රිය පැදවීමේ හිසරදයෙන් ඔබ නිදහස් කරන ස්වයංක්‍රීය මෝටර් රථ ගැන අපූරු තොරතුරු ටිකක්

0
551

මෝටර් රථ කියන්නෙ අද කාලෙ ලොකුම විලාසිතාවක් බව ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් ‍නෙවෙයි. මේ කාලෙ උදවියගේ ජීවිතයේ ලොකුම හීනවලිනුත් ලොකුම එකක් තමයි කවද හරි තමුන්ගෙම  කියල කාර් එකක් අයිති කරගන්න එක. ඒ නිසා මෝටර් රථවල අනාගතය ගැන කියවෙන මේ විස්තරයත් කාටත් වැදගත්, රසවත් එකක් වේවි.

අනාගතයේදී මෝටර් රථවල ලොකුම විලාසිතාව වනු ඇත්තේ රියැදුරෙකු වුවමනා නොවන, එහෙමත් නැත්නම් පැදවීමට අවශ්‍ය නොවන, ස්වයංක්‍රීය (self driven) මෝටර් රථ බව අද හුඟ දෙනෙක් දන්නා කාරණාවක්. කාර්යබහුල වේලාවල, වාහන තදබදයෙන් පිරිච්ච පාරවල්වල වාහනයක් පදවගෙන යනව කියන එක මොන තරං ඔළුවෙ කැක්කුමක්ද කියල දන්න උදවියට මේක ඉතාම සැනසිලිදායක ආරංචියක් බව අමුතුවෙන් කියන්න දෙයක් ‍නෙවෙයි.  පැදවීමට අවශ්‍ය නොවන, ස්වයංක්‍රීය මෝටර් රථ තව වැඩි කාලයක් නොගිහින්ම පුළුල් පරිමාණයෙන් වෙළෙඳ ‍පොළට හඳුන්වා දෙන්නට හැකි වනු ඇති බව තමයි මෝටර් රථ නිෂ්පාදකයන් කියන්නෙ. පරිගණක ගත කළ කැමරා, ජී.පී.එස් තාක්ෂණය, පරිසරය තේරුම්ගත හැකි සියුම් සංවේදක (ඵඥදඵධපඵ) ආශ්‍රයෙන් තමයි මේ මෝටර් රථ ක්‍රියාත්මක වෙන්නෙ. අපිට තියෙන්නෙ වාහනයට ගොඩවෙලා සනීපෙට වාඩි වෙලා අපේ වැඩක් බලාගෙන යන එක විතරයි.

මේ ස්වයංක්‍රීය වාහන සුලබ වුණු දවසක අපේ මුළු ජීවිත රටාවන්ම වෙනස් වෙන්න පුළුවන් ආකාරය ගැනත් මේ දවස්වල නොයෙකුත් තොරතුරු මාධ්‍යවල පළවෙනවා. අද අපිට කරන්න සිද්ධවෙලා තියෙන බොහෝ වෙහෙසකර කටයුතුවලින් අපි නිදහස් කරන්න මේ ස්වයංක්‍රීය මෝටර් රථවලට පුළුවන් වනු ඇති බව මේ අනාගතවාදීන් පෙන්වා දෙනවා. සමහරවිට මේ මෝටර් රථ තනිවම සාප්පු ගිහින් අපිට වුවමනා බඩු මුට්ටු අරන් එනු ඇති බවත්, දරුවන් පාසල් රැගෙන යාම, ආපසු නිවසට කැඳවාගෙන ඒම ඔවුන් විසින්ම තනිවම ඉටු කරනු ඇති බවත් ඇතැමුන් පෙන්වා දෙනවා. මේක නම් අපේ අඹු සැමියන්ට වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ සහනයක් වනු ඇති බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.

ඒ වගේම අපිට මෝටර් රථයට ඉන්ධන ගහන්න පෙට්‍රල් ෂෙඩ් ගානෙ නතර කරන්න ඕන වෙන්නෙත් නැහැ. ඒ වනවිට මෝටර් රථ වැඩි හරියක් විදුලි බලයෙන් ක්‍රියාකරන ඒවා බවට පත්ව තිබෙනු ඇති බවත්, මෝටර් රථය නතර කර ඇති අවස්ථාවල එය ඉබේම සිය බැටරි චාජ් කරගනු ඇති බවත් තමයි පැවසෙන්නෙ. මේකත් වාහන අයිති උදවියට මොනතරම් සහනයක්ද කියන එක රහසක් ‍නෙවෙයි.

අනෙක් කාරණාව තමයි වාහන ගාල් කිරීමේ, එහෙම නැත්තං ‘පාක්’ කිරීමේ හිසරදය. අද කාලෙ ජනාකීර්ණ නගරයක වාහනයක් ගාල් කරන එක මොනතරම් කරදරකාරී වැඩක් ද කියන එක රියැදුරන් කාටවත් අලුතෙන් කියල දෙන්න දෙයක් ‍නෙවෙයි. නමුත් ඉබේ පැදවෙන ස්වයංක්‍රිය වාහන පාවිච්චි කරන කොට මේක තවදුරටත් ඔළුවෙ කැක්කුමක් වෙන්නෙ නැහැ. මොකද වාහනය අපිව අපිට ඕන තැන බස්සවල එයා තනියම ගිහිං ඒ සඳහා වෙන් කර ඇති තැනක ‘පාක්’ කරගන්න නිසා. අපිට තියෙන්නෙ අපේ වැඩේ ඉවර වුණාට පස්සෙ ආපහු එයාට එන්න කියල සංඥාවක් යවන එක විතරයි. මේ වගේ හිතන්නවත් බැරි විදියට අපේ ජීවිත පහසු කරන්න මේ ස්වයංක්‍රීය මෝටර් රථවලට හැකි වනු ඇති බවයි ඒ පිළිබඳ විශේෂඥයන් පෙන්වා දෙන්නෙ.
මේ ස්වයංක්‍රීය වාහන ආපුවම අපේ විවේක කාලය හා අපිට වෙන වැඩක් කරගන්න තියෙන කාලය විශාල වශයෙන් වැඩිවෙන්න තියෙන ඉඩ වැඩියි. හැම එකටම අපිම වාහනය පදවගෙන යන්න අවශ්‍ය නැති නිසා ඒ කාලය අපිට ගෙදරට වෙලා හරි, කන්තෝරුවට වෙලා හරි අපේ වැඩකට යොදන්න පුළුවන්. ඒ වගේම වාහනයේ යන අතරතුර වුණත් අපේ වැඩක් කරගන්න හරි, හොඳ නින්දක් හෝ හොඳ කල්පනාවක්  දාගෙන යන්න හරි අපිට නිදහසක් ලැබෙනව.

ස්වයංක්‍රීය මෝටර් රථ නිසා ලොකුම වාසියක් අත්පත් වෙන කට්ටියක් තමයි විවිධ ආබාධිත තත්ත්වයන්ගෙන් පීඩා විඳින  (disabled) පිරිස. මේ අයට තවදුරටත් වාහනයක් හිමිකරගැනීම බොරු වැඩක් කියල හිතන්න ඕන වෙන එකක් නැහැ. මොනම විදියක ශාරීරික ආබාධයක් තිබුණ වුණත් ඔවුන්ව නිරුපද්‍රිතව ඔවුන්ට ඕන කරන තැන්වලට අරගෙන යන්න මේ මෝටර් රථවලට පිළිවන්. මේ විදියට බැලුවම මේ ජාතියේ වාහන මානුෂික වශයෙනුත් ලොකු සේවයක් ඉටු කරන තාක්ෂණයක් බවට පත් වේවි.

හැබැයි  වාහනය පදවන කරදරයෙන් අපි නිදහස් වුණාම ඇති වෙන පහසුව නිසා අදට වඩා වැඩි පිරිසක් නිතරම, ඕන එකටයි එපා එකටයි හැම එකටම වාහනවල එහා මෙහා යන්න පටන් ගනියි කියන බයත් මේ අනාගතවාදීන් තුළ නැත්තෙ නෑ. මේ නිසා පාරවල වාහන තදබදය වැඩිවීමේ අනතුරක් තියෙනවය කියන කාරණය ගැනත් සාකච්ඡා කෙරෙනව. හැබැයි ඒ කාරණාවෙ නං ඇත්තක් නැහැ කියලම කියන්නත් බැහැ තමයි.

(කිත්සිරි මල්වත්ත)
– Lakbima