මේ දරුපෙම මැනිය හැක්‌කේ කවර මිම්මකින්ද? – Koggala crocodile attack for poor father

0
697
koggala-nalin

දෙමාපියන්ට මෙලොව ඇති ඉහළම වස්‌තුව වනුයේ දරුවන්ය. තම ලෙයින් මෙලොව ජනිත වූ එම දරුවන් වෙනුවෙන් ඔවුන් නොකරන දෙයක්‌ නොමැත. මවුපිය සෙනෙහසේ අරුමය වන්නේ එයයි. අප මේ කතා කරන්නට යන්නේ පිය සෙනෙහසේ අපූර්වත්වය පිළිබඳ අනුවේදනීය පුවතකි. එනම් තම පුතාගේ උපන් දිනය වෙනුවෙන් කේක්‌ එකක්‌ මිලදී ගැනීම සඳහා මුදල් සෙවීමට ගොස්‌ කිඹුලෙකුට බිලි වූ පියකු ගැන කතාවකි.

අහංගම ගුරුකන්ද ග්‍රාමයේ පදිංචි නලින් විවාහ වූයේ මීට වසර කිහිපයකට පෙරය. නලින් වෘත්තියෙන් ධීවරයකු වූ අතර බිරිඳ ගෘහණියක වූවාය. විවාහ වී වසර කිහිපයකින් පසු නලින්ගේ කැදැල්ලට දරු පැටව් දෙදෙනෙක්‌ එකතු වූහ.

ඉන් පසු නලීන්ගේ එකම ලෝකය වී තිබුණේ දරු පැටව් දෙදෙනාය. සමහර දිනවල රැකියාවට පවා නොගොස්‌ ඔහු දරු සුරතල් බැලුවේය. වෙනදා කඩපිලට ගොස්‌ යහළුවන් සමඟ කාලය ගත කරන නලින් එයද නවතා දැමුවේ තම සුරතල් දරු පැටව් දෙදෙනා නිසාය. සමහර යහළුවෝ නලීන්ට විහිළු කළේ “දරුවන් නිසා අපිව අමතක කරා” කියමින්ය.

කාලය කෙමෙන් ගෙවී ගියේය. නලීන්ගේ දරු පැටව් දෙදෙනාද ලොකුමහත් වූහ. ඒ සමඟම ගෙදර අගහිඟකම්ද වැඩි විය. ධීවර රැකියාවෙන් නලීන්ට ලැබෙන්නේ සොච්චම් මුදලකි. එය පවුලක්‌ ජීවත් කිරීමට කිසිසේත් ප්‍රමාණවත් නොවේ. නමුත් නලින් කිසි දිනක තම දරු පැටව් දෙදෙනාව එක වේලක්‌ හෝ කුස ගින්නේ තැබුවේ නැත. මුහුදු යැමට නොහැකි කාලවල කුලී වැඩක්‌ හෝ කර මුදල් උපයා ගත්තේ බිරිඳ හා දරු පැටව් ගැන සිතාය.

නලින්ගේ නිවස තුළ එන්න එන්නම ආර්ථික ප්‍රශ්න වැඩිවිය. කරන්න කිසි දෙයක්‌ නොමැති කල ඔහුගේ බිරිඳ දැඩි තීරණයක්‌ ගත්තාය. ඒ තම ආදර ස්‌වාමියාගෙන් සහ දරු දෙදෙනාගෙන් වසර ගණනකට වෙන්වී විදේශගත වීමටය. මුලින්ම නලින්ට එම අදහස පැවසූ අවස්‌ථාවේ ඔහු තදින්ම එයට විරුද්ධ විය. ඔහු පැවසුවේ “මම හිඟාකා හරි කන්න බොන්න දෙන්නම් දරු පැටව් දෙදෙනා බලාගෙන ගෙදරට වෙලා ඉන්න” යනුවෙනි.

කාලයක්‌ ගතවෙද්දී එය ප්‍රායෝගික නොවන බව නලින්ට වැටහුණි. දරු පැටව් දෙදෙනා ඉල්ලන දේවල් දීමට නොහැකි වූ අවස්‌ථාවල දහස්‌ වාරයක්‌ නලින් මැරි මැරී ඉපදුණේය. මේ දුක තවත් දරා ගැනීමට බැරි වූ නිසා අකමැත්තෙන් හෝ තම ආදරණීය බිරිඳ රට යෑවීමට නලින් කැමැති විය.

නලින්ගේ බිරිඳ ගෘහ සේවිකාවක්‌ වශයෙන් විදේශ ගතවූයේ දැනට මාස දෙකකට පමණ පෙරය. ඉන් පසු දරු දෙදෙනාගේ සියලු බර පැටවුණේ නලින්ගේ කර මතය. ඔහු දැන් වෙනදාටත් වඩා උනන්දුවෙන් දරු පැටව් දෙදෙනා ගැන සොයා බලයි. ඔහු රැකියාවට පවා ගියේ ඉඳහිටය.

බිරිඳ රට යැම ගැන නලින් සිටියේ ලොකු දුකකිනි. නමුත් දරු දෙදෙනා ගැන සිතා ඔහු එම දුක තුනී කර ගත්තේය. නිතරම නලින් කල්පනා කළේ බිරිඳ දුක්‌ විඳිමින් හම්බකරන සල්ලි සතයක්‌වත් අනිසි ලෙස වියදම් නොකර දරු දෙදෙනාගේ අනාගතය සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ඉතුරු කිරීමටය.

නොවැම්බර් 25 නලින්ගේ ජීවිතයේ අමතක නොවන දවසකි. ඒ නලින්ගේ දෙවැනි දරුවා වන රම්‍ය උදාර මධුසංක මෙලොව එළිය දුටු දිනය වන බැවිනි. සෑම වසරකම ඔහු තම දරු දෙදෙනාගේ උපන් දිනය හැකි උපරිම අයුරින් සැමරූවේය.

මෙවර යෙදී තිබුණේ බාල පුතුගේ පස්‌වැනි උපන් දිනයයි. එය සැමරීම සඳහා නලින් අතේ සතයක්‌වත් තිබුණේ නැත. බිරිඳ විදේශගතවී තවමත් ගතවී ඇත්තේ මාස දෙකක්‌ වැනි කෙටි කාලයකි. එම නිසා ඇයගෙන් මුදල් ඉල්ලීමටද නලින් අකමැති විය.

පුංචි උදාර පියාගෙන් ඇසුවේ මෙවර උපන් දිනයට අරන් දෙන්නේ මොනවාද කියාය. එවිට නලින්ගේ දෙනෙතට කඳුළු ඉනුවේ නිරායාසයෙනි. ඒ තමා අතේ තඹ සතයක්‌වත් නොමැති බව ඔහු දන්නා නිසාය. නමුත් නලීන් එය පුංචි දරුවාට පෙන්වූයේ නැත. තම බඩපිස්‌සා තුරුළු කරගත් නලින් ආදරයෙන් පැවසුවේ හෙට උපන් දිනයට පුතා කැමැති ඕනෑම දෙයක්‌ අරන් දෙන බවයි.

නලින් දස අතේ කල්පනා කළේ පුතාගේ උපන් දිනයට කේක්‌ කෑල්ලක්‌ ගන්නේ කෙසේද කියාය. මුදල් අත මාරුවක්‌ කර ගැනීමටත් හරි හමන් කෙනෙක්‌ නොසිටියේය. ඔහු අවසානයේ තීරණයක්‌ ගත්තේය. ඒ කොග්ගල කලපුවට ගොස්‌ ඉස්‌සන් ඇල්ලීමටය.

දරු දෙදෙනාම ආදරයෙන් වැළඳගත් නලින් එදින දහවල ඔවුන්ගෙන් සමුගත්තේ ඉක්‌මනින් නැවත නිsවස බලා එන බව පවසමින්ය. නමුත් තමා මේ යන්නේ දරුවන්ගෙන් සදහටම සමුගෙන බව නලින් නිකමටවත් නොහිතන්නට ඇත. නමුත් නලින් මේ යන්නේ දරුවන්ගෙන් වෙන්වී අවසන් ගමන බව මාරයා පමණක්‌ දැන සිටින්නට ඇත.

බාල දරුවාගේ උපන් දිනයට කේක්‌ එකක්‌ මිලදී ගැනීමට කොග්ගල කලපුවේ ඉස්‌සන් ඇල්ලීමට ගිය නලින්ට එම රාජකාරියේ නිරත වීමට හැකි වූයේ සුළු මොහොතකි. කලපුවේ සැඟවී සිටි යෝධ මිනීකන කිඹුලකු නලින්ව ඩැහැ ගත්තේය. ඌගෙන් බේරීමට නලින් උපරිම උත්සාහ කළත් සාර්ථක වූයේ නැත. අවසන් මොහොතේදී පවා මේ පියාට සිහිවන්න ඇත්තේ තම ආදරණීය දරු පැටව් දෙදෙනා වන්නට ඇත.

පියා ගෙදර නොපැමිණීම නිසා කලබල වූ දරු දෙදෙනා එය ප්‍රදේශවාසීන්ට පැවසූහ. ඔවුහු සියලු දෙනා එකතුවී නලින්ව මුළු කොග්ගල කලපුව ප්‍රදේශයම පීරා සෙව්වත් එය ව්‍යාර්ථ විය. නලින් ගැන කිsසි තොරතුරක්‌ සොයා ගැනීමට නොහැකි විය. පසුදින, එනම් නලින්ගේ බාල පුතාගේ උපන් දිනය යෙදී තිබුණ 25 වැනිදා ද ප්‍රදේශවාසීහු මුළු ප්‍රදේශයම පීරා නලින්ව සෙව්වේය. අවසානයේ ඔහුගේ සිරුර කොග්ගල කලපුවේ අයිනක තිබී සොයා ගැනීමට හැකිවිය. ඒ වන විටත් මිනී කන කිඹුලා නලින්ගේ ඉනෙන් පහළ කොටස සම්පූර්ණයෙන්ම කා දමා තිබුණි.

තම දරුවාගේ උපන් දිනය වෙනුවෙන් උපන්දින කේක්‌ එකක්‌ ගැනීමට මුදල් නොමැති කම නිසා එය ගැනීමට මුදල් සෙවීම සඳහා මිනීකන කිඹුලන් ගැවසෙන කොග්ගල කලපුවට ඉස්‌සන් ඇල්ලීමට ගොස්‌ තම ජීවිතය කිඹුලකුට බිලිවූ මෙම පියාගේ දරු සෙනෙහස පිළිබඳව මැනිය හැක්‌කේ කිනම් මිම්මකින්ද?

ගයාන් සමරසිංහ
– Divaina