අවුරුද්දට, මරණෙට, මඟුලට තාමත් අරක්‌කු ඕනෑද?

0
1560

කොහොමද? අවුරුද්ද සරුද? පිරිමි අයකුගෙන් විමසුවහොත් බොහෝ දෙනා සිතන්නේ අවුqරුද්දේ සරු බව යනු මත්පැන් සාද පවත්වා අවුරුදු සැමරීම යෑයි කියාය. ඒ නිසා අවුරුද්දේ සරු බව ඔවුන් පවසන්නේ අවුරුදු දිනවල පානය කළ මත්පැන් වර්ග සහ මත්පැන් බෝතල් ගණන පිළිබඳව හෙළි කරමිනි.

මත්පැන්වලට ඇතැම් දෙනාගේ ඇති ඇබ්බැහිවීම් දැක බලා ගත හැක්‌කේ යම් යම් උත්සව අවස්‌ථාවලදී සුරාසැල් වසන බවට සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළ විටදීය. සුරාසල් වසන දිනයට පෙර දිනයේ බොහෝ සුරාසල් ඉදිරිපිට දිගු පෝළිම් දැකිය හැකිය.

එක්‌ දිනක්‌ හෝ මත්පැන් නොබී සිටීමට බැරි දැයි කියා මෙවැනි පිරිස්‌ දකින විට සිතට නැඟේ.

මත්පැන් පානය පිළිබඳව සමීක්‍ෂණයක්‌ කළ ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨ මනෝ වෛද්‍යවරයෙක්‌ මෙන්ම මත්පැන් පානයට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කරනු ලබන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝ වෛද්‍ය විශේෂඥ රනිල් අබේසිංහ මහතා පවසන්නේ එක දවසක්‌ හෝ මත්පැන් නැතිව සිටිය නොහැකි පුද්ගලයන් මානසික රෝගීන් බවය.

මොවුන්ට මත්පැන් නැති වූ විට නින්ද නොයයි. අත් වෙවුලයි. බියකරු සිහින පෙනේ.

මෙලෙස මත්පැන්වලට ඇබ්බැහි වීමට බලපාන ජාන වර්ග පහක්‌ ඇති බව ද විශේෂඥ වෛද්‍යතුමන් හඳුනාගෙන ඇත.

මෙවැනි පුද්ගලයන්ට මත්පැන් පානය සඳහා දැඩි පෙරේතකමක්‌ ඇති වේ. එහිදී ඔවුනගේ මොළයේ ඇති accumbens නමින් හඳුන්වන න්‍යෂ්ඨිය මගින් මත්පැන් හෝ මත් ද්‍රව්‍ය ගැනීමට දිරිමත් කරයි.

මෙවැනි පුද්ගලයන් උත්සවවලට මඟුල් ගෙවල්වලට, මළගෙවල්වලට, වන්දනා ගමන්, විනෝද ගමන් සඳහා සහභාගි වන්නේ මත්පැන් පානය ප්‍රධාන අරමුණ කරගෙනය.

මත්පැන් පානයට ඇබ්බැහි වීම

මත්පැන් පානයට යොමු වීම ආකාර තුනකට සිදු වේ. පළමුවැන්න සාද වලදී සුළු ප්‍රමාණයක්‌ මත්පැන් ගැනීමය. (Social Drinking) දෙවැන්න දිනපතා මත්පැන් පානයයි. තෙවැන්න මත්පැන් පානයට ඇබ්බැහි වී ඉන් ගැලවීමට නොහැකිව දිනපතා විශාල ප්‍රමාණයක්‌ මත්පැන් පානය කිරීමය. දෙවැනි සහ තෙවැනි ආකාර අහිතකර මත්පැන් පානය ලෙස හඳුන්වනු ලැබේ.

මත්පැන් ටිකක්‌ ගත්තාට වරදක්‌ නැතිද?

වර්තමානයේ බොහෝ දෙනා මත්පැන් පානයට යොමු වීමේදී පවසන්නේ මම ගන්නේ ‘ටිකක්‌’ යෑයි කියාය. මෙම මත්පැන් ටිකක්‌ යනු කෙතරම් ප්‍රමාණයක්‌ දැයි කියා ලොව පුරා අත්හදා බලා තිබේ.

මත්පැන් ඒකකයක්‌ යනු ශුද්ධ මද්‍යසාර මිලි ලීටර 10 කටය. එනම් 32% සැර මත්පැන්වල මිලි ලීටර් 30 ක ඒකකයක්‌ ඇත.

දිනකට පිරිමි පුද්ගලයකු මත්පැන් ඒකක තුනක්‌ ඉක්‌මවා පානය කළහොත් එනම් අරක්‌කු අරික්‌කාලක්‌ (මිලි ලීටර් 90) හෝ කාන්තාවක දිනකට මත්පැන් ඒකක දෙකක්‌ (මිලි ලීටර් 60) ඉක්‌මවා පානය කළහොත් ඔවුන් අහිතකර මත්පැන් පානයට ඉතා පහසුවෙන් ගොදුරු විය හැකියි.

බියර් සහ රා බෝතලයක්‌ යනු මත්පැන් ඒකක තුනකි. සැර බියර් බෝතලයක මත්පැන් ඒකක පහක්‌ ඇත. එම නිසා අප ගනු ලබන මත්පැන් ‘ටිකක්‌’ යන ප්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතුය.

මත්පැන් පානයෙන් ඈත් වන්නේ කෙසේද?

වර්තමානයේ බොහෝ තරුණයන් පවසන්නේ තම බේබදු යහළුවන් නිසා තමුනට ද මත්පැන් පානයෙන් ඈත්විය නොහැකි බවය. ඇත්තටම එය තම බේබදු යහළුවන් නිසා නොව තම ජානවල බලපෑමය. තම පවුලේ තොරතුරු විමසා බැලුවහොත් පියා මව, මත්පැන් පානය කරන්නේ නම් දරුවන් තුළ ද මත්පැන් පානයට යොමුවීමේ ජාන පිහිටා තිබේ. ඒ නිසා ඔවුන් ඉතා පහසුවෙන් මත්පැන් පානයට යොමුවිය හැකිය. ඔවුන් මත්පැන් පානයෙන් ඉවත් විය යුතු නම් ඉඳහිට හෝ මත්පැන් පානයට යොමු නොවී සිටිය යුතුය.

මත්පැන් පානයේ ආදීනව

මත්පැන් යනු සෞඛ්‍ය සම්පන්න පානයක්‌ නොවේ. රෝග රැසකට බලපායි. සිරෝසිස්‌, විෂාදය, ස්‌නායු අඩපණවීම, බඩවැල් ආශ්‍රිත පිළිකා හට ගැනීම සඳහා මත්පැන් සෘජු බලපෑමක්‌ ඇතිකරයි.

එසේම මත්පැන් පානයෙන් පසු ඇතිවන ස්‌නායු අඩපන වීම නිසා ඉතා පහසුවෙන් අනතුරුවලට ලක්‌විය හැකිය. ලිංගික බෙලහීනතාවය මතුවිය හැකිය.

මෙවර උදා වූ සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ මත්පැන් අලෙවිය 17% කින් අඩු වී ඇතැයි ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න මහතා සිය සමීක්‍ෂණ වාර්තාවක්‌ මගින් අනාවරණය කර තිබුණි.

ඊට ප්‍රධාන ලෙස බලපා ඇත්තේ මත්පැන්වල ආදීනව වෛද්‍යවරුන් විසින් ජනතාව දැනුවත් කිරීම සහ මත්පැන් වල මිල ගණන් ඉහළ යැම බව හෙතෙම සිය සමීක්‍ෂණ මගින් හෙළි කර ගෙන තිබිණි.

වත්මන් රජය ද මතට තිත සංකල්පය ක්‍රියාත්මක කිරීමට දැඩි උත්සාහයක නිරත වේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද සිය උත්සවවලදී මත්පැන් සංග්‍රහ කිරීම් අත්හිටුවා ඇත. එය ඉතා කාලෝචිතය. මත්පැනට යොමුවීමට ඇති එක්‌ අවස්‌ථාවක්‌ හෝ ඉන් මඟහැරේ.

අප රට තුළ මත්පැන් පානය අඩු කිරීමට කළ යුතු එක්‌ කටයුත්තක්‌ ලෙස මනෝ වෛද්‍ය විශේෂඥ රනිල් අබේසිංහ මහතා පවසන්නේ මත්පැන් පානය සම්බන්ධව පවතින ආකල්ප වෙනස්‌ කළ යුතු බවය.

එනම් බටහිර රටවල මිනිසුන් වයින් වර්ග බියර් වර්ග පානය කරන්නේ මත්වීමට වඩා ඒවායේ ඇති රසයට සහ සාන්ද්‍රණය අඩු බව නිසාය. එනිසා ඔවුනට අවශ්‍ය මත්වීම නොව ඉන් යම් වින්දනයක්‌ ලබා ගැනීමය. නමුත් අප රටේ බොහෝ ඉතා මත්පැන් පානය කරන්නේ වින්දනයට නොව මත් වීමටය. එය වඩාත් සරලම පැවසුවහොත් වෙරි වීමටය. ‘කොච්චර ගත්තත් ‘කික්‌’ එකක්‌ නැහැනේ’ කියා ඇතැම් දෙනා පවසන්නේ එබැවිනි.

‘කික්‌’ එකක්‌ සොයන පුද්ගලයාට රසයක්‌ අවශ්‍ය නැත. ඔවුනට අවශ්‍ය මත් වී සිහිය අඩපණ කර ගැනීමය. මොවුන් මත්පැන් පානයට ඇබ්බැහි වී මානසික රෝගීන් බවට පත්වූවන්ය. එනිසා ඉක්‌මනින් ‘කික්‌’ එකක්‌ සොයන පුද්ගලයන් සමඟ මත්පැන් පානය ඉතා භයානකය. එසේම ඔවුන් නිරෝගී මනසකින් යුත් පුද්ගලයන් නොවනා නිසා අනතුරු ද සිදුවිය හැකිය. එවැනි පුද්ගලයන් සමඟ මත්පැන් පානයට යොමු නොවී ඔවුන් මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ හැකි නම් ඔවුන් සමඟÊමත්පැන් පානය මගින් පතන සතුටට වඩා සතුටක්‌ මනසට ලබා ගත හැකිය. එය මතට තිත තැබීමේ එක්‌ පියවරක්‌ ද වනු ඇත.

උපාලි ද සේරම්
– Divaina