මහ වනයේ තනිවුණු බෝඹුරු ඇල්ල සොයා – Boburu waterfall nuwaraeliya

0
750
boburu-waterfall-nuwaraeliya

ශ්‍රී ලංකාවේ සීත දේශගුණයට තෝතැන්න නුවරඑළිය බව නොරහසකි. හරිත පැහැ වෙලාගත් උස්‌ කඳු මුදුන් අතර ඔබමොබ යන මීදුම් කැරලි වලින් අනූන ගුවන්තලය බොහෝවිට අඳුරු පැහැයක්‌ උසුලයි. පිදුරුතලාගල අඩවියේ පැන නගින ජල දහරාවන්ද හෝර්ටන් තැන්නෙන් ගලන ජලයෙන්ද මෙම දිස්‌ත්‍රික්‌කය පෝෂණය වන අතර දියඇලි සඳහාද ඉහළ ප්‍රසිද්ධියක්‌ උසුලයි. ලංකාවේ උසින් වැඩි බොහෝ දේවල් පිහිටා ඇති මෙම දිස්‌ත්‍රික්‌කයේම ලංකාවේ පළලින් වැඩි දියඇල්ලද පිහිටා ඇත. එනම්, සුන්දර හග්ගල මල් වත්තට ඔබ්බෙන් වූ පාතාලයේ පිහිටි අපූරු දිය ඇල්ලක්‌ වන බෝඹුරු ඇල්ලයි.

නුවරඑළියේ සිට බදුල්ල පාරේ යන විට හග්ගල උද්‍යානය පසුකල විගස වම් අතට දිවෙන මාර්ගයක්‌ වේ. ඒ අසල බෝඹුරු ඇල්ලට යන පාර ලෙස සඳහන් නාම පුවරුවක්‌ද දක්‌නට හැක. එතැන් සිට කි.මී.8 ක්‌ පමණ එම කාපට්‌ ඇතිරූ මගේ යා යුතුය. පාතාලයකට දිවෙන මාර්ගයේ ඇති සුවපහසුව නිසා අපගේ යතුරු පැදි කුරුල්ලන්මෙන් පියාඹුවේ ඉතාමත් පරිස්‌සමිනි. මන්ද සමහර අනතුරුදායක වැලමිට වංගු සහ සමහර ස්‌ථාන වල වැලි හා ජලය පිරි ස්‌ථානද තිබෙන හෙයිනි. ටිකෙන් ටික පල්ලම බසින විට අපට ඉහලින් කඳු මිටියාවත දැකගත හැක. තවද ඈතින් වැලිමඩ ප්‍රදේශය හා ඒ අවටත් දැකගත හැකිය.

ක්‍රමයෙන් අප හරිත පැහැයෙන් බබලන සුන්දර කෙත් යායක්‌ මැදින් වැටුන කාල වර්ණ පැහැ මාර්ගයේ ගොස්‌ පේරවෙල නම් සුන්දර ග්‍රාමයේ කඩමණ්‌ඩිය අසල නැවතුනෙමු. අප පල්ලමේ එන විට යම් යම් ස්‌ථාන කිහිපයකදී බෝඹුරු ඇල්ලේ ඉහළ කොටස දුටු නමුත් මේ ස්‌ථානයට කිසිවක්‌ පෙනෙන්නේ නැත. කඩමණ්‌ඩිය ඉදිරිපිට වාහන නවතා තැබිය හැකි අතර එතැනින් වම් පසට දිවෙන මාර්ගයේ මීටර කිහිපයක්‌ යතුරු පැදියේ ගොස්‌ ඒ අසල නිවෙසක ඒවා නවතන ලදී. ඉන් පසු එම නිවසටම අපගේ හිස්‌ ආවරණ හා බර සහිත ගමන් මලු බාරදී පිටත් වූයේ මෙම සුන්දර දියඇලි කොමළිය බැලීමටයි. මෙතැන සිට අවම වශයෙන් කි.මී. දෙකහමාරක්‌ පමණ කැලයට යා යුතු අතර කැලෑ ගමනේදී බුරුල් පසට අඩිය තැබීමේදී ප්‍රවේසම් වන ලෙස ගම්වැසියෙකු අපට පවසන ලදී. බෝඹුරු ඇල්ලේ දියකඳ ස්‌ථාන කිහිපයකදී වෙන්කර කුඹුරට හා ජන පරිභෝජනය සඳහා ලබා ගන්නා අතර එම කුඩා ඇල අපට බොහෝදුරක්‌ යනතුරු දැකගත හැකිය. නිර්විෂ සේම සුළු විෂ සර්පයන්ද මේ අවට සැරිසරන බැවින් නොදන්නා ඉසව් වල පය තැබීමෙන් වැළකිය යුතුය.

මාර්ගයේ මීටර් 500 ක්‌ පමණ ගියපසු වම්පසින් කුඩා හෙලකට මායිම්ව මාර්ගය වැටේ. විටින් විට ඇල පහරින් එගොඩවිය යුතු අතර ඉන්පසු කුඩා පාලමක්‌ මතින් කැලයට අවතීර්ණ වීමට සිදුවෙයි. එම ස්‌ථානයේ දැවැන්ත පර්වතයක්‌ තිබෙන අතර එහි ජල පහරේ වේගය ඉතා අධිකය. ගම්වැසියන් සමහරක්‌ එතැනින් ජල පහර හරවාගෙන රෙදි සේදීම කරනු ලබයි. මෙම ස්‌ථානයේ අප පසු කරන මහා දිය කඳ ඉතා ප්‍රබලය. ස්‌නානය සඳහා සුදුසු නොවන අතර ගංදියට බැසීමද තරමක්‌ අනතුරුදායක විය හැක. කැලයට පැමිණි පසු ඉතිරි දුර ගෙවාදැමිය යුත්තේ අහල පහළකවත් මිනිස්‌ පුලුටක්‌ නොමැති අන්ධකාර වන පියස තුල පමණි. සැබැවින්ම උස්‌ තුරුලතා වලින් පිරී මෙම කැලය තරමක්‌ අඳුරු වන නමුත් එම පාලුව මැකීමට මිලියන ගණනින් කූඩැල්ලන් වාසය කරයි. කුඩා අඩි පාර දිගේ ඉහළට යා යුතු අතර විටෙක ගස්‌ අතරින් නැවී ගස්‌ කඳන් උඩින් පනිමින්ද යා යුතුය.

එසේ පැයක පමණ ගමනකින් පසු අප ස්‌නානයට සුදුසු ඇල්ලේ සමීපතම ස්‌ථානයකට ආවෙමු. නමුත් සුවිසල් ඇල්ල ඇත්තේ ඊට මීටර් 300 ක්‌ පමණ එහායින් බැවින් එම ප්‍රදේශයට ගමන් කළේ තෙත්වූ මඩ සහිත බිමේ එරෙමිනි. හනිහනිකට කකුල් වල එල්ලෙන කූඩැල්ලන්ව අයින් කළේ අප මහා දියඇල්ල ළඟට පැමිණි පසුවයි.

මීටර 60 ක්‌ පමණ උස මෙම ඇල්ල මීටර 15 ක්‌ පමණ පළලින් යුක්‌තය. හරහට කොටස්‌ 3 කින් කඩා වැටෙන මෙම ඇල්ල වැසි සමයේ එක පොදියට මහ විශාල ජල කඳක්‌ සමඟ පහළින් වැටේ. ඉංග්‍රීසි ආණ්‌ඩු සමයේ මෙම ප්‍රදේශයේ ප්‍රචලිත දඩ බිමක්‌වූ අතර මෙම ප්‍රදේශය දුර සිට බැලූකල ඉංග්‍රීසි වී අකුරක හැඩයකට දැකිය හැක. ගෝනුන්, මුවන්, වල් ඌරන්, ඉත්තෑවන් සිටින මෙම ඉසව්වේ තිබෙන ශාක වල වටිනාකමද ඉතා වැඩිය. ජෛව විවිධත්වය අතින් පිරුණු මෙම වන පියසේ බොහෝ විහඟ නාදයන්ද කන වැකේ. ඇල්ලේ ඝෝෂාව අතිමහත් වන අතර ජල දහරාව බිමට වැටෙන විට නැගෙන පින්න මීටර 30 ක්‌ පමණ දුරට විහිදේ. අප අසලවූ ගල් වලට නැග ඉන් පනිමින්ද වතුරේ බසිමින්ද ටිකෙන් ටික ඇල්ල පාමුලට පැමිණියෙමු. තරමක ගැඹුරු දිය තටාකයක්‌ තිබෙන අතර ස්‌නානායට නම් සුදුසු ප්‍රබල සීතලක්‌ දිය පහරේ අඩංගුය.

මහ වනය මැද තනිවුනු බෝඹුරුඇල්ල මුදුනට හෙමි හෙමිහිට මීදුම ගලන අයුරු දැකගත හැකිය. සොබාදම් මාතාවගේ තවත් සුන්දර නිර්මාණයක්‌වූ මෙම ඇල්ල දිහා බොහෝ වේලා බලාසිටිය හැක. සුදු පෙණ පිඩු නගිමින් එක රොත්තට උඩ සිට පහළට වැටෙන දියකඳ ගල් පර්වතය දිගේ හැපෙමින් විවිධ රටා මවයි. පින්නට තෙත් බරිත වූ ගස්‌කොළ සහ පඳුරු මහ සුලඟකට වැනෙන්නා සේය. පාසි හා සෙවල බැදී ගල් පර්වත මත පරිස්‌සමින් ඇවිදිය යුතු අතර මෙම සුන්දර පරිසරය විනාශ නොකිරීමට වගබලාගත යුතුය. සුන්දර බෝඹුරු ලලනාවිය සමඟ තවත් මොහොතක්‌ සිටි අප නැවතත් පිටත්ව යන විට දරුණු වර්ෂාවකට අසුවිය. අඳුරු කැලයේ කූඩැල්ලන් සමඟ වර්ෂාවකට අසුවූ විට දැනෙන අත්දැකීම ඔබට නොකිවමනාය. ලබන සතියේ තවත් ක්‍රියාදාම දියඇලි චාරිකාවකින් හමුවෙමු.

සංචාරක සටහන හා ඡායාරූප

ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු