යුද හමුදාව ප්‍රතිසංවිධානය කිරීමට ඇමරිකාව ඉදිරිපත් වීම – USA to re-organize Sri Lanka Army

0
599
usa-officials

හමුදාපතිවරයා ඇමරිකානු සහකාර ආරක්‍ෂක ලේකම්වරියවූ අමි සිරයිට්‌ හමුවූ අවස්‌ථාව.

ඇමරිකා එක්‌සත් ජනපදයේ අග්නිදිග ආසියානු කලාපය භාර සහකාර ආරක්‍ෂක ලේකම්වරිය වූ අමි සිරසිට්‌ පසුගිය 17 දා මෙරටට පැමිණියාය. ඇය මෙරටට පැමිණියේ ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවේ අනාගත කටයුතු විමර්ශනය කිරීමටය.

ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ මෙවන් ක්‍රියාදාමයක්‌ සිදු වන්නේ මුල්වරටය.

බ්‍රිතාන්‍ය ඊළාම්ජාලය පවසන්නේ ඇමරිකානු ආරක්‍ෂක කටයුතු භාර නිලධාරිනිය ශ්‍රී ලංකාවට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා ගැන හමුදා බලධාරීන් සමඟ සාකච්ඡා කළ බවයි. අමි සිරයිට්‌ මෙරටට පැමිණීමට පෙර එක්‌සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපතිනි සමන්තා පවර්ද මෙරටට පැමිණියේ ශ්‍රී ලංකාව ජිනීවා යෝජනාව ප්‍රකාර කටයුතු කර තිබේද? යන්න විමර්ශනය කිරීමටය.

උතුරට ගිය සමන්තා පවර්ට මහ ඇමැති විග්නේශ්වරන් ඇතුළු ද්‍රවිඩ දේශපාලකයන් පැවසුවේ ශ්‍රී ලංකා රජය චෝදනාවක්‌ නැතිව ද්‍රවිඩ දේශපාලන සිරකරුවන් රඳවාගෙන ඇති බවයි.

ද්‍රවිඩ දේශපාලකයන්ගේ ප්‍රකාශය ඇසූ සමන්තා පවර් දේශපාලන සිරකරුවන් යෑයි හඳුන්වන කොටි ත්‍රස්‌තයන් වසර හයක්‌ තිස්‌සේ රඳවාගැනීම ගැන මවිතය පළකළ බවද වාර්තා විය.

එහෙත් ඇමරිකානු බලධාරීන් ත්‍රස්‌ත සැකකරුවකු වූ බ්‍රිතාන්‍ය ජාතික ශේකර් අමර් ගුවන්තනාවෝබේ සිරකඳවුරේ රඳවාගෙන සිටියේ චෝදනා රහිතවය. වසර 13 කට පසු අමර් නිදහස්‌ කළ ඇමරිකානු බලධාරීන් ඒ ගැන සමාව අයෑද සිටියේ නැත. එසේම ඇප්ගන් කුන්දුෂ් රෝහලට බෝම්බ හෙළීමෙන් 45 ක්‌ මරුමුවට පත්විය. එය අත්වැරැද්දක්‌ බව ඇමරිකානු හමුදා ප්‍රධානියා කියා සිටියේය. කුන්දුෂ් රෝහලට බෝම්බ දැමීම යුද අපරාධයක්‌ බව මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් පවසනු ලැබීය.

එහෙත් ඇමරිකාවට එරෙහිව යෝජනාවක්‌ හෝ යුද අපරාධ චෝදනා එල්ල වූයේ නැත.

යුද අපරාධ චෝදනා ගැන හඬනැගූ සමන්තා පවර් ඇමරිකාව විසින් ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙළීම ගැනත් වියට්‌නාමයට ඒජන්ට්‌ ඔරේන්-a නමැති විෂවායුව යෙදවීම ගැනත් වගකිවයුතු යෑයි කියන්නේ නැත.

වියට්‌නාමයට බී.52 ප්‍රහාරක යානාවලින් බෝම්බ දමන ලෙස නියෝග කළේ හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් හෙන්රි කීසියන්ජර්ය.

කාම්බෝජයට හා ලාඕසය, ඉරාකය, ලිබියාව යන රටවලට එල්ල වූ බෝම්බ ප්‍රහාර වලින් සිවිල් වැසියන් දසදහස්‌ ගණනක්‌ මරුමුවට පත්විය. මේ පසුබිම මැද යුද අපරාධ චෝදනා ගැන වගකිවයුතු බවට සමන්තා පවර් මෙරට ආරක්‍ෂක බලධාරීන්ට උපදෙස්‌ දීමට ඉදිරිපත් වීම විහිළුවක්‌ නොවේද?

සමන්තා පවර් මෙරටින් පිටව ගොස්‌ වැඩිකලක්‌ ගතවීමට මත්තෙන් අමි සිරයිට්‌ මෙරටට පැමිණියාය.

ඇය ශ්‍රී ලංකාවේ හමුදා බලධාරීන් සමඟද සාකච්ඡා කළේ ශ්‍රී ලංකා හමුදාවේ කටයුතු නඟාසිටුවීමට අදාළ කරුණු ගැන නොව යුද අපරාධ චෝදනා ගැන වගවීම සම්බන්ධවය.

ඊට ඇමරිකානු තානාපති අමුල් කේශාන්ද සහභාගි විය. එහෙත් ශ්‍රී ලංකාවේ හමුදාව ප්‍රතිසංවිධානය කිරීමට මෙම ඇමරිකානු නිලධාරීන්ට හිමිකමක්‌ තිබේද?

කොටි පැරදවිය නොහැකි බව පැවසුවේ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ය. එහෙත් පසුගිය රජය බ්ලේක්‌ට අවනත නොවී වන්නි මෙහෙයුම දියත් කර කොටි පරාජය කළේය. දැන් වන්නි මෙහෙයුම යුද අපරාධ මෙහෙයුමක්‌ බවට හංවඩු ගසා එම මෙහෙයුමට උර දුන් හමුදා නායකත්වයට දඬුවම් කිරීමට ඇමරිකාව සූදානම් එකී ඇමරිකානු මෙහෙයුමට උතුරු මහ ඇමැති විග්නේශ්වරන්ද දායක වී තිබේ. පසුගියදා උතුරේ පැවැති රාජ්‍ය නොවන සංවිධාන මහා සමුළුවක්‌ ඇමතූ විග්නේශ්වරන් යුද අපරාධ සිදුකළ අයට අනුකම්පාවක්‌ දක්‌වන්නේ නැතැයි කියා සිටියේය.

මේ අතර අමි සිරයිට්‌ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සමඟද සාකච්ඡා පවත්වා ඇතැයි හෙළි විය.

එම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් යුද අපරාධ චෝදනා ගැන ක්‍රියාකරන්නේ කෙසේදැයි ඇගෙන් විමසා තිබේ.

මේ අන්දමට ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්‌තානයේ යුද මෙහෙයුම් දියත් කළේ ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධාන බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන්ද?

ශ්‍රී ලංකාවේ හමුදාව ප්‍රතිසංවිධානය කිරීම ගැන විමර්ශනය කිරීමට පැමිණි අමි සිරයිට්‌ ඉන්දියානු හමුදාවේ කටයුතු නිරීක්‍ෂණය කිරීමට ඉන්දීය රජය ඉඩ දෙනු ඇතැයි සිතිය හැකිද?

වන්නි මෙහෙයුම අවසන් වීමට මසකට පෙර ඇමරිකානු ගොඩබිම් යාත්‍රාවක්‌ මුලතිව් වෙරළට ගෙන්වා ප්‍රභාකරන් ඇතුළු කොටි හමුදා නායකයන් 160 ක්‌ බේරාගැනීමටත් ඔවුන්ට විදේශ රටක රැකවරණ දීමටත් සැලසුම් කළේ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ය.

මේ අතීතය ඇමරිකානු සහකාර ලේකම් අමි සිරයිට්‌ට අමතක වූයේද?

මේ හැර වන්නි මෙහෙයුමින් පසු ආරක්‍ෂක හමුදාව සොයාගත් අවි ආයුධ අතර ඇමරිකානු රජයට අයත් ප්‍රහාරක අවි හා සන්නිවේදන උපාංගද විය.

ඇමරිකානු හමුදාව භාවිත කරන එම් 16A ප්‍රහාරක අවි සහ කෘගර් පණිවුඩ හුවමාරු යන්ත්‍රද කොටි සතුව තිබුණි.

එහෙත් අද වන තෙක්‌ මේ අවි හා උපාංග කොටින්ට ලැබුණේ කෙසේදැයි ඇමරිකානු රජය විමර්ශනය කළේ නැත. කොටින්ට එරෙහිව යුද වැදීම සඳහා බෙල් හෙලිකොප්ටරවලට අමතර කොටස්‌ දීම ප්‍රතික්‍ෂේප කළේ ඇමරිකාවයි. යාපනය අර්ධද්වීපය මුදාගැනීමට දියත්වූ රිවිරැස මෙහෙයුම සඳහා බ්ලැක්‌ හෝර්ක්‌ ප්‍රහාරක හෙලිකොප්ටර් ලබාදීමද ප්‍රතික්‍ෂේප කළ ඇමරිකාව ශ්‍රී ලංකාවට කෆීර් ප්‍රහාරක යානා අලෙවි නොකරන ලෙස ඊශ්‍රායලයට නියෝග කර තිබුණි.

කීර්ති වර්ණකුලසූරිය

– Divaina