සුමන සමන් දෙවියනේ නොපෙනෙන්නෙද මේ විනේ? – Adams Peak Sri Lanka

0
1681

මේ සිරිපා සමයයි. සිරිපාදය වන්දනා කරන්නේ පින් රැස්කර ගන්නට ය. නමුත් මේ දිනවල සිරිපාද මළුවට යන්න ගියොත් ඇතිවන්නේ තරමක කේන්තියකි. අප එසේ කියන්නේ සිරිපාද මාර්ගවල ඇති අලෙවි සල්වල ආහාරවල ගිනි ගණන් නිසා මෙන් ම ශ්‍රීපාද අභය භූමියේ සිදුවන දරුණු පාරිසරික දූෂණය නිසා ය.

නල්ලතන්නිය සිට සිරිපා මළුවට ඇති මාර්ගයේ ඉහළ අලෙවිසල්වල පාන් පිටි රොටියක හා ප්ලේන්ටියක මිල රුපියල් 125 ක් වන අතර නෙළුම් මල් 3 ක් රුපියල් 100 ට විකුණයි. පුංචි වතුර බෝතලයක් රුපියල් 100 කි. කෝපි කෝප්පයක් රුපියල් 75 – 100 දක්වාය. ශ්‍රී පාදයේ මැද හා ඉහළ කොටසේ වැසිකිළියට යෑමට රුපියල් 50 අය කරනු ලැබේ. සුමන සමන් දෙවියන් වැඩ වසන භූමියක මෙවන් දේ සිදුවීම කනගාටුදායක ය. ශ්‍රී සම්බුද්ධ පාද ස්පර්ශයෙන් අතිපූජනීය වූ සිරිපා අඩවිය වන්දනාවට පසුගිය සති අන්තයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්වූහ.

නමුත් ඒ අයට කිසිම පොදු පහසුකමක් ලබාදීමට හා සිරිපා අභය භූමියේ පරිසරය සුරැකීමට අදාළ පළාත් පාලන ආයතන හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිම පියවරක් ගෙන තිබුණේ නැත. බුද්ධාලම්භන ප්‍රීතිය සමඟ කරුණාව පරිසර සුන්දරත්වය සිතේ දරාගෙන සිරිපා කරුණා කරන ජනතාවට මේ නිසා ඇතිවී ඇති ගැටලු අපමණය. මේ පිළිබඳව සිරි පාදය සුරැකීමට හා ඒ ප්‍රදේශය අයිති ආයතනවල බලධාරීන් නිලධාරීන් මීට වඩා අවධානය යොමු කළ යුතු ය‍.

ඒ අනුව අඩු මිලට හා සහන මිලට සිරිපාද මාර්ගවල ආහාර ද්‍රව්‍ය විකිණීමට සුබසාධන අලෙවි සල් ඇති කිරීම අද අත්‍යවශ්‍ය දෙයකි. ඒ සමඟම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද පරිසර සංවිධාන එක්වී‍ සිරිපා පරිසරය සුරැකීම පිළිබඳව ජනතා දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ද සංවිධානය කිරීම අද කාලීන අවශ්‍යතාවයක් වී ඇත.

මීට අමතරව සිරිපාදයට යන කිසිම මාර්ගයක එහි වන්දනාවට එන ජනතාවට පිරිසුදු ජලය ලබාදීමේ හරියාකාර වැඩපිළිවෙළක් නැත. කළු, කැලණි, වළවේ මහ ගංගා පෝෂණය කරන දිය පාරවල් සිරිපාදය වටා‍ ඇතත් සිරිපාදයට නියමිත ජල සම්පාදන යෝජනා ක්‍රමයක් නොමැතිවීම කනගාටුදායක ය.

එමෙන් ම වන්දනාකරුවන්ට අවශ්‍ය වැසිකිළි පහසුකම් මේ මාර්ගවල නැත. මහා සංඝරත්නයටත් මළුවේ වැසිකිළි පාවිච්චියට අවසර නොමැත.

මේ දිනවල සිරිපා වන්දනාවේ යන අය දකින විශාලතම පාරිසරික ව්‍යසනය වන්නේ ශ්‍රීපාද අභය භූමියේ ඇති කසළ බැහැර කිරීමේ කිසිම ක්‍රමයක් නොමැතිවීමයි. පහළ නල්ලතන්නියේ සිට ඉහළ මහ මළුව දක්වා ම කසළ දැමීමට තිබෙන කසළ දමන භාජන පිරී ඉතිරී ගොස් තිබේ. ඒ සමඟම ඒ භාජන අසල කසළ ගොඩ ගසා තිබේ. ප්ලාස්ටික් වතුර බෝතල් ඉවක් බවක් නැතිව හැම තැනම දමා ඇත. බිස්කට් කවර ද ටොෆි කොළ සොපින් බෑග් සිරිපා මාර්ගයේ තැනින් තැන මේ දිනවල බහුලව දක්නට තිබේ. මෙය මේ සුන්දර අභය භූමියට අසුන්දරත්වය එක් කරන මහා තර්ජනයකි.

මේ දිනවල සිරිපාදයේ දක්නට තිබෙන අනෙක් විශාලතම පාරිසරික ගැටලුව වැසිකිළි නොමැති නිසා තැනින් තැන විවිධ පුද්ගලයන් තම බහිස්‍රාවීය කටයුතු කිරීම නිසා ඇතිවී ඇති දුර්ගන්ධයයි. මේ නිසා ජලමාර්ග අපිරිසුදු වී ඇති අතර එහි ශාක පද්ධතියට ද අහිතකර බලපෑම් ඇතිවී තිබේ.

වසර 2000 පමණ කළ සිරිපා පරිසරය සුරැකීමේ සංවිධානය කළ අධ්‍යයනයක් අනුව එක් සිරිපා වන්දනා සමයකදී සිරිපා අභය භූමිය ඇතුළත එකතුවන සිලි සිලි බෑග් ප්‍රමාණය ලක්ෂ 20 ඉක්මවනු ලැබේ.‍ ඊට අමතරව ටොෆි දවටන ලක්ෂ 50 ක්, බිස්කට් පැකට් ලක්ෂ 10 ක් හා ප්ලාස්ටික් බෝතල් 20000 පමණ එහි එකතුවේ.

පේරාදෙණිය සරසවියේ උද්භිද විද්‍යා මහාචාර්ය නිමල් ගුණතිලක හා මහාචාර්ය සාවිත්‍ර ගුණතිලක යන පර්යේෂණ විද්‍යාඥයන් වසර ගණනාවක් කළ පර්යේෂණ අනුව ශ්‍රී පාදය අභය භූමියේ ඇති ගහකොළ මෙරට සුවිශේෂ ලෙස වෙන් කළ හැකි වෘක්ෂලතා කාණ්ඩයක් ලෙස නම්කර ඇත.

ශ්‍රීපාද කන්ද ඇතුළත් වනාන්තර ප්‍රදේශයේ ඇති ගහකොළ වල විවිධත්වය හා ප්‍රදේශයේ ඇති ජෛව විවිධත්වය නිසා ම 1940 ඔක්තෝබර් 25 වැනිදා එම ප්‍රදේශය ශ්‍රීපාද අභ‍ය භූමිය ලෙස වනජීවී සං‍රක්ෂණ දෙපාර්තමේන්තුව නම්කර තිබේ. අක්කර 56000 ක් හෙවත් හෙක්ටයාර් 22380 ක් වූ මේ අභය භූමිය වර්ග සැතපුම් 86.41 ක් තරම් විශාලය. සබරගමුව හා මධ්‍යම පළාතටත් විසිරී ඇති මේ සුවිශේෂ අභය භූමිය ගිලීමලේ, බලංගොඩ, එරත්න, බෙලිහුල්ඔය, දැරණියගල හල්දුම්මුල්ල, කුරුවිට, නල්ලතන්නිය, මස්කෙළිය වැනි ප්‍රදේශ දක්වා ද පැතිරී තිබේ.

මේ ශ්‍රීපාද අභය භූමිය යනු ශ්‍රී පාද කන්ද පමණක් නොවේ. මෙම අභය භූමියේ උසම කන්ද ශ්‍රීපාද කන්දයි. එහි උස මීටර් 2244 කි. ඒ අසලම බෑන සමනොළ (මීටර් 2010) දෝතුරුගල (මීටර් 1726) උඩ ලක්ෂපාන ( මීටර් 1567) රත්කන්ද, දෙතනගල, ධර්මරාජගල, පරවියන්ගල, කෝදුරුගල වැනි කඳු ශිඛර ද තිබේ. මේ සුවිශේෂ පද්ධතියේ ජෛව විවිධත්වය ඉතා බහුලය. නමුත් මෑතක සිට මේ ජෛව විවිධත්වයට එල්ල කරන මිනිස් බලපෑම්, ඉහළම මට්ටමක පවතී. ඉහත පැවසූ අයුරින් අපද්‍රව්‍ය දැමීමට අමතරව තේ වැවීමට නිවාස සෑදීමට අනවසර ඉඩම් අල්ලා ගැනීම බහුලව මේ අභයභූමිය ඇතුළත සිදුවෙමින් පවතී.

ශ්‍රීපාද වන්දනා සමයේ ශ්‍රී පාදයට යන මාර්ග දෙපස ඉවක් බවක් නැතිව අනවසර වෙළෙඳ සල් ඉදිකිරීම නිසා මෙන් ම අනවසර ආගමික ස්ථාන ඉදිකිරීම නිසාත් මේ අභය භූමියට බලවත් අහිතකර බලපෑම් එල්ල කර ඇත. ඒ ස්ථානවල තිබෙන ගහ කොළ කැපීම පමණක් නොව අලෙවිසල් ඉදිකිරීමට ඒ අසල මහ වනාන්තරයෙන් ලී දඩු රැගෙන ඒමත් එහි භූ විෂමතා හා භෞතික පරිසරය විනාශ කිරීමත් පසුගිය දෙසැම්බර් ජනවාරි මාසවලදී දක්නට ලැබුණු බව එහි පරිසරලෝලීහු පවසති. දැනටත් වෙළෙඳ සල්වල කෑම පිසීමට අවශ්‍ය දර අසල වනයෙන් ලබා ගැනීම ද සිදු කෙරේ.

මීට වසර 10 කට පමණ කෙරුණු පරිසර අධ්‍යයන අනුව මේ ශ්‍රීපාද අභය භූමියේ එරත්න, වර්ණගල ප්‍රදේශයේ කුරු අලි 20 – 25 ක් අතර සිටින බව වාර්තා විය. ඒ සමඟ ම තවත් ක්ෂීරපායිහු විශේෂ 28 ක් පමණ ජීවත්වෙති. ඉන් විශේෂ 4 ක් ආවේණිකය. ආවේණික කුරුලු විශේෂ 26 ක් මේ අභ්‍ය භූමියේ සිටිති‍. තවත් අධ්‍යයනයක් අනුව ශ්‍රී පාද අභය භූමිය ඇතුළත නේවාසික හා සංචාරක පක්ෂි විශේෂ 44 ක් හා මත්ස්‍ය විශේෂ 35 ක් ජීවත් වෙන බවට වනජීවී භාරයේ හිටපු වැඩසටහන් නිලධාරි ශ්‍රී ලාල් ගිහාන්ත හෙට්ටිආරච්චි කළ පර්යේෂණවලින් හෙළි වී තිබේ.

පසුගිය කාලයේ කළ අධ්‍යයන අනුව මේ අභය භූමියේ පහතරට තෙත් වනාන්තර, උස්කඳුකර වනාන්තර හා කඳුකර වැසි වනාන්තර ද තිබේ. මේ ශාක පද්ධතිය ඇතුළත ශාක විශේෂ 160 ක් ඇති බව ශ්‍රී ලාල්ගේ අධ්‍යයන අනුව හෙළි වී තිබේ. ඉන් විශේෂ 83 ක් ම ශ්‍රී ලංකාවට ආවේණිකය. ඒ අතර දුර්ලභ හා තර්ජනයට පත්වූ ශාක විශේෂ ද 30 ක් ද තිබේ.

මෙය අභය භූමිය රටේ ජල සංරක්ෂණය විදුලි බල උත්පාදනය අතින් ද සුවිශේෂි වේ. කළු කැලණි වළවේ යන මහ ගංගාවල ප්‍රධානම ජල පෝෂක ප්‍රදේශය වන මේ අභය භූමිය ලක්ෂපාන, කාසල්රී, විමලසුරේන්ද්‍ර යන විදුලිබලාගාර ජලාශ වල ද ජල පෝෂක ප්‍රදේශයකි.

මේ අනුව පූජනීය වූත් මෙරට පරිසර හා ජල සංරක්ෂණය අතින් සුවිශේෂ වූත් සුන්දර ශ්‍රීපාද අභය භූමිය සුරැකීමට පරිසර අමාත්‍යාංශය වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල අඹගමුව ප්‍රාදේශීය සභාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කළ යුතු ය.

ඒ සමඟම ශ්‍රී පාද වන්දනාවේ එන බැතිමතුන්ට අවශ්‍ය ජලය වැසිකිළි විශ්‍රාම ශාලා ආදී පොදු පහසුකම් ලබාදීමට ද ඉහත ආයතන සමඟ බුද්ධශාසන අමාත්‍යාංශය විධිමත් පියවර ගත යුතු ය.

මේ අනුව බලන විට සිරිපා වන්දනාවට යන අයට තවදුරටත් මේ අඩුපාඩු විඳින්නට සිදුවුවහොත් සිරිපා වන්දනාව අපේ ජනතාවට එපා වන තත්ත්වයට පත්වනු ඇත. එපමණක් නොව ශ්‍රීපාද අභය භූමියේ පරිසරය විනාශ වී එය නායයෑම්වලට ලක්වී එහි ඇති ජෛව විවිධත්වය ද අපේ රටට පමණක් නොව ලොවටම අහිමි වීමට‍ ඉඩ තිබේ.

එලෙස සංරක්ෂණ කටයුතු සිදු නොවන්නේ නම් අපට කියන්නට ඇත්තේ‍ ‘සුමන සමන් දෙවියනේ නොපෙනෙන්නෙද මේ විනේ’ යන්න පමණි.