ලොකු ඉස්‌කෝලේ මහත්තයා ආරක්‍ෂා කර ගනු පිණිසය – To protect school principals

0
693
schools

“ලොකු ඉස්‌කෝලේ මහත්වරු” ගණනාවක්‌ සම්බන්ධයෙන් බොහෝ ප්‍රශ්න මතුව ඇති බව පසුගිය දිනවල සියලුම මාධ්‍ය වාර්තා කර තිබිණි. දශක කිහිපයකට ඉහතදී ගමේත් නගරයේත් පාසල්වල ලොකු ඉස්‌කෝලේ මහත්වරු සම්බන්ධයෙන් ගොඩනැගී තිබුණු ගෞරවණීය බව බිංදුවටම බස්‌සන නරක සිදුවීම් ගණනාවක්‌ පසුගිය කාලය පුරාම දිගින් දිගටම අසන්නට ලැබිණි. මුදල් අල්ලස්‌ පිළිබඳව අවලස්‌සන කතා සේම ලිංගික අල්ලස්‌ ගැන “හිරිකිත” කතාද ඒ අතර බොහෝ සෙයින් අසන්නට ලැබුණි. අපේ විශ්වාසය හැටියට ලොකු ඉස්‌කෝලේ මහත්වරු සම්බන්ධයෙන් අපි ඒ අසා ඇති කතාවලට අමතරව නොඇසූ කතා යටගැසූ කතා තවත් බොහෝමයක්‌ තිබෙන්නට ඇති බවය.

පසුගිය සතිය වන විටද එවැනි කතා කිහිපයක්‌ අසන්නට ලැබිණි. සුපිරිම පාසල් කිහිපයක ලොකු ඉස්‌කෝලේ මහත්වරු සම්බන්ධයෙන් ඇසෙන මේ කතා බරපතල ඒවා බව කියෑවේ. බරපතල යෑයි සඳහන් වන මේ කිසිදු කාරණයක්‌ මේ වනතෙක්‌ කවර පාසලකට හෝ අයත් කිසිවෙකුවත්, එනම් මවුපියන්ට, ආදි ශිෂ්‍ය සංගම්, ලොකු ඉස්‌කෝලේ මහත්වරු සහ ඉස්‌කෝලේ මහත්වරු (ගුරුවරුන්ට) එතරම්ම විශාල අර්බුදයක්‌ව තිබුණු බවක්‌ පෙනෙන්නට නැත. සුපිරි හෝ ජාතික යෑයි කියන පාසල් බොහෝමයක්‌ සම්බන්ධයෙන් වර්ෂයේ මුල මතුවන දරුවන් ඇතුළත් කිරීමේ ප්‍රශ්නයේදී යහමින් මුදල් වියදම් කළොත් දරුවා පාසලට ඇතුළත් කිරීමට හැකිය යන මතය ඉතා තදින් සමාජගතව තිබෙන බව අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය වන්නේ නැත. ආවාට ගියාට එවැනි මතයක්‌ සමාජගත වන්නේ නැත. හැම වර්ෂයකම පළමු මාස කිහිපය තුළ “මාර ට්‍රයි එකක්‌ දී ළමයා ඉස්‌කෝලෙට දාගත්තා” යෑයි කියන මවුපියෝ මුණගැසෙති. මේ උදම් අනන කිසිවෙකුත් නීත්‍යනුකූල පදනමකින් දරුවා පාසලට ඇතුළත් කරගත් අය නොවෙති. නීත්‍යනුකූල වේ නම් “මාර ට්‍රයි” එකක්‌ අවශ්‍ය වන්නේ නැත.

කොළඹ ප්‍රධාන පෙළේ පාසල් තුනක හතරක විදුහල්පතිවරුනට මෙන්ම නුගේගොඩ, හෝමාගම, ගාල්ල, මහනුවර, නුගවෙල මේ ආදී වශයෙන් තවත් ප්‍රදේශ ගණනාවක විදුහල්පතිවරුන්ට “අනවශ්‍ය කරදර”වලට මුහුණ පෑමට සිදුව ඇත්තේ මවුපියන්ගේ “ට්‍රයි එකට” සද්භාවයෙන් උදව් කිරීමට යැම නිසා බව පැහැදිලිය. බොහෝවිට ලොකු ඉස්‌කෝලේ මහත්වරුන්ට මවුපියන්ගෙන් මුදල් අයකර ගැනීමේ අවස්‌ථා දෙකක්‌ තිබේ. පළමුවැන්න පළමු ශේ්‍රණියට සිසුන් ඇතුළත් කිරීමයි. දෙවැන්න පාසල තුළ කෙරෙන ඉදිකිරීම් හා නඩත්තු කටයුතු ආදියයි. එය එතෙකින් නතර නොවේ. පාසලේ සංවිධානය කරන විවිධ උත්සව, ප්‍රසංග සඳහාද, පිහිනුම් තටාක හෝ වෙනත් ගොඩනැඟිලි ඉදිකිරීම් ආදී වශයෙන් තවත් බොහෝ දේ සඳහා මාපිsයන්ගෙන් මුදල් අය කිරීම සිදු වේ. සුපිරි පාසල් යෑයි කියන පාසලකට පත්ව එන කවර ලොකු ඉස්‌කෝලේ මහත්මයකු වුවද තමන්ගේ පාසල හොඳම පාසල බවට පත්කර ගැනීමට උත්සාහ දැරීම සාමාන්‍ය කාරණයකි. එහිදී නියමිත ක්‍රමවේදයකට, අදාළ මුදල් අයකර තිබේ නම් ඒ පිළිඳවද නැවත නැවතත් සිතා බැලිය යුතුය යන්න අපගේ හැඟීමයි.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතියේදී ද මෙවැනි අක්‍රමිකතාවන් ඇති වීමට බොහෝ සෙයින් ඉඩ තිබෙන බව කිව යුතුය. ඒ අනුව ගමේ පාසල සුපිරි පාසලක්‌ ලෙස සංවර්ධනය කිරීමට උත්සාහ දැරීමේදීද ලොකු ඉස්‌කෝලේ මහත්මයා සම්බන්ධයෙන් මෙවැනි ප්‍රශ්න මතුවීම වැළැක්‌විය නොහැක. කළ යුත්තේ සුපිරි පාසල්වලට මේ වන විට පළමු ශේ්‍රණියට ළමුන් බඳවා ගැනීමේ සිට සිදුවන බොහෝ විෂමතාවන් මගහරවා ගැනීමට ක්‍රියා කිරීමය. නැතහොත් අවසානයේ “ලොකු ඉස්‌කෝලේ මහත්තයා” වෙනුවට අන්ත දූෂිත දේශපාලනඥයකුටත් එහා ගිය චරිතයක්‌ පමණක්‌ ඉතිරිවනු ඇත.

– Divaina