කුලියාපිටිය සත්ගුණවත් විශේෂඥයෝ

0
424

ඒඩ්ස්‌ වැළඳෙන්නේ සුළඟින් බව කුලියාපිටිය පැත්තේ “විශේෂඥ තකතීරුවන්” පිරිසක්‌ සොයාගෙන තිබේ. මානව ප්‍රතිශක්‌ති ඌනතා වෛරසය (Hමප්බ ෂපපමබදාeසෙජසබජහ ඪසරමි) එච්. අයි. වී. සොයාගෙන දැනට බොහෝ කලක්‌ ගතවී තිබේ. රෝගය බෝවන ආකාරය ගැනත්, රෝග ලක්‍ෂණ ගැනත් රෝගියකුගේ ස්‌වභාවය ගැනත් දශක ගණනාවක සිට අපේ රටේ පමණක්‌ නොව ලොව පුරා මිනිසුන් දැනුවත් කර තිබේ.

පරම්පරා කිහිපයක්‌ම ඒ ගැන කිසිදු ආකාරයක අවබෝධයක්‌ ලබාගෙන නැති බව කුලියාපිටියේ “අලුත්ම” සොයාගැනීම්වලින් ප්‍රත්‍යක්‍ෂ වී තිබේ. කුලියාපිටියේ ගමේ බොහෝ දෙනෙක්‌ (සියල්ලෝම එසේ නොවෙති යෑයි අප තවමත් විශ්වාස කරන්නෙමු.) “ඒඩ්ස්‌” තබා තුන්වැනි සිල්පදය ගැන හෝ නොදන්නා කුසල්හාමිලාය, ශාන්තුවරයන්ය. එහෙයින්ම, පියා හෝ මව එච්. අයි. වී. ආසාදිතයකු යෑයි සැක පහළ කරමින්ම (තහවුරු නොකළ තොරතුරු මත) දරුවා පාසලට ඇතුළත් කිරීම තහනම් කළ යුතු යෑයි කීමට තරම් ශුද්ධ වූ අයිතියක්‌ මේ පුණ්‍යවන්තයන් අත්පත් කරගෙන සිටිති.

කුලියාපිටියේ දරුවාගේ කතාව දැන් නොදන්නා කෙනෙක්‌ නැත. දැන් සිදුවී තිබෙන්නේ දරුවාගේ අනාගතයට නරක ආකාරයට බලපෑමක්‌ කළ හැකි මේ කාරණය මාධ්‍යයත්, දේශපාලනයත් තොරම්බල් කරමින් උඩ දැමීමය. එක්‌ දිනක වාර්තා වන්නේ “කුලියාපිටියේ දරුවාට පාසලක්‌ හිමිවේ.” යන්නය. ඊට පසුදා වාර්තා වන්නේ දරුවාට එම පාසලද අහිමි වූ බවය. තවත් දවසක අධ්‍යාපන ඇමැතිවරයාද ඊට මැදිහත් වූ බව වාර්තා වේ. එහෙත් ගමේ පුණ්‍යවන්තයන්ගේ බලය ඊට වඩා වැඩි බව පසු දින වාර්තා වේ.

දැන් මේ ප්‍රශ්නයට ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් මැදිහත් වී සිටිති. ඒ දරුවා කොන්දේසි විරහිතව දිවයිනේ ඕනෑම පාසලකට ඇතුළු කිරීමේ අවස්‌ථාව ලබාදෙන බවද කියෑවේ. ඒ ගැන අපේද ගෞරවය හා ප්‍රශංසාව ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් පිරිනැමේ.

එහෙත් ප්‍රශ්නය වන්නේ සති දෙක තුනක්‌ යන තුරුම එහා මෙහා වූ ආකාරයටම ඉදිරි දින කිහිපයෙත් කටයුතු සිදුවේද යන්නය.

මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් දරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නට කොළඹින් පිටත්ව ගිය, මේ පිළිබඳව ප්‍රාමාණික දැනුමක්‌ ඇති වෛද්‍යවරුන්, නිලධාරීන් පවා කුලියාපිටිය පුණ්‍යවන්තයන්ගේ ශුද්ධ වූ උදහසට ගොදුරුව තිබිණ. ඒ කිසිවෙකුත් එච්. අයි. වී. වෛරසය පිළිබඳව දැනුම ඇති වෛද්‍යවරුන් කියන “ඇත්ත” පිළිගන්නට සූදානම් නැත. මේ ගෝත්‍රික යුගයේ ජීවත් වන පුණ්‍යවන්තයන් තවමත් ගස්‌-ගල් අදහනවා සේම විශ්වාස කරන්නේ පරිහරණය කරන ද්‍රව්‍යවලින්, ආහාරපාන මගින්, ස්‌පර්ශයෙන්, සිපගැනීම්වලින්, සුළඟින්, වැසිකිළි භාවිතයෙන් එච්. අයි. වී. ආසාදනය වන බවය. අනෙක්‌ වැදගත්ම කාරණය වන්නේ මව හෝ පියා එච්. අයි. වී. ආසාදිතයකු වූ පමණින්ම දරුවකුගේ අයිතිවාසිකම් අහිමි කිරීම අපරාධයක්‌ වීමය. දරුවකුට නොව එච්. අයි. වී. ආසාදිතයකුට වුව කවර රටක හෝ කවර ගමක හෝ නිදහසේ ජීවත් වීමට අයිතියක්‌ තිබෙන බව අප කවුරුත් පිළිගත යුතුව තිබේ. කුලියාපිටියේ සත්ගුණවත් පිරිස අභියෝග කරන්නේද එම අයිතියටය.

“ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස්‌ මර්දන වැඩසටහන” රටේ ජනතාව දැනුවත් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ අසාර්ථක යෑයි අප කිසිවිටෙකත් කියන්නේ නැත. එහෙත් බොහෝ පිරිසක්‌ ඒ “ඇත්ත” පිළිගන්නට කිසිසේත්ම සූදානම් නැති බව කුලියාපිටිය සිදුවීම පෙන්වා දේ. අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් දරුවා මාධ්‍යයට කතා කරද්දී තමා ලොකු වූ පසු “වෛද්‍යවරයෙක්‌” වනවා යෑයි කියන්නේ නිකමට නොවේ. එය බොහෝ දරුවන්ගෙන් අසන්නට ලැබෙන සාම්ප්‍රදායික කතාවෙන් වෙනස්‌ බව අපි විශ්වාස කරමු. ඒ දරුවා “වෛද්‍යවරයකු” වනවා යෑයි කීමෙන්ම අදහස්‌ වන්නේ මේ සිදුවීම ඒ පුංචි හිත තුළ ඇති කර ඇති පීඩනයේ තරම බව වැඩිහිටියන් අවබෝධ කර ගත යුතුය.

– Divaina