වකුගඩු ආධාර දෙන්න ලිංගික අල්ලස් ඉල්ලූ දිවිනැගුම නිලධාරී

0
877

රාජ්‍ය ආයතනවල මෙන්ම පෞද්ගලික ආයතනවල ප්‍රසිද්ධියේත් අප්‍රසිද්ධියේත් ලිංගික අල්ලස් ගැනීම කවුරුත් දන්නා ප්‍රකට රහසකි. බඳවාගැනීම්, පත්කිරීම්, උසස්වීම්, ස්ථාන මාරුවීම් සඳහා වැඩිවශයෙන් ලිංගික අල්ලස් ඇතැම් ඉහළ නිලධාරීන් ලබා ගන්නා අතර එවැනි අල්ලස් ලබාගන්නා නිලධාරීන් අල්ලස් කොමිසමට කොටුවුණූ අවස්ථාද නැතුවාම නොවේ.
අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළද ලිංගික අල්ලස දැන් පිළිකාවක් ලෙස පැතිර ගොස් හමාරය. ඇතැම් ජනප්‍රිය පාසල්වල විදුහල්පතිවරුන්ගේ සුරතලියන් බවට පත්වූ ගුරුවරියන්ද නැතුවාම නොවේ. ඇතැම් විදුහල්පතිවරු දරුවන් පාසලට ඇතුළත් කර ගැනීමට ඇහැට කනට පෙනෙන්නට සිටින තරුණ මව්වරුන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීම්ද කලක සිට හොර රහසේ සිදුවූවකි. අල්ලස් කොමිසම එවන් විදුහල්පතිවරු කිහිප දෙනෙක්ම පසුගිය කාලයේ අතටම අල්ලා ගන්නේ හෝටල් කාමර තුළදී ලිංගික අල්ලස් ලබා ගැනීමට සූදානම් වන මොහොතේදීමය.

‍පොලීසිය තුළද ලිංගික අල්ලසට ඇත්තේ ඉහළ තැනකි. ‍පොලිස් නිලධාරීන් නීති විරෝධී ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට වැඩිවශයෙන් ලක්වන්නේ ලිංගික අල්ලස හරහාය. ඇතැම් ‍පොලිස් නිලධාරීන් වෙනුවෙන් ජාවාරම්කරුවන් ලිංගික අල්ලස් සපයන්නේ යුරෝපීය රටවල ගණිකාවන් යොදාගෙනය. ඒ ‍පොඩි නිලධාරීන් වෙනුවෙන් නොව, ඉහළ නිලධාරීන් වෙනුවෙනි. ඒ නිලධාරීන් කවුරුන්දැයි ‍පොලීසිය ඇතු‍ලේ නම් ප්‍රසිද්ධ රහසකි. එසේම ඇහැට කනට පෙනෙන්නට සිටින පහළ ශේ්‍රණිවල ‍පොලිස් නිලධාරිණියන්ට සිය බලය යොදාගෙන ලිංගික අතවර කරන ඉහළ ‍පොලිස් නිලධාරීන්ද නැතුවාම නොවේ. එක්තරා ‍පොලිස්පතිවරයෙක් එසේ තම බලය යොදාගෙන තරුණ නිලධාරිණියක්ව සිය කාර්යාල කාමරයේ ඔඩොක්කුවේ තබාගෙන සිටි බව ‍පොලීසියේ ප්‍රසිද්ධම රහසකි.

ඇතැම් වෛද්‍යවරු රෝගී කාන්තාවන්ගෙන් පවා ලිංගික පහස ලබා ගැනීමට උත්සාහ දැරීම් ගැන පසුගිය කාලයේ ‍පොලීසි උසාවිවලින් පවා වාර්තා විය. මේ අනුව ලිංගික අල්ලස එක ක්‍ෂේත්‍රයකට සීමා වූවක් නොවන බව පැහැදිලිය. පිළිකාවක් සේ මුළු සමාජයම මේ වන විට වෙලාගෙන හමාරය.

මේ සටහන් තබන්නට යන්නේ තවත් එවන් එක් ලිංගික අල්ලසක් ගැනය. ඒ වකුගඩු රෝගී දරුවෙක්ට රජයෙන් දෙන වෛද්‍යාධාර මුදල් ගැනීමටත් එම දරුවාගේ පවුලට සමෘද්ධි ආධාර දීමටත් අවශ්‍ය කටයුතු කරදීමට අහිංසක මවකගෙන් ලිංගික අල්ලසක් ලබා ගැනීමට උත්සහ දැරීමකි. සිය දරුවා වකුගඩු රෝගයකට ගොදුරුවී අසරණව සිටි මවකගෙන් එසේ ලිංගික අල්ලස් ඉල්ලා සිටින්නේ දිවි නැගුම සංවර්ධන නිලධාරියෙකි. කතරගම ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන මෙම නිලධාරියා හතළිස් වියැති අයෙකි. ඔහු ලිංගික අල්ලස් ඉල්ලන අසරණ මව තිස්තුන් වියැතිය.

වකුගඩු රෝගී දරුවෙකුට වෛද්‍යාධාර මුදල් ලබාදීමට අවශ්‍ය කටයුතු කරදීමට පවා ලිංගික අල්ලස් ඉල්ලා සිටීමට තරම් පහත් තත්ත්වයකට වැටුණු මෙම දිවි නැගුම සංවර්ධන නිලධාරියා ලිංගික අල්ලස් ඉල්ලා සිටි සහ ලිංගික අල්ලස් ගැනීමට තැත්කළ පළමු කාන්තාව වන්නේ ඇය පමණක් යැයි විශ්වාස කළ නොහැකිය. එනමුත් අල්ලස් කොමිසමට ඒ ගැන පැමිණිලි කරන්නේ නම් ඇය පමණි. ඒ තම දරුවාට වෛද්‍යාධාර මුදල් ලබාගැනීමට ඕනෑම කැපකිරීමක් කිරීමට එම මවට සිතුනත් නැවතත් කාන්තාවකට මෙවන් පාදඩයෙකුගෙන් හිරිහැරයක් නොවන්නට වගබලා ගැනීමක් ලෙසය.

දිගින් දිගටම ලිංගික අල්ලස් ඉල්ලා කරදර කළ ඔහුට ඒ අල්ලස දෙන්නට ඇය සිය කැමැත්ත පළකරන්නේද අල්ලස් කොමිසමට ඒ ගැන පැමිණිලි කිරීමෙන් අනතුරුවය. එදා මාර්තු 21 වෙනිදාය. ඇයට ඔහු එන්නට කියන්නේ තිස්සමහාරාමය පැත්තේ හෝටලයකටය. එම හෝටලයේ කාමරයක් කල්තියා වෙන්කර ගන්නා ඔහු ඇය එනතුරු බලා සිටින්නේ ලිංගික අල්ලස ලබා ගන්නටය.

නියමිත වේලාවට ඇය හෝටලයට ආවාය. ඔහු ඇයව කාමරයට රැගෙන ගොස් දොර වසා ගත්තේය. අල්ලස් කොමිසමේ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරිගේ උපදෙසින් ඒ වන විට හෝටලය තුළ විමර්ශන අංශයේ නිලධාරීන් තැන තැන සිටියේ ස්ථානගතවය. එම නිලධාරීන් හෝටල් කාමරයට කඩාවදින්නේ නිසි වේලාවටය. ඒ ඇගෙන් ලද සංඥාවකට අනුවය. ඒ යන විට ඔහු සිටින්නේ අඩනිරුවතිනි. ඒ ලිංගික අල්ලස ලබාගැනීමට සූදානම්වය.
ඒ අනුව ලිංගික අල්ලස් ගැනීමකට සැකපිට අල්ලස් කොමිසම ඔහුව අත්අඩංගුවට ගත්තේය. අධිකරණයට ඉදිරිපත් කළ ඔහු දැන් සිටින්නේ බන්ධනාගාරගතවය. රැකියාවෙන්ද ඔහුව දැන් දොට්ට දමා හමාරය. අල්ලස් කොමිසමේ රැකවරණය මත දැන් ඇයට සිය දරුවා වෙනුවෙන් වෛද්‍යාධාර මුදල් ලබාගැනීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය වෙමින් ඇත්තේය.

අල්ලස් කොමිසම රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අල්ලස දූෂණය ගැන ලැජ්ජාව බිය පසෙකලා ඒ ගැන පැමිණිලි කරන ලෙසය. ඒ සෑම අයෙකුගේම ආරක්ෂාව රැකියා සුරක්ෂිතභාවය ගැන වගකීම අල්ලස් කොමිසම විසින් භාරගනු ඇත.

ගයාන් කුමාර වීරසිංහ
– Lakbima