බීමතින් මෝටර් බයිසිකලේ ගිය කළුතර යුවතියන් දෙදෙනා

0
573

පොලිස්‌ නිලධාරියකු කිසියම් කරුණක්‌ ගැන කලකිරීමකින් හා අප්‍රසන්නතාවයකින් කථා කරන්නේ කලාතුරකින්ය. 27 වසරක සේවා කාලයක්‌ තුළ අමිහිරි අප්‍රසන්න සිද්ධියක්‌ තමන්ගේ දෙනෙත්වලට අසුවූයේ ඉකුත් 9 වැනිදා මධ්‍යම රාත්‍රියේ බව කළුතර උතුර පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ආනන්ද සිල්වා සිය හිතවතුන්ට පැවසුවේ කලකිරීම් මුසු වදන් මාලාවකින්ය.

9 වැනිදා රාත්‍රී සේවයේ නිරතවූ පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා වාඩියමංකඩ හන්දියේ මාර්ග බාධකයක්‌ යෙදුවේ අධික වේගයෙන් එන වාහනද සැකකටයුතු වාහනද බීමත් රියෑදුරන්ද නීතියේ රැහැනට අසුකර ගැනීම සඳහාය.

වාඩියමංකඩ යනු මාරක අනතුරු රැසක්‌ සිදුවූ හන්දියක්‌ වශයෙන් ප්‍රසිද්ධ හෙයින් 10 වැනිදා අලුයම දක්‌වා පොලිස්‌ නිලධාරීන් මාර්ග බාධක රාජකාරිවල යොදවා තිබුණි.

රාත්‍රී 10.45 වන විට (8411) අජන්ත, (41984) රත්නායක යන නිලධාරින්ට කොළඹ දෙස සිට කළුතර දෙසට පාර පුරා යතුරුපැදියක්‌ ධාවනය කරමින් පැමිණෙන අයකු දක්‌නට ලැබුණි.

ඉතාමත් අසීරුවෙන් ගාලු පාර සම්පූර්ණයෙන්ම බදුගෙන පැමිණෙන යතුරු පැදිය නවත්වන ලෙස පොලිස්‌ නිලධාරීන් කළ නියෝගය අනුව යතුරුපැදිය නතර කළ අතර කාන්තාවන් දෙදෙනකු වැනි වැනී යතුරු පැදියෙන් බැස පොලිස්‌ නිලධාරීන් දෙදෙනා අසලට පැමිණියාය.

කාන්තාවන් දෙදෙනා පදම ඉක්‌මවන තුරු මත්පැන් පානය කර ඇතැයි නිගමනය කළ පොලිස්‌ නිලධාරීන් දෙදෙනා පොලිස්‌ ස්‌ථානාධිපති ආනන්ද සිල්වා මහතාට සිද්ධිය දැනුම් දුන්නේය.

වහාම පොලිස්‌ නිල නිවාසවල පදිංචි පොලිස්‌ කාන්තා නිලධාරීන්ද පොලිසියට කැඳවා පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා බීමත් කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන උතුරු කළුතර පොලිසියට රැගෙන ආවේය.

යතුරුපැදිය ධාවනය කළ 34 හැවිරිදි තරුණියගේ සිහිය විකල්වී තිබූ අතර ඇය පොලිස්‌ නිලධාරීන්ට බැණ වැදීමටත් කාන්තා නිලධාරිනියන්ට බැණ වැදීමටත් පටන් ගත්තාය. මේ දෙදෙනා අලුයම කළුතර නාගොඩ රෝහලට රැගෙන ආවේ වෛද්‍ය පරීක්‍ෂණයකට ඉදිරිපත් කිරීමටය.

බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා තරුණියන් දෙදෙනා පරීක්‍ෂාකර බලා මත්පැන් පානය කර ඇතැයි නිගමනය කර වෛද්‍ය සහතික ලබාදුන්නේය.

උදැසන 8 වන විට තරුණියන් දෙදෙනාගේ මත්පැන් පානය කිරීමෙන් ඇතිවූ සිහිවිකල්වීම නැතිවී පියවි සිහිය ලැබී තිබුණි. ඇල්පිටිය බෙන්තර මිරිස්‌වත්ත ප්‍රදේශයේ පදිංචි මෙම තරුණියන් දෙදෙනා පානදුර ඇඟළුම් කම්හලක සේවය කරන බවත් වාද්දුව ප්‍රදේශයේ නිවසක නේවාසිකව සිටින බවත් කියා සිටියාය.

ඇඟළුම් කම්හලේ සේවිකාවකගේ උපන් දින සාදයකට පැමිණි බවත් බියර් පානය කළ බවත් මිතුරන් බියර් වලට හොර රහසේ අරක්‌කු මිශ්‍ර කිරීම නිසා තමන්ට මේ තත්ත්වය උදාවී ඇතැයි එම දෙදෙනා කියා සිටියාය.

තම කම්හලේ සේවය කරන සේවකයකු කළුතරට රැගෙන ආ බවත් යතුරුපැදියේ තිදෙනකු පැමිණි අතර පිරිමි පුද්ගලයා පොලිසිය දැක යතුරුපැදියෙන් බැස පැන දිවූ බවත් ඔවුන් කියා සිටියහ.

අධික ලෙස මත්පැන් පානය කර 9 වැනිදා රාත්‍රී පොලිසිය දෙවනත් කළ තරුණියන් දෙදෙනා කදුළු සලන්නට විය.

පොලිස්‌ පරීක්‍ෂක ආනන්ද සිල්වා මහතා තරුණියන් දෙදෙනාගේ මවුපියන් කැඳවා ඇප මත මෙම දෙදෙනා භාරදීමට සූදානම් වූවත් දෙමාපියන්ට මේ තත්ත්වය දන්වන්න එපා යෑයි ඔවුන් කඳුළු සලමින් ආයාචනා කළාය.

යතුරු පැදිය හිමිකරුවූ තරුණියන් දෙදෙනා සිටින බෝඩිමේ අයිතිකරු පොලිසිය කැඳවූ අතර පොලිස්‌ ඇපමත තරුණියන් දෙදෙනා මුදාහැරියාය.

යතුරුපැදියද රථවාහන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක සංජීව ලක්‌මාල් විඡේවීර හා කොස්‌තාපල් (27576) විතානාච්චි යන මහත්වරුන්ට භාරකළ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ආනන්ද සිල්වා මහතා මෙම දෙදෙනාට අධික ලෙස මත්පැන් පානය කර රිය පැදවීමේ චෝදනාව මත මෙම මස 14 දා කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ගොනු කරන ලෙස උපදෙස්‌ දුන්නේය.

විජයසිරි විද්‍යාසේකර