නාගරික කසළ අර්බුදයට විසඳුම

0
911

මහාචාර්ය ඕ.ඒ.ඉලේපෙරුම
පේරාදෙණිය, විශ්වවිද්‍යාලය.

අපේ රටේ නාගරික ප්‍රදේශ ආශ්‍රිත කැළි කසළ බැහැරලීම අද බරපතළ ප්‍රශ්නයක්‌ වී තිබේ. කොලොන්නාව ප්‍රදේශයේ කැළිකසල බැහැරලීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව විරෝධය පෑම පසුගිය දිනවල දක්‌නට ලැබුණි. කොළඹ නගරයේ කැළිකසල බැහැරලීමේ ගැටලුවට ස්‌ථිර සාර විසඳුමක්‌ පේනතෙක්‌ මානයේ නැත.

1977 දී පමණ මීපේ, අලුපොත ග්‍රාමයේ මේ සඳහා සුදුසු භූමියක්‌ හඳුනාගෙන එහි සනීපාරක්‌ෂක භූමි පිරවුමක්‌ සඳහා සැලැස්‌මක්‌ දියත් කරන ලදී. මේ සඳහා ලෝක බැංකුව, මූල්‍යමය ආධාර මෙන්ම තාක්‌ෂණික සහයද ලබාදීමට ඉදිරිපත් විය. එහෙත් මෙම භූමිය පිහිටි අලුපොතට ගිය ඊනියා පරිසරවේදීන් යයි කියාගන්නා කණ්‌ඩායමක්‌ එහි විසූ පවුල් කිහිපයකට අයත් ගම්වාසීන් උසිගන්වා විරෝධතා ව්‍යාපාරයක්‌ සංවිධානය කළේ එම පළාතේ ප්‍රාදේශීය දේශපාලකයන්ගේද සහය ඇතුවය. එවකට සිටි ජනාධිපතිවරයා ද මෙම ව්‍යාපෘතියෙන් රටට වන යහපත වෙනුවට සිය දේශපාලන වාසිය පමණක්‌ සිතා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකළේය.

නාගරික කසළ බැහැරලීම අද අතිශයින් උග්‍ර ප්‍රශ්නයක්‌ බවට පත්ව ඇත. අත්තිඩියේ ස්‌වාභාවික වන රක්‌ෂිතයට කසළ බැහැරලීම පරිසරවේදීන්ගේ විරෝධයට පාත්‍ර වී තිබේ. කොළඹ අවට ඇති වෙනත් නගරවල ද අවිධිමත් කසළ බැහැරලීමේ ගැටලු පැන නැගී ඇත. ඉහත කී අලුපොත සනීපාරක්‌ෂක භූමි පිරවුම ක්‍රියාත්මක වූයේ නම් මීගමුවේ සිට පානදුර දක්‌වා ඇති සියලු නගර සභ සහ මහ නගර සභා සියල්ලෙහිම කැළිකසල බහාලීමට හැකියාවක්‌ තිබුණි. වර්තමානයේ මෙම කුණු කසල සියල්ලම බ්ලූමැන්ඩල්, වැල්ලම්පිටිය හා වැලිසර පිහිටි පහත් වගුරු බිම්වල ගොඩගැසීම සිදු කරයි. මැස්‌සන්, මදුරුවන්, අයාලේ යන සුනඛයින් හා මීයන් වැනි සතුන්ගෙන් ඇතිවන නානාවිධ ලෙඩ රෝගවලින් මුළුමහත් නාගරික ජනතාවම ලෙඩ කිරීමට මෙවැනි කසළ බිම්වලට හැකියාවක්‌ ඇත. එසේම, මේවාට විවිධ ප්‍රභව මගින් එක්‌වන බැර ලෝහ, භූමි පිරවුමෙන් නික්‌මෙන ක්‌ෂාලකය සමග කැලණි ගඟට එක්‌වීම අනිවාර්යයෙන්ම සිදුවේ. සෑම දිනකම පාහේ නිකල්, කැඩිමියම් බැටරි හා රසදිය අඩංගු ඔරලෝසු බැටරි දහස්‌ ගණනක්‌ මෙවන් කසළ භූමියකට එක්‌වේ. කාලයාගේ ඇවෑමෙන් මේවායේ ඇති බැරලෝහ දියවී ජල පද්ධතිවලට එකතුවේ. එමෙන්ම විවිධ කාබනික සංයෝග හායනය වීමේදී ඩයොක්‌සීන් වැනි අති උග්‍ර විෂ මිනිස්‌ සිරුරට එක්‌වීමේ අවදානමක්‌ ද ඇත. මෙවන් සියලු ප්‍රශ්න ගැන සැලකීමේදී සාමාන්‍ය පහත් වගුරු බිම් මේ සඳහා කිසිසේත්ම යෝග්‍ය නොවන බවට කිසිදු සැකයක්‌ නැත.

ඝන කැළිකසල බැහැරලීම සඳහා ලොව දියුණු රටවල් අනුගමනය කරන්නේ ඒවා සනීපාරක්‌ෂක භූමි පිරවුමක තැන්පත් කිරීමයි. මේ සඳහා කඳු අතර පිහිටි මැටි පසෙන් සමන්විත ජනශූන්‍ය භූමියක්‌ වඩා සුදුසුය. කොළඹ හා ඒ අවට නාගරික පෙදෙස්‌වල කැළකසල බැහැරලීම සඳහා සුදුසු එවැනි භූමියක්‌ මීපේ අලුපොත ප්‍රදේශයෙන් සොයාගනු ලැබුවේ ඉන් අවම පරිසර හානියක්‌ සිදුවන නිසාය. එහෙත් එම ක්‍රියාවලිය සඳහා හරහට හිටියේ මෙවැනි පරිසර හිතකාමී ක්‍රියාවලියකට වුවද විරුද්ධවීම කලාවක්‌ කරගත්, එවැනි විරෝධතා පැවැත්වීමෙන් තම පැවැත්ම තහවුරු කරගන්නා රාජ්‍ය නොවන පාරිසරික සංවිධානයි. පරිසරය සුරැකීමට යෑයි කියමින් විවිධ නම්වලින් පෙනී සිටින මෙවැනි සංවිධාන 100 ක්‌ පමණ පරිසර අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇත. මොවුන්ට විවිධ විදේශ සංවිධානවලින් මුදල් ලබාගැනීම සඳහා පරිසරය හොඳ මාතෘකාවකි. මේවා බොහොමයක්‌ ක්‍රියාකාරීන් දෙතුන් දෙනෙකුට වඩා නොමැති සංවිධානයි. පරිසරය ගැන අබමල් රේණුවකවත් දැනීමක්‌ මේ බොහෝ දෙනාට නැත. පරිසරය ගැන සක්‍රියව දායකවන මෙන්ම ඒ සඳහා ඉමහත් සේවයක්‌ සිදුකරන ආයතනද කිහිපයක්‌ මේ අතර තිබෙන බවද අවධාරණය කළ යුතුය. එහෙත් මේ බොහෝ සංවිධානවල මූලික අභිමතාර්ථය වී ඇත්තේ විදේශ මුදල් ලබාගැනීම බව පැහැදිලිය. මේවාට අරමුදල් ලැබෙන්නේ පරිසරය සුරැකීම යන තේමාව යටතේ උද්ඝෝෂණය කළ තරමටය. අලුපොත බලාගාරයටද මේතරම් විරෝධතා සංවිධානය කරන සංවිධානවලට මුදල් ලැබෙන්නේ කෙසේදැයි සොයාබැලිය යුතුමය.

මෙවැනි මහා පරිමාණ සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී එම පලාත්වල ජීවත්වන ජනතාව දැනුවත් කිරීමද අනිවාර්යයෙන්ම සිදුවිය යුතුය. මහවැලි ව්‍යාපාරය ක්‍රියාවට නැංවීමේදී ගොවි පවුල් දහස්‌ ගණනක්‌ සශ්‍රීක භූමියකින් වියළි කලාපයේ ගොවි ජනපදවල පදිංචි කරවීමට රජයට සිදුවිය. සංවර්ධන ක්‍රියාලි සඳහා ජනතාව නැවත පදිංචි කරවීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු ක්‍රියාවලියකි. අලුපොත ප්‍රදේශයෙන් මෙවැනි ව්‍යාපෘතියක්‌ සඳහා ඉවත් කළ යුත්තේ ඉතා සුළු පවුල් සංඛ්‍යාවකි. එමෙන්ම මෙම ප්‍රදේශයේ සංවේදී පරිසර පද්ධතීන් කිසිවක්‌ නැත. මෙවැනි ක්‍රියාවලියක්‌ සඳහා නිසි දේශපාලන නායකත්වයක්‌ අත්‍යවශයෙන්ම තිබිය යුතුය. පරිසර ඇමතිතුමා මෙන්ම ජනාධිපතිතුමාගේද නොසැලෙන සහය හා මගපෙන්වීම මේ සඳහා ලැබිය යුතුමය. වත්මන් පාරිසරික ප්‍රශ්න පිළිබඳව නිසි අවබෝධයකින් කටයුතු කරන වත්මන් පරිසර ඇමතිතුමාගේ මෙම ක්‍රියාව අගය කළ යුත්තේ මේ සඳහා කැපවීම මෙන්ම නිසි නායකත්වය ද ඒ සඳහා ලබාදීම නිසාය.

සනීපාරක්‌ෂක භූමි පිරවුමක්‌ නිර්මාණය කොට එහි කසළ බැහැරලීම සිදුකරන්නේ මෙහෙමයි. මුලින්ම මතුපිට පස්‌ ස්‌ථරය ඉවත් කොට මැටි සහිත භූමි ස්‌ථරය නිරාවරණය කොට ගෙන ඝන පොලිතීන්වලින් එම ප්‍රදේශය ආස්‌තරණය කෙරේ. මෙම භූමියෙහි විශාලත්වය අවම තරමින් පාපන්දු පිටියක වපසරිය තිබිය යුතුය. ලොරිවලින් ප්‍රවාහනය කෙරෙන කසළ මෙහි තැන්පත් කර දවස අවසානයේ තුනී පස්‌ තට්‌ටුවකින් එය වැසිය යුතුය. එවිට එයින් දුර්ගන්ධයක්‌ හමන්නේ නැත. එමෙන්ම මදුරුවන් හෝ මැස්‌සන් බෝවීමක්‌ද සිදු නොවේ. මෙවැනි පිරවුමකින් නික්‌මෙන ක්‌ෂාලක දියරය පිරියම් කිරීමට කුඩා ප්‍රමාණයේ පිරියම් ඒකකයක්‌ ද අවශ්‍ය වේ. එහිදී මෙම දියරය ජීවාණුහරණය කොට එහි ඇති බැරලෝහ ඉවත්කොට පිරිසිදු ජලය පමණක්‌ අවට පරිසරයට නිකුත් කෙරේ. එබැවින් මෙය අතිශයින්ම පරිසර හිතකාමී ක්‍රියාපිළිවෙළක්‌ වන අතර එම පළාත්වල ජනයාට කිසිදු පාරිසරික හෝ සෞඛ්‍යමය ගැටලුවක්‌ ඇති නොවන ආකාරයට කැළිකසල බැහැරලීමට මේ නිසා හැකිවේ.

කලකට පෙර දකුණු කොරියානු රජයද මෙවැනි සනීපාරක්‌ෂක භූමියක්‌ ඉදිකිරීම සඳහා ආධාර දීමට ඉදිරිපත් විය. එහෙත් මෙරට පරිපාලනයේ පැවති දුර්වලතා නිසා එම අවස්‌ථාව ද අපට අහිමි විය. අලුපොත මෙම භූමි පිරවුම ස්‌ථාපිත කළ හොත් මුළු බස්‌නාහිර පළාතේම කැළිකසල මෙහි බැහැරලීමට හැකියාව ඇත.

කොළඹ නගරයේ පමණක්‌ දිනකට කැළිකසල ටොන් 2000 ක්‌ පමණ ජනනය වේ. මුළු බස්‌නාහිර පළාතම සැලකූවිට එම ප්‍රමාණය ටොන් 5000 ක්‌ පමණ වන බවට අනුමාන කළ හැකිය. සනීපාරක්‌ෂක භූමි පිරවුමෙහි ප්‍රමාණය ඒ අනුව නිගමනය කළ හැකිය. එමෙන්ම සමහර රටවල මෙවැනි පිරවුම්වලින් නික්‌මෙන ජීවවායුව එකතු කර ගනිමින් බලශක්‌තිය ලබාගැනීම සඳහා විදුලි බලාගාර පවා ඉදිකර ඇත. එමෙන්ම පොලිතීන් අපද්‍රව්‍ය වෙන්කොට ඒවා දහනය කිරීමෙන් ද විදුලිය නිපදවා ගත හැකිය. කැළිකසල සියල්ලම දහනය කිරීමට අපහසුවන්නේ මෙරට කැළිකසලවලින් සියයට 70 ක්‌ පමණ කාබනික කැළිකසල වීමත් ඒවායේ අධිකලෙස ජලය අඩංගුවීමත් නිසාය.

අද අපේ රටේ සෑම නගරයක්‌ ආශ්‍රිතවම පාහේ උද්ගත වී ඇති මේ ප්‍රශ්නය සඳහා ඇති හොඳම විසඳුම සනීපාරක්‌ෂක භූමි පිරවුම් ඇතිකිරීමයි. පාරිසරික ප්‍රශ්න කෙරෙහි දැඩි උනන්දුවකින් කටයුතු කරන වත්මන් ජනාධිපතිතුමාට ඒ සඳහා උචිත ක්‍රියාමාර්ගයක්‌ ගැනීම හැකිවේ යෑයි අපගේ විශ්වාසයයි.

– Divaina