳව 2004 ජුනි – ජුලි යුරෝපීය මැතිවරණ නිරීක්‍ෂණ කණ්‌ඩායම හෙළි කළේය. 2004 අප්‍රේල් මස පැවැති මහ මැතිවරණය සම්බන්ධන් මහතාගේ නායකත්වයෙන් දෙමළ ජාතික සන්ධානය උතුරු – නැගෙනහිර පහසුවෙන් ජයගත්තේ කොටි ත්‍රස්‌තවාදීන් ඡන්දය ලබාදෙන ජනතාවට කළ බලපෑම් හේතුවෙන් බව පෙන්වා දුන්නේය.

ද්‍රවිඩ සහ සිංහල මාධ්‍ය මෙම යුරෝපීය සංගමය කළ චෝදනා පළකළේ නැත. ද අයිලන්ඩ් පුවත්පතට මෙම ලියුම්කරු කීපවරක්‌ මෙම යුරෝපීය වාර්තාව පදනම් කරගෙන වාර්තා සැපයුවත් එවකට රජය හෝ මැතිවරණ කොමසාරිස්‌ කාර්යාලය ඒ පිළිබඳව තැකීමක්‌ කළේ නැත. කොටි ත්‍රස්‌තවාදීන්ගේ දේශපාලන ශක්‌තිය වූ ද්‍රවිඩ ජාතික සන්ධානය අද සියල්ල අමතක කර තමන්ද දායක වූ එම යුද්ධයේ සම්පූර්ණ වගකීම පැවැති රජය සහ ආරක්‍ෂක හමුදා මත පැටවීමේ කාර්යයේ නිරතවී සිටී. සාමය සහ සංහිඳියාව ගැන කතා කරයි. පැවැති රජය අදටත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ මෙම දෙබිඩි පිළිවෙත බධාවන්ගෙන් තොරව කරගෙන යැමට ඉඩ සලස්‌වා ඇත.

ඡායා කැබිනට්‌ මණ්‌ඩල පත්තර තමන්ට අදටත් රටේ අවශ්‍යතාවය කුමක්‌දැයි තේරුම් බේරුම් කර ගැනීමට ඇති නොහැකියාව පෙන්වයි.

එවැනි තත්ත්වයන් තුළ යහපාලන රජය, ඇමරිකාව සහ ද්‍රවිඩ ජාතික සන්ධානය 2015 ශ්‍රී ලංකාවේද කැමැත්ත ඇතිව අනුමත කරන ලද ජිනීවා යෝජනාවලිය සම්බන්ධයෙන් එකඟතාවට පැමිණි බවත්, එහිදී විදේශීය විනිසුරුවන් යෝජිත යුද අධිකරණ ක්‍රියාවලියට ඇතුළත් කර ගැනීම ශ්‍රී ලංකාවේ පවතින ව්‍යවස්‌ථාවට පටහැනි නොවන බවත් එලෙසම එම එකඟතා කිසි ලෙසකින් වෙනස්‌ කළ නොහැකි බවත් පවසා තිබීම ඉතාම ගැඹුරින් අධ්‍යයනය කළ යුතුය.

සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසන ආකාරයට දෙමුහුන් අධිකරණයට පාර්ශ්ව තුනේම කැමැත්ත ලැබී ඇත. ජිනීවා යෝජනාවලිය ඉදිරිපත් කළේ එම එකඟතාව මත බව සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසා ඇත. අද වනතුරුත් එම ප්‍රකාශය ඇමරිකාව හෝ ද්‍රවිඩ ජාතික සන්ධානය ප්‍රතික්‌ෂේප කර නැත.

මෙම බරපතළ ප්‍රකාශය කරන විට සුමන්තිරන් මන්ත්‍රීවරයාට පසෙකින් වාඩිවී සිටි ප්‍රසාද් කාරියවසම් ද එවැනි ප්‍රකාශයක්‌ නොවුණ බව පවසා නැත.

සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ පැවැති රාජපක්‍ෂ රජය වෙනස්‌ කිරීම තුළින් පමණක්‌ තමන්ට සෑහීමකට පත්වීමට නොහැකි බවය. 2015 ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී තමන්ගේ සහයෝගය ලබාගත් යහපාලන පාලකයන් තම මූලික ඉල්ලීම් ලබාදිය යුතු බව මතක්‌ කර දී ඇත. එම ස්‌ථාවරය ඇමරිකන් කලාපීය සහ ගෝලීය අවශ්‍යතා සමඟ පෑහේදැයි අධ්‍යයනය කළ යුතුමය. යෝජිත යුද අපරාධ පරීක්‍ෂා කිරීමේ යාන්ත්‍රණය ඇමරිකානු අවශ්‍යතාවලට යටත්ව ඇතිකර ගැනීමට අදාළ පාර්ශ්වවලට සිදුවිය හැක.

– Divaina