නෙක තරු අතර පුන්ස`ද වැනි දූපුත්තු…

0
945

ක්‍ෂණයෙන් පෙනී නොපෙනී යන නා නා විධ ”තරු” අතර සැබෑ තාරකා පෙළක්‌ දිදුලනු දක්‌නට ලැබිණි. ඒ තාරකා පෙළ පෑ පෙළහර නගරය පමණක්‌ නොව ගම් නියම්ගම් ද විනිවිද ගියේය. ඒ තාරකාවන්හි දීප්තියෙන් අනාගතයේදී ආලෝකවත් වන්නේ මේ රටය. එවන් වූ උත්තුංග අපේක්‍ෂාවන් සමුදායක්‌ මේ බිමේ ජනිත කරමින් මේ දිදුලමින් සිටින්නේ උසස්‌ පෙළ විභාගය ජය කෙහෙලි නැංවූ අපේම දරුවෝය. අතිශයින් තරගකාරී මේ අධ්‍යාපන රටාව හමුවේ අභියෝග ජය ගැනීම පහසු නොවන්නේය. එහෙත් ඔවුහු සැබෑ ලෙසම ඒ අභියෝග ජය ගත්හ. මේ ඔවුන්ගේ හඬය.

”මම විෂය කරුණු මැනවින් ග්‍රහණය කර ගනිමින් සැහැල්ලුවෙන් විභාගයට මුහුණ දුන් හෙයින් මේ ජයග්‍රහණයට හිමිකම් කීමට හැකි වුණා.”

ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත්වීමේ භාග්‍ය ලද කොළඹ රාජකීය විදුහලේ දසුන් ඕෂධ ජයසිංහ ශිෂ්‍යයා මෙලෙස ප්‍රකාශ කරන්නේ දැඩි ආත්ම ශක්‌තියකින් යුතුවය.

ගම්පහ ශ්‍රී බෝධි විදුහලෙන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු 186 ක්‌ ලබමින් තමන්ගේ පැහැදිලි අනාගතය ගොඩනගාලීමේ මූලික අඩිතාලම දමා ගන්නා දසුන් රාජකීය විදුහලට ඇතුළත් වන්නේ බලාපොරොත්තු රැසක්‌ සමගිනි. ඒ බලාපොරොත්තු මල්ඵල ගැන්වීමට සාමාන්‍ය පෙළ විභාගයේදීද ඔහුට හැකියාව ලැබිණි. 2012 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දසුන්, අයදුම්කරුවන් පන්ලක්‍ෂයකට අධික පිරිසක්‌ පරදා දිවයිනේ ප්‍රථමයා ලෙස දෙවැනි අධ්‍යාපන කඩඉමත් ජයග්‍රහණය කළේය. තමන් නියම රාජකීයයෙක්‌ යන්න පසක්‌ කරමින් තෙවැනි අධ්‍යාපන කඩඉම හෙවත් උසස්‌ පෙළ උසස්‌ ලෙස නොව විශිෂ්ට ලෙස ජය ගැනීමට දසුන් වග බලා ගත්තේය. ගණිත අංශයෙන් අයෑදුම්කරුවෝ 32393 දෙනෙක්‌ විභාගයට මුහුණ දුන්හ. දසුන් ප්‍රථමයා වන්නේ ඒ අතරිනි.

මගේ ජයග්‍රහණය පිටුපස මගේ දෙමාපියන්, විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්‌ඩලය සමග මට සහයෝගය දුන් පිරිසක්‌ සිටිනවා.

ගම්පහ ඉහළ යාගොඩ පදිංචි දසුන්ගේ පවුලේ එකම පිරිමි දරුවාය. පියා අජිත් ජයසිංහ ඉංජිනේරුවෙකි. රූපිකා ජයසිංහ මව කොළඹ පෞද්ගලික පාසලක ආචාර්යවරියක ලෙස කටයුතු කර ඇත. දස qන්ගේ වැඩිමහල් සොයුරිය පේරාදෙණිය විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨයේ දෙවැනි වසර සිසුවියක වන අතර නැගනිය ගම්පහ රත්නාවලී බාලිකාවේ අධ්‍යාපනය ලබන්නීය. වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන සොයුරිය සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනෙන්ම පස්‌වැනි ස්‌ථානය ලැබීමට සමත්ව තිබේ.

හොඳ පවුල් පරිසරයකින් ලද පන්නරය දසුන්ගේ මේ ජයග්‍රහණයට හේතු සාධක වූවා නිසැකය.

සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ දින සිටම උසස්‌ පෙළ ඉලක්‌ක කරගෙන වැඩ කිරීම අවශ්‍යයි. වසර දෙකක්‌ වැනි කාලයකදී සියලු විෂය කරුණු ග්‍රහණය කර ගත යුතුයි. ඉදිරියේදී උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින නංගිලා මල්ලිලාට මම කියන්නෙ සැලසුම් සහගතව විභාගයට මුහුණදීමේ අවශ්‍යතාවයි. කාලය කළමනාකරණය කර ගැනීම අතිශයින්ම වැදගත්. එය හැම දෙනාම හිතට ගත යුතුයි.

අධ්‍යාපන කටයුතුවලට මෙන්ම බාහිර ක්‍රියාකාරකම්වලදී දසුන් දක්‍ෂතා දක්‌වා තිබේ. සිංහල සාහිත්‍ය සංගමයේ නිලධාරියකු වශයෙන් ද විද්‍යාලයීය දැනුම මිනුම කණ්‌ඩායමේ නායකයා වශයෙන්ද දසුන් විද්‍යාලයට ඉමහත් කීර්තියක්‌ අත්කර දුන් බව විදුහල්පති උපාලි ගුණසේකර මහතාද පවසයි.

ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්‌ථානය ලැබීමේ ගෞරවය දිනා ගත්තේ ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ තෙපුලි උමේෂා කරුණාවල්ලභ ශිෂ්‍යාවය.

“පුංචි කාලයේ සිටම මගේ ආසාව වූයේ වෛද්‍යවරියක වීමටයි. ඒ අරමුණ මම ජයග්‍රහණය කළා’ යෑයි තෙපුලි ප්‍රකාශ කරන්නේ මහත් අභිමානයකිනි.

තෙපුලිගේ පියා වන උදය කරුණාවල්ලභ කටුනායක ඉංජිනේරු තාක්‍ෂණ ආයතනයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාය. ජයණි නිරෝෂා දසනායක මහත්මිය වන තෙපුලිගේ මව ගම්පහ යසෝදරා දේවි බාලිකා විදුහලේ ආචාර්යවරියකි.

“මම රාත්‍රියට පාඩම් කළේ නැහැ. හැම දිනකම රාත්‍රී 9.30 ට මම නිදා ගත්තා. පාඩම් වැඩ වැඩි වශයෙන් කළේ උදේ. නිරන්තරයෙන් මම පාඩම් කළා. පොත් කියෙව්වා. මට ලොකු ජයග්‍රහණයක්‌ ලැබෙන බව දැන සිටියා’ තෙපුලි පවසන්නීය.

‘හැම වෙලාවෙම පාසලට මුල්තැන දෙන්න කව්රුත් හිතට ගන්න ඕනෑ. අපි හරියට වැඩ කළා නම් නිවැරදි ප්‍රතිඵලය ලැබෙනවාමයි’ පවසන තෙපුලි මේස පන්දු ක්‍රීඩාවෙන් ද දක්‍ෂතා දක්‌වා ඇත. ක්‍රීඩාවේදී ද ඇය ප්‍රකට කර ඇත්තේ අධ්‍යාපනයේදී මෙන්ම කරන දේ හරියට කිරීමේ ක්‍රමය ය.

විදුහල්පතිතුමිය ඇතුළු ගුරුවරුන් මට දුන් සහය විශාලයි. මගේ ජයග්‍රහණයට ඉවහල් වූ විශාල පිරිසක්‌ ඉන්නවා. ඒ සියලුදෙනාටම මම ස්‌තුතිවන්ත වෙනවා.

තෙපුලි උමේෂා ප්‍රථම ස්‌ථානයට පැමිණියේ ජීවවිද්‍යාව හැදෑරූ අයදුම්කරුවන් 46581 ක්‌ අතරිනි.

වාණිජ අංශයෙන් ප්‍රථමයා වීමේ වාසනාව හිමිකර ගැනීමට සමත් වූයේ කුරුණෑගල මලියදේව පිරිම විදුහලේ එµa. එම්. අකිල් මොහොමඩ් ශිෂ්‍යයා ය.

“විභාගය පිළිබඳ බයක්‌ මට තිබුණෙ නැහැ. සැලසුම් සහගත ලෙස සාර්ථකව විභාගයට මුහුණ දුන් නිසා මේ ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වුණා යෑයි අකිල් පවසයි.

ඔහු ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගයට පෙනී සිට මෙවන් ජයග්‍රහණයකට හිමිකම් කීමට හැකි වීම විශේෂත්වයකි. සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් වාණිජ විෂයධාරාව යටතේ විභාගයට පෙනී සිටි සංඛ්‍යාව 60187 කි.

‘එදිනෙදා සියලු පාඩම් වැඩකටයුතු ඒ ඒ දිනවලට අවසන් කළා. නමුත් මෙතරම් විශාල ජයග්‍රහණයක්‌ ලැබෙයි කියා සිතුවේ නැහැ. මම බලාපොරොත්තු වුණේ දිස්‌ත්‍රික්‌ ජයග්‍රහණයක්‌” යෑයි ද අකිල් කීවේය.

උසස්‌ පෙළ විභාගයේදී අයදුම්කරුවන් වැඩිම පිරිසක්‌ පෙනී සිටින කලා විෂය ධාරාවෙන් මෙවර ප්‍රථම ස්‌ථානයට පත් වීමට කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ ජීවා නයනමාලි සමත් වූවාය. ඒ…. අයදුම්කරුවන් 99303 දෙනෙක්‌ පරාජය කරමිනි.

අරමුණක්‌ ඇතිව කටයුතු කිරීමෙන් අපිට අපේ ඉලක්‌ක වෙත යා හැකි යෑයි ජයග්‍රහණයෙන් උදම්ව සිටින ජීවා පවසන්නීය.

‘මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවෙ කුරුණෑගල බෝයගනේ මහා විද්‍යාලයෙන්. මලියදේව විදුහලට ඇතුළත් වූයේ උසස්‌ පෙළ සඳහා බෝයගනේ විදුහලේදී වගේම මලියදේව විදුහලේදීත් විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්‌ඩලය, සහෝදරියන් මට විශාල වශයෙන් උදව් කළා. පාසලේ ඒ ඒ විෂය භාර ගුරු ‘භවතුන් සවස්‌ වරුවෙ අමතර පන්ති පවා පවත්වමින් ඉගැන්වීම් කළා. මට මෙවැනි ජයග්‍රහණයක්‌ ලැබීමට ඒ ගුරුවරුන්ගෙන් ලැබුණු පිටිවහල අති මහත්” යෑයි පවසන ජීවා නයනමාලි ශිෂ්‍යාව සිය ජයග්‍රහණය පිළිබඳව නිහතමානි සතුටක්‌ භුක්‌ති විඳින්නීය.

“ආත්ම විශ්වාසය ජීවිතයට ගොඩාක්‌ වැදගත් වෙනවා. ජීවිතයට ඉලක්‌කයක්‌ තිබිය යුතුයි. ඒ ඉලක්‌කයට අපි වැඩ කරන්න ඕනෑ”යෑයි ඇය පවසන්නේ ඉදිරියේදී විභාගවලට මුහුණ දෙන දරුවන්ට ඔවදනක්‌ වශයෙනි.

චිත්‍ර කර්මයට උපන් හපන්කම් දක්‌වන ඇයගේ ඉදිරි අපේක්‍ෂාව වන්න් ද නිර්මාණකරණයෙන් ඉදිරියට යැමය.

“මම ඒ ඉලක්‌කයත් කොහොම හරි ජයග්‍රහණය කරනවා” නයනමාලි පවසන්නේ දැඩි ආත්ම විශ්වාසයකිනි.

ඇයගේ පියා වන කේ. ඒ. රංජිත් මහතා වඩු කාර්මිකයෙකි. ඔහුට සිය දියණියගේ ජයග්‍රහණය දරාගත නොහැක.

“අපිට මොන කරදර බාධක තිබුණත් දුවගේ ඉගෙනීමේ කටයුතුවලට බාධාවක්‌ වෙන්න ඉඩ තිබ්බෙ නැහැ. දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අපිට විශාල කැප කිරීමක්‌ කරන්න සිද්ධ වෙයි” රංජිත් මහතා පවසයි. ඒ පියාගේ බලාපොරොත්තුව වන්නේ කිසිවකු හෝ ඉදිරියේදී සිය දියණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් උපකාර කරනු ඇති කියාය.

උසස්‌ පෙළට අලුතින් හඳුන්වා දුන් ඉංජිනේරු තාක්‍ෂණවේදය විෂ්‍ය ධාරාව යටතේ උසස්‌ පෙළ විභාගයට සිසුන් මෙවර මුහුණ දුන්නේ ප්‍රථම වරටය. මෙම විෂය ධාරාව යටතේ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 7882 දෙනෙක්‌ අතරින් ප්‍රථම ස්‌ථානයට පත්වීමට මාතලේ සාන්ත තෝමස්‌ විදුහලේ ශානක අනුරාධ සමරකෝන් ශිෂ්‍යයා සමත් විය.

“මේ ජයග්‍රහණය මම බලාපොරොත්තු වුණා. ඒ අරමුණ හා අධිෂ්ඨානය ඇතුවයි විභාගයට මුහුණ දුන්නේ” යෑයි ශානක ප්‍රකාශ කරයි. සිය මව්පියන් විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්‌ඩලය මේ ජයග්‍රහණය පසුපස යෝධ සෙවණැලි සේ සිටින බව ද ඔහු පවසයි.

ඉංජිනේරු තාක්‍ෂණය, තාක්‍ෂණය සඳහා විද්‍යාව හා තොරතුරු තාක්‍ෂණය යන විෂයයන් හැදෑරූ ඔහු ලබාගෙන ඇති ඉසෙඩ් අගය 3,487 කි. ඔහුගේ පියා වන එස්‌. එම්. වෝහාරතිස්‌ස මහතා මාදිපොළ රජයේ රෝහලේ ඖෂධ සංයෝජකයකු ලෙස සේවය කරන අතර මව වන ස්‌වර්ණලතා මානින්ගමුව මහත්මිය මාතලේ දිස්‌ත්‍රික්‌ ඉඩම් පරිහරණ සැලසුම් කාර්යාලයේ කලමනාකරණ සේවයේ නිරත වෙයි.

උසස්‌ පෙළට අලුතින් හඳුන්වා දුන් ජෛව පද්ධති තාක්‍ෂණවේදය විෂයධාරාව යටතේ විභාගයට පෙනී සිටි බණ්‌ඩාරවෙල ධර්මපාල විදුහලේ වාසනා නවෝදනී ශිෂ්‍යාව දිවයිනෙන්ම ප්‍රථම ස්‌ථානයට පත්වීමේ වාසනාව හිමිකර ගත්තාය. අයදුම්කරුවෝ 4715 දෙනෙක්‌ එම විෂය ධාරාව යටතේ විභාගයට පෙනී සිටියාහ.

“ලංකාවෙන්ම පළමුවැනියා වීමට හැකිවීම මට විශාල සතුටක්‌. ඇත්තටම ලොකු ඉලක්‌කයක්‌ තිබුණා. මේ ජයග්‍රහණය සඳහා මම විශාල කැප කිරීමක්‌ කළා” යෑයි වාසනා පවසයි.

“මගේ මව පියා, විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්‌ඩලය සමග මා සහභාගි වූ අතර පන්තිවල ගුරු මහත්ම මහත්මීන් මේ ජයග්‍රහණය පසුපස සිටිනනවා. අපේ පාසලේ තාක්‍ෂණ විද්‍යාගාරය තවම ඉදිවෙමින් පවතිනවා. එවැනි තත්ත්වයකදී තමයි මට මේ ජයග්‍රහණය ලැබුවේ.

පොදු විෂය ධාරාව යටතේ විභාගයට පෙනී සිටි රත්නපුර සීවලි මැදි විදුහලේ බුද්ධික චතුරංග කරුණාරත්න ශිෂ්‍යයා දිවයිනෙන්ම පළමු වැනියා බවට පත්ව සිටියි. අයදුම්කරුවෝ 4038 දෙනෙක්‌ එම විෂය ධාරාව යටතේ පෙනී සිටියහ.

තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ඉදිරියට යැමට සිය අපේක්‍ෂාව යෑයි බුද්ධික පවසයි.

මම පළමුවැනියා වීම ගැන හිතාගන්නත් බැහැ. මට ඒ ගැන බලාපොරොත්තුවක්‌ තිබුනේ නැහැ. මම එදා චෙස්‌ තරගයකින් ජයග්‍රහණය කළ දිනයේ තාත්තා මාව කර උඩ තියාගෙන දිව්වා. ඒත් මේ සතුට බෙදාගන්න තාත්තා අද අපි අතර නැහැ” ඔහු කීවේ කඳුළු පිරි දැසිනි.

ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් අපි සුබ පතමු.

නිලන්ත මදුරාවල
– Divaina