ජේ.ආර්. ප්‍රේමදාස චන්ද්‍රිකා මහින්ද සමග හැප්පුණු සෝභිත හිමි – Ven Sobitha Thero who clashes with executive presidents

0
900
Sobitha-Thero
ජනවාරි අටවැනිදා වූ විප්ලවයේ රජුන් තනන්නා වූයේ මාදුළුවාවේ සෝභිත හිමිය. මෛත්‍රීපාල සිරිසේන පමණක් නොව චන්ද්‍රිකා කුමාරතුංග ජනපති පුටුවේ වාඩි කරවීම සඳහා උන්වහන්සේ රජුන් තනන්නාගේ භූමිකාව නිරූපණය කළ සේක. එවැනි යුග පෙරළියකට නායකත්වය දුන් උන්වහන්සේ යටත් පිරිසෙන් නිකායක මහනායක අනුනායක පදවියක්වත් නොදැරූහ. එනමුත් නූතන භික්ෂුන් වහන්සේ අතර නිල නොවන සංඝරාජ මාහිමියෝ වූයේ උන්වහන්සේය. අයුක්තියට එරෙහිව උන්වහන්සේ ජේ.ආර්., ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද රාජපක්ෂ යන ජනපතිවරුන් හතරදෙනා සමග හැප්පුණෝය. මේ නිසා උන්වහන්සේ හිරේ විලංගුවේ වැටුණහ. නින්දා අපහාසවලට ලක් වූහ. ගුටි කෑහ. එනමුත් ඒ කිසිදු දෙයකින් උන්වහන්සේගේ ගමන නතර කිරීමට නොහැකි විය. උන්වහන්සේ අපවත් වීමට වසර දෙකකට පමණ පෙරදී ලක්බිම ඉරිදා සංග්‍රහයට සිය ජීවිත කතාව හෙළි කළේ මෙසේය.ඔබවහන්සේගේ උපන් දිනය..?
එක්දහස් නමසිය හතළිස් දෙකේ මැයි විසිනව වැනිදා.

ගම කොහේද..?
හෝමාගම, මාදුළුවාව
මාදුළුවාව රටේ ප්‍රසිද්ධ වුණේ ඔබවහන්සේ නිසාද…?
මට පෙර මේ ගමෙන් පැවිදි වූ භික්ෂුවක් සිටියා. උන්වහන්සේ මාදුළුවාවේ ශ්‍රී ඉන්ද්‍රජෝති හාමුදුරුවෝ, නෑකම අනුව උන්වහන්සේ මගේ මහප්පා. බොරැල්‍ලේ මඩ වගුරක්ව තිබූ ඉඩමක ශ්‍රී ජයවර්ධනාරාමය ගොඩනැගුවේ උන්වහන්සේ තමයි. පරණ උදවිය තවමත් ජයවර්ධනාරාමයට කියන්නේ මාදුළුවාවේ පරණ පන්සල කියලා.
පවු‍ලේ තොරතුරු කොහොමද…?
මගේ තාත්තා දොන් පීරිස් අප්පුහාමි. ඔහු ගොවියෙක්. අම්මා කුරුවිට ආරච්චිගේ කරලිනා. මට වැඩිමහලු සොයුරෙකු හා බාල සොයුරියක් සිටියා. මා පවු‍ලේ දෙවැනියා.
ඔබවහන්සේගේ ගිහි නම…?
පතිරගේ දොන් රත්නසේකර
ඇයි මහණ වෙන්න හිතුවේ…?
ඒ කාලයේ කෝට්ටේ නාග විහාරාධිපතිව වැඩිහුන්නේ මුල්‍ලේරියාවේ රේවත හාමුදුරුවෝ. උන්වහන්සේට ලොකු ඕනෑකමක් තිබුණා. ඉන්ද්‍රජෝති නායක හාමුදුරුවන්ගෙන් පසුව මාදුළුවාවේ පරපුරෙන් තවත් අයෙකු පැවිදි කිරීමට. අපේ ගෙදරට වැඩම කළ රේවත හාමුදුරුවෝ පැවිදි කරන්න ඉල්ලුවේ මාවයි.
ඒ ඉල්ලීමට ගෙදර අය මොනවද කිව්වෙ…?
මාව පැවිදි කරන්න තාත්තා කැමැති වුණා. ඒත් අම්මා තදින් විරුද්ධ වුණා. කෙසේ නමුදු අන්තිමේ දී මා මහණ වුණා.
එතකොට වයස කීයද…?
අවුරුදු දහතුනයි. මම පැවිදි වුණේ එක්දහස් නවසිය පනස් පහේදී.
පිරිවෙන් අධ්‍යාපනය ලැබුවේ කොහෙන්ද…?
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙන්.
මෙරට භික්ෂු දේශපාලනයේ තිඹිරිගෙය ලෙස සැලකෙන විද්‍යාලංකාර පිරිවෙනෙන් ලැබූ ආභාසය නිසාද ඔබවහන්සේ දේශපාලනයට යොමු වුණේ.?
පනස් හයේ පෙරළියට ආරම්භය දුන්නේ විද්‍යාලංකාර පිරිවෙනෙන්. මේ පසුබිම නිසා මා නිරායාසයෙන්ම දේශපාලනයට යොමු වුණා. එතකොට මට වයස අවුරුදු පහළොවක් විතර ඇති. ඒ කාලයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක, පිලිප් ගුණවර්ධන, ඇන්.ඇම්. පෙරේරා නිතරම අපේ පිරිවෙනට එනවා. අපි ඔවුන්ගේ කතාවලට ඉතා ආසාවෙන් සවස් දුන්නා. විශේෂයෙන් ඇන්.ඇම්. ඔහු කොහේ හරි රැලියක කතා කළොත් මම ඒ කතාව අහන්න යනවා.
කවුද වඩාත්ම කැමැති දේශපාලනඥයා..?
ඒ කාලයේ පටන්ම මම ආචාර්ය ඇන්.ඇම්.පෙරේරාට කැමැතියි.
ඇන්.ඇම්. කැමැතිම දේශපාලනඥයා වුණාට සරසවියේදී ඔබවහන්සේ වැඩි නැඹුරවක් දැක්වූයේ ශ්‍රී ල.නි.පයටයි.
ඔව්, විදේ‍යාදය විශ්වවිද්‍යාලයේ (වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර) ශ්‍රී.ල.නි.ප. ශාඛාවක් පිහිටුවීමට මූලිකත්වය ගත්තේ මමයි. මම මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරයට පත් වුණා. එදා මා සමග ශ්‍රීලනිප දේශපාලනය කළ ප්‍රධානම ශිෂ්‍යයා තමයි ආරිය බු‍ලේගොඩ. ඔහුත් මමත් හැදෑරුවේ ඉතිහාසය ගෞරව උපාධියයි.
ජනපති මහින්ද රාජපක්ෂත් ඒ කාලයේ සේවය කළේ විදේ‍යාදය විශ්වවිද්‍යාලයේ නේද?
ඔහු මට වඩා වයසින් බාලයි. එතුමා අපේ සරසවියේ පුස්තකාලයේ පුස්තකාල සහකාරවරයකු ලෙස සේවය කළා. ශ්‍රීලනිප දේශපාලනය නිසා අපි කිට්ටුවෙන් ඇසුරු කළා.. ඒ කාලයේ ඔහු මගේ සමීප මිතුරෙක්.
විශ්වවිද්‍යාලයේ ඔබවහන්සේ ගත කරපු කාලය ඉතා කටුක පරිච්ජේදයක් වූ බව මම අසා තිබෙනවා?
මම විශ්වවිද්‍යාලයේ යන කාලයේ තමයි නායක හාමුදුරුවෝ අසනීප වුණේ. උන්වහන්සේ දහතුන් අවුරුද්දක් හිටියේ ලෙඩ ඇඳේ.
මේ නිසා පන්සල පාළුවට ගියා. ෙචෙත්‍යය ගරා වැටුණා. ආවාස ගේ වහළ හිල් වෙලා වැස්සට තමෛන්න පටන් ගත්තා. ඉගෙන ගන්න අතරතුරේදී මට මේ සියලු කටයුතු ගැන සොයා බලන්න වුණා. හිමිදිරි උදෙන්ම අවදි වූ මොහොතේ සිට බොහෝ වැඩ කරන්න වුණා. මුළු පන්සලම ඇමදුවා. නායක හාමුදුරුවන්ගේ දාන මාන ලෑස්ති කරලා උන්වහන්සේ සෝදා පවිත්‍ර කරලා තමයි මම විශ්වවිද්‍යාලයට ගියේ.
ඔබවහන්සේගේ නම රටේ මුලින්ම ප්‍රසිද්ධ වූයේ විශ්වවිද්‍යාලයේ දේශපාලන කටයුතු නිසාද එසේ නැතිනම් ධර්ම දේශනා නිසාද…?
ධර්ම දේශනා නිසා. මම බණ කියන්න පටන් ගත්තේ අවුරුදු පහළොවේ පටන්.
ධර්ම දේශනාවලදී ඔබවහන්සේ අනුගමනය කරන්නේ තමන්ටම ආවේණික වූ  අමුතුම ‍ශෛලියක්. කොහොමද ඒ ශෛලිය හදා ගත්තේ.
පුංචි කාලයේ සිටම මම දක්ෂ කථිකයෙක්. විවාද කණ්ඩායමේ නායකයෙක්. ඒ නිසා ධර්ම දේශනා කියලා මා අමුතුවෙන් පුහුණු වූයේ නෑ.
ජනප්‍රිය භික්ෂූන් වහන්සේට නොයෙකුත් තනතුරු හා නම්බුනාම තිබුණට ඉන් එක්කවත් ඔබවහහන්සේට නැත්තේ ඇයි…?
උගත්කමින් දිනාගත්තු උපාධිය හැර කිසිදු නම්බු නාමයක් පාවිචිචි කරන්නේ නෑ කියලා මම හිතාගත්තේ විශ්වවිද්‍යාලයෙන් පිට වූ දවසේමයි. අපේ සංඝ සභාව (සියම් මහා නිකායේ කෝට්ටේ කල්‍යාණි සාම ශ්‍රී ධර්ම මහා සංඝ සභාව) අවස්ථා ගණනාවකදීම මට තනතුරු නම්බුනාම පිරිනමන්න හැදුවා. ඒත් ඒ සෑම අවස්ථාවකදීම මා එම යෝජනා ගෞරවනීය ලෙස ප්‍රතික්‍ෂේප කළා. මට මගේ නම විතරක් තිබුණම හොඳටම ඇති. මොකටද ඔය නම්බුනාම. මට නම් වටින්නේ මගේ නමයි.
හැත්තෑ එකේ කැරැල්‍ලේ තීරණාත්මක කාර්යයක් ඉටු වූයේ විදේ‍යාදය විශ්වවිද්‍යාලයේ සංඝාරාමය තුළයි. විප්ලවකාරී අදහස් දැරූ ඔබවහන්සේ සරසවියේදී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වුණේ නැද්ද…?
මම ජවිපෙට සම්බන්ධ වූයේ නෑ. නමුත් රහස් ‍පොලීසිය හිතුවේ මම ජවිපෙකාරයෙක් කියලා. මේ හේතුව නිසා හැත්තෑ එකේ කැරැල්ල වෙලාවේදී මටත් මරණ තර්ජන එල්ල වුණා.
ඒ කාලයේ ඔබවහන්සේට බණ්ඩාරනායක පවුල සමග තිබුණේ සමීප ඇසුරක්….?
මැතිනිය තමයි මට මුලින් හඳුනාගන්න ලැබුණේ. එතුමිය ඒ කාලයේ පටන් මිය යන තුරාම ගෙදර දානයක් ලෑස්ති කළොත් මට වඩින්න කියල අනිවාර්යයෙන්ම ආරාධනා කරනවා. මැතිනිය බලයට පත්වූ වෙලාවේ විතරක් නොවේ ආණ්ඩුව පරාදවෙලා තිබු අවස්ථාවලදිත් එතුමිය නොයෙකුත් දේවල්වලට මගේ අවවාද අනුශාසනා ඇසුවා. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව ඇතුළු නොයෙකුත් අවස්ථාවලදී මා ඇය සමග එක්ව විරෝධතා පැවැත්වූවා.
ඔබවහන්සේට චන්ද්‍රිකා බණ්ඩාරනායක හඳුනා ගැනීමට ලැබුණේ මොන කාලයේද…?
මැතිනිය දන්න කාලයේ පටන්ම එතුමියත් දන්නවා. නමුත් කිට්ටුවෙන් වැඩ කළේ අනූ හතරේදි ඡන්දය ඉල්ලපු වේලාවේදී. චන්ද්‍රිකා ජනාධිපති ධුරයේ දිවුරුම් දීලා කෙළින්ම ආවේ නාග විහාරයටයි. අගමැති, ජනාධිපති වූ මුල් දවස්වල හැම ප්‍රශ්නයකදීම එතුමිය මට කතා කරලා අහනවා මොකද කරන්නේ කියලා.
එහෙම ළඟින් ඇසුරු කළ චන්ද්‍රිකා ඔබවහන්සේ සමග විරසක වූයේ ඇයි…?
ආණ්ඩුව කරන වැරැදි වැඩ ගැන මා කළ විවේචන එතුමියට රිස්සුවේ නෑ.
චන්ද්‍රිකා විතරක් නොවේ මහින්ද රාජපක්ෂයත් ඔබ වහන්සේගේ පැරැණි මිතුරන් වුණාට ඒ හැමදෙනාම ටික කාලයක් යන විට තරහ වෙන්නේ ඇයි…?
මේ කා සමගත් මගේ පෞද්ගලික තරහක් නෑ. නමුත් ආණ්ඩුව වැරදි වැඩ කරන විට, ඒ වැරැදි පෙන්වා දී විවේචනය කරනවාට මේ කවුරුවත් කැමැති නෑ.
ඔබ වහන්සේ ජේ.ආර්. ජයවර්ධන ජනපතිවරයාගේ පාලනයට එරෙහිව දැඩිව පෙනී සිටි භික්ෂුවක් වූයේ ඇයි?
ඔහු තමයි මේ විනාශයේ ආරම්භකයා. රට විනාශ වෙන බව දැන දැනත් ඇස් කන් පියාගෙන ඉන්න බැරි නිසා. ජේ.ආර්.ගේ පාලනයට එරෙහිව නැගී සිටීමට මා තීරණය කළා. ඒ කාලයේ අප සිංහල බල මණ්ඩලය නමින් සංවිධානයක් ආරම්භ කළා. මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමි ඇතුළු උගත්, විද්වත් පිරිසක් තමයි ඊට නායකත්වය දුන්නේ. ජේ.ආර්.ගේ පාලනයට එරෙහිව අප සත්‍යග්‍රහ කළා. පා ගමන් ගියා. විරෝධතා රැස්වීම් පැවැත්වූවා.
ජේ.ආර්. ජයවර්ධන ජනපතිවරයා ඔබවහන්සේගේ විරෝධතාවලට දැක්වූ ප්‍රතිචාරය කුමක්ද?
ඔහු ඉතා දරුණු ආකාරයට අපගේ විරෝධතාව මර්දනය කළා.
ගැටඹේ පන්සලට කටුකම්බි ගැහුවෙත් ඔය කාලයේ නේද?
ඒකට මුල් වූයේ සිංහල බලමණ්ඩලයේ පැවැති රැස්වීමකදී වූ සිද්ධියක්. අපි කොළඹ සිට අනුරාධපුරට ගොස් ආපසු නුවර දක්වා ඒමට පෙළපාළියක් සංවිධානය කළා. ඒ කාලයේ ගැටඹේ රාජෝපවනාරාමාධිපතිව වැඩ හිටියේ ලබුදූවේ සිරිධම්ම හාමුදුරුවෝ. උන්වහන්සේ රැස්වීමේදී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා තදින් විවේචනය කරලා ඔහුට “ද්‍රෝහියා” කියලා චෝදනා කළා. ඒ කතාවට ජේ.ආර්. තදින් කිපුණා. එය කීවේ වැරදීමකින් කියා කතාව ඉල්ලා අස්කරගන්න කියලා මැති ඇමැතිවරුන් පණිවුඩ අරන් පන්සලට ආවා. හාමුදුරුවෝ කීවා ඒ කතාව වරදින්නේ නෑ. මම තවත් දහ සැරයක් වුණත් ජේ.ආර්.ට “ද්‍රෝහියා” කියනවා කියලා.
ජේ.ආර්. සිරිධම්ම හාමුදුරුවන්ගෙන් පලිගන්න ආණ්ඩුවේ මැර වැඩවලට ප්‍රසිද්ධ ඇමැතිවරයකු මැරයන් සමග ගැටඹේට එව්වා. ඔවුන් පන්සල වට කරලා කටු කම්බි ගැහුවා. මේ නිසා භික්ෂූන් වහන්සේට දානය ගන්නවත් ක්‍රමයක් තිබුණේ නෑ. සතියකට පස්සේ තමයි කටුකම්බි වැටවල් ගලවාගෙන මැරයෝ ගියේ. මේ සිද්ධියෙන් නතර නොවූ ජයවර්ධන ජනපතිවරයා අපට පහර දෙන්න මැරයන් පවා එව්වා.
ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කළ කාලයේත් ඔබවහන්සේ මෙවැනි තර්ජනවලට මුහුණ දුන්නා නේද?
දහතුන් වැනි සංශෝධනයට එරෙහිව මුලින්ම රැස්වීම පැවැත්වූයේ විද්‍යාලංකාර පිරිවෙනේ. ඊට පස්සේ අපි පිටකොටුවේ බෝධීන් වහන්සේ අභියස සත්‍යග්‍රහයක් පටන් ගත්තා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කොටුව දුම්රිය‍පොළ ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කළා. ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව රටම ගිනි අරන්. ඒත් ජේ.ආර්. විධායක බලයෙන් ගිවිසුම අත්සන් කරන්න තීරණය කළේ ඇඳිරි නීතිය දමලා.
ආණ්ඩුව ‍පොලීසිය දමලා නාග විහාරය වට කරලා වෙඩි තැබුවා. පිටකොටුවේ තිබූ අපේ සත්‍යග්‍රහයට කඳුළු ගෑස් ගැහුවා. කඳුළු ගෑස් කකා මම පිටකොටුවේ බෝධිය ඉදිරිපිට වාඩි වුණා. ඒ පාර ‍පොලීසිය වෙඩි තැබුවා. බැටන් ‍පොලුවලින් ගැහුවා. මරණ බියෙන් මිනිස්සු සී සී කඩ දිව්වා. ඔවුන්ගේ සෙරෙප්පු, සපත්තු පිටකොටුවේ පාරවල් පුරාම ගොඩ ගැහිලා. එනමුත් මිනිස්සු ගුටි කාගෙන බොරැල්‍ලේ කැම්බල් පිටිය දක්වා පා ගමනින් ආවා. අප නතර කරන්න බැරි තැන ආණ්ඩුව ඇඳිරි නීතිය දැම්මා. දැන් මොකක්ද කරන්නේ.මිනිසුන්ට ගෙවල්වලට යන්න බෑ. අපි ඔක්කොම මරදාන මාලිගාකන්දේ මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරයට ගියා. දවස් තුනක් හිටියේ මහා බෝධියේ. ආණ්ඩුව අපිව අඩපණ කරන්න වතුර කැපුවා. ලයිට් කැපුවා.
ඒ දවස් තුනේ ඔබවහන්සේ වැළඳුවේ කොහොමද?
දානේ නෑ. දවස් තුනේම නිරාහාරවයි හිටියේ. සමහරු බනිස්, පාන් වගේ කෑම ගෙනත් බෙදුවා. ආණ්ඩුවෙන් මොන තර්ජන ආවත් අප අපේ සටන නතර කළේ නෑ. ආණ්ඩුව පැය තුනකට ඇඳිරි නීතිය ඉවත් කළා, අතරමං වූ මිනිසුන්ට ගෙවල්වලට යන්න කියලා. ඒ වෙලාවේ අප බොරැල්‍ලේ බෝධිය දක්වා යළිත් වරක් පා ගමනක් ලෑස්ති කළා. ඒ රැස්වීම ඉවර වෙලා පන්සලට යනකොට මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ ‍පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඒ වේලාවේ මට දිනේෂ් ගුණවර්ධන හා රත්නසිරි වික්‍රමනායක කීවා ඔබවහන්සේ පන්සලට යන්න එපා ‍පොලීසියෙන් අත්අඩංගුවට ගනී කියලා. ඒ නිසා මම නාග විහාරයට යන්නේ නැතිව හැංගුණා. ආණ්ඩුවෙන් ‍පොලීසිය දමලා මාව හොයපු නැති තැනක් නෑ. සමහර ගෙවල්වල සිවිලිම පවා ගලවලා මම හැංගිලා ඉන්නවාද කියලා පරීක්ෂා කළා. නමුත් ‍පොලීසියට මාව අල්ලා ගන්න බැරි වුණා.
ඔබවහන්සේ කොහේද හැංගිලා හිටියේ?
අඳුනන දොස්තර මහත්තයකුගේ ගෙදර. මම ඔහුගේ ගෙදරට ගිය විට දොස්තර මහත්තයා කීවා ඔන්න හාමුදුරුවනේ මම මාසයක් පුරා කන්න කෑම ෆි්‍රජ් එකට දාලා තියෙන්නේ. දානය ලෑස්ති කරගන්න. මම වත්තට යනවා කියලා. දොස්තර මහත්තයා ගෙදරින් ගියේ ගේට්ටුවට පිටතිනුත් ඉබ්බෙක් දාලා. මේ නිසා කවුරුවත් සැක සිතුවේ නෑ. හැමදෙනාම හිතුවේ දොස්තර මහත්තයා ගෙදර වහලා දාලා වත්තට ගියා කියලා.
සැඟවී හුන් ඔබවහන්සේ ‍පොලිස් අත්අඩංගුවට පත්වූයේ කොහොමද?
හැමදාමත් හැංගිලා ඉන්න බෑනේ. ඕන දෙයකට මුහුණදෙනවා කියලා හිතාගෙන නාග විහාරයට ගියා. වැඩි වේලාවක් ගියේ නෑ ‍පොලීසියෙන් ඇවිත් මාව අත්අඩංගුවට ගත්තා.
කොහේටද රැගෙන ගියේ?
වරාය ‍පොලීසියේ හිර මැදිරියට. ඒකේ හිටියේ මහා අපරාධකාරයෝ, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදියෝ. බලන් යනකොට ඒ අය නරකම නෑ. මට ගරු සැලකිලි දැක්වූවා. නිදාගන්න බූරු ඇඳක් දුන්නා. ඒත් ඒ ඇඳේ සැතපෙනවා කියන්නේ වෙනම යුද්ධයක්. මකුණෝ පිරිලා. මදුරුවෝ වැහි වැහැලා. හිරේ ඉන්න කොට පුදුම දුකක් වින්දේ. උදේම මාව රැගෙන යනවා. හවස්වනතුරා ප්‍රශ්න කරලා ආපසු වරාය ‍පොලීසියට රැගෙන යනවා. සතියේ දවස් හතේම දිනචර්යාව වූයේ ඔය ටිකයි. පැය තුන්සීයකට වඩා ‍පොලීසිය මගෙන් ප්‍රශ්න කළා.
ඔබවහන්සේ හිරෙන් නිදහස් වුණේ කොහොමද?
දවසක් ‍පොලීසිය මාව හිරෙන් එළියට අරන් ප්‍රශ්න කරන්න කොහේටද රැගෙන ගියා. වෙනදාට හිටපු නිලධාරීන් වාඩිවෙලා සැර වැර දමල මගෙන් ප්‍රශ්න කළාට එදා ආපු නිලධාරියා මා ඉදිරිපිට වාඩි වුණෙත් නෑ. ඔබවහන්සේ ඔය විදියට ඉන්නකොට මම කොහොමද වාඩි වෙන්නේ කියලා ඔහු ඇසුවා.
කවුද ඒ නිලධාරියා?
ඔහු ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් නිලධාරියෙක්. ඔහුගේ  පියා මියගියේ එංගලන්තයේදී. ‍පොලිස් නිලධාරියා මට කීවා අපේ තාත්තාගේ හත් දවසේ බණට වැඩම කළේ ඔබවහන්සේ. මට ඒවා මතකයි. මේ විදියට ඔබ වහන්සේට දුක්විඳින්න දෙන්න බෑ. මම ‍පොලිස්පතිවරයා සමග කතාකරලා තීරණයක් දෙන්නම් කියලා. පසු දින ඇවිත් ඔහු මට කීවා මම ඔබ වහන්සේගේ වගකීම ගන්නවා කියලා ‍පොලිස්පතිට ‍පොරොන්දු වුණා කියලා. මගේ විදේශ ගමන් බලපත්‍රය ඉල්ලුවා. ඊට පස්සේ මාව මුදාහැරලා නාග විහාරයට රැගෙන ගියා. ටික දවසක් යනතුරු මම පන්ස‍ලේ හිටියේ නිවාස අඩස්සියේ. සමහර දවස්වලට ‍පොලීසියෙන් ඇවිත් ප්‍රශ්න කළා. කාලයක් යන විට මට සම්පූර්ණ නිදහස ලැබුණා.
ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව පැවැති විරෝධතාවලදී ඔබවහන්සේ වෙඩි වැදී අපවත් වූ බවට ආරංචියක් පැතිරුණේ කොහොමද?
ගිවිසුමට එරෙහිව පැවැති විරෝධතා ආණ්ඩුව මර්දනය කළේ ඉතා දරුණු ආකාරයටයි. කොටුවේ දුම්රිය‍පොළ ඉදිරිපිටදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඉලක්ක කරලා ප්‍රහාර එල්ල වුණා. පිටකොටුව හා කොටුව කඳුළු ගෑස් දුමාරයෙන් පිරිලා ගියා. මැතිනියට එළියට යන්න ඉඩක් තිබුණේ නෑ. පාරේ යන බසයක නග්ගලා තමයි ඇය රොස්මිඩ් නිවසට රැගෙන ගියේ.
මේ අතරේ පිටකොටුවේදී ‍පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මමත් මැරුණා කියලා කතාවක් ප්‍රචාරය වුණා. ඒ කතාව ඇසූ දායකයෝ හිතවත්තු දහස් ගණනක් කෝට්ටේ නාග විහාරයට ආවා. ඒ අය හිතුවේ මම මැරිලා කියලා. ඔවුන් අතර නොසන්සුන් තත්ත්වයක් ඇතිවුණා. ‍පොලීසිය නාග විහාරයටත් වෙඩි තැබුවා. කීපදෙනෙක් එහිදී මියගියා.
ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළ වේලාවේ පමණක් නොවේ වෘත්තීය සමිති ප්‍රශ්නවලදීත් ඔබවහන්සේ ජේ.ආර්. සමග හැප්පුණා.
අසූවේ ජූලි වර්ජනය කම්කරුවන්ගේ අයිතිවාසිකමක්. නමුත් ජනාධිපතිවරයාට ඒ ගැන  තැකීමක් තිබුණේ නෑ. ඔහු වර්ජනය කළ සේවකයන් අස් කළා. ඒ දවසේ පටන් අද දක්වාම මම ජූලි වර්ජකයන්් වෙනුවෙන් පෙනී සිටිනවා.
තවත් වරකදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන් ඇතුළු අප හෙදි වර්ජනයකට නායකත්වය දුන්නා. ඒ වෙලාවේ ජේ.ආර්. අපට අපහාස කරන්න කීවා ගෑනුන්ගේ ගවුම් ගැන මට හාමුදුරුවන් එක්ක කතා නෑ කියලා. නමුත් අප දිගටම වැඩ වර්ජනයට නායකත්වය දුන්නා. මාසයක් පමණ නාරාහේන්පිට අභයාරාමයේ උයාපියාගෙන කෑවා. අපට මොන අපහාස කළත් අන්තිමට ජේ.ආර්.ට හෙද ඉල්ලීම් දෙන්න සිද්ධ වුණා.
ඔබ වහන්සේට ජේ.ආර්. ජයවර්ධන ජනපතිවරයා මුණගැහිලා තියෙනවාද?
භික්ෂුන් වහන්සේට බලපාන ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න අපි එතුමා මුණගැහුණා. ඒ කාලයේ අප තරුණ භික්ෂුන් වහන්සේලා. ඒ වෙලාවේ එතුමා කීවා “මම මහානායක හාමුදුරුවන්ට කියලා තියෙනවා. හාමුදුරුවන්ගේ ප්‍රශ්න තියෙනවනම් මට ඉදිරිපත් කරන්න කියලා. එහෙම නැතිව ඔබවහන්සේලා කියන දේවල් කරන්න බෑ” කියලා.
ඔබවහන්සේ ජේ.ආර්. සමග තරහද?
මට එතුමා සමග පෞද්ගලික ප්‍රශ්නයක් තිබුණේ නෑ. නමුත් මම අයුක්තිය අසාධාරණය දැක දැකත් නිශ්ශබ්දව සිටින්නේ නෑ. අයුක්තිය අසාධාරණය දැන දැනත් නිශ්ශබ්දව සිටීම භික්ෂුවකගේ උරුමය නොවේ. ටිබෙට් ජාතික එස්. මහින්ද හාමුදුරුවෝ කීවානේ අතක් පයක් ඔළුවක් වෙන වෙනම කපා දැමුවත් අයුක්තියට අත ඔසවන්න එපා කියලා.
ඒ වුණාට හාමුදුරුවනේ ආණ්ඩු සමග එක්ව කටයුතු කරන භික්ෂුන් වහන්සේ ඕනෑතරම් සිටිනවා නේද?
පක්ෂ දේශපාලනය භික්ෂුවකට ගැළපෙන්නේ නෑ. පනස් හයේ සිට තමයි ඔය විනාශය පටන් ගත්තේ. ආණ්ඩුවලින් මටත් ඕනෑතරම් වරදාන වරප්‍රසාද ලැබුණා. විශේෂයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවෙන්. නමුත් පයට පෑගෙන දූවිලි පිඬක් තරමටවත් මා ඒවා ගණන් ගත්තේ නෑ. සුනාමියෙන් අසරණ  වූ ජනතාවට ගෙවල් හදාගන්න ඉඩමක් ගැනීම වැනි ‍පොදු වැඩකට ඇරෙන්න මම දේශපාලනඥයන්ගෙන් තඹ සතයක ප්‍රයෝජනයක් ගත්තේ නෑ. ගන්නේත්  නෑ. ඒක මගේ ප්‍රතිපත්තියයි.
ඔබවහන්සේට රූපවාහිනී ගුවන්විදුලි බණ තහනම්ද?
ජේ.ආර්.ගේ සිටම රූපවාහිනියත් ගුවන්විදුලියත් මට තහනම් ප්‍රදේශ. චන්ද්‍රිකාගේ මහින්දගේ කාලයේ මුල් මාස කීපයේදී නම් බණට වඩින්න කීවා. ඒත් වැඩි දවසක් යන්න කලින් පරණ දේම වුණා.
ජේ.ආර්.ගෙන් පසු පැමිණි ආර්. ප්‍රේමදාස ජනපතිවරයාගේ සමයේදී ඔබවහන්සේට ප්‍රශ්නයක් වුණේ නැද්ද?
ප්‍රේමදාස ජනාධිපතිවරයා මා ගැන කොපමණ සැලකිලිමත් වුණාදැයි කියනවානම් මම යන යන හැමතැනකටම රහස් ‍පොලීසියත් එව්වා. පන්සල් බිමෙත් රහස් ‍පොලීසිය. බණකට වැඩියත් මගදිගට රහස් ‍පොලීසියෙන් පන්නනවා. බණ කියන්න ගත්තාම ඒක පටිගත කරන්න රහස් ‍පොලීසියත් එනවා.  කෙසේ නමුත් රහස් ‍පොලීසිය මගේ පස්සේ පන්නන එක අවසානයේ මමම නතර කර ගත්තා.
ඒ කොහොමද?
මම ජනාධිපති ආර්. ප්‍රේමදාස මුණගැහුණා.
කොහේදීද?
අලුත්කඩේ සුචරිතයේදී.
ඔබවහන්සේ ජනාධිපතිවරයාට මොනවද කීවේ?
මහත්තයෝ, රහස් ‍පොලීසිය මගේ පස්සෙ පන්නන එක මට හරි වධයක්. මම වරදක් කරලා තියෙනවා නම් මට චෝදනා ඉදිරිපත් කරලා නඩු දාන්න කීවා. මම වැරැදි කරලා තියෙනවා නම් හිරේ දමලා දඬුවම් කරන්න කියලාත්, මම ජනාධිපතිවරයාට කීවා. ඊට පස්සේ රහස් ‍පොලීසිය මගෙ පස්සේ පැන්නුවේ නෑ.
ලලිත් ඇතුළත්මුදලිගේ අවමංගල උත්සවයේදී ඔබවහන්සේගේ මෝටර් රථය විනාශ කළෙත් ප්‍රේමදාසගේ  කාලයේ නේද?
ලලිත් ඇතුළත්මුදලිගේ අවමංගල උත්සවයේ මට අනුශාසනාවක් තිබුණා. ඔහුගේ මරණය දේශපාලන ඝාතනයක් නිසා බොරැල්ල කනත්තේ තිබුණේ උණුසුම්කාරී තත්ත්වයක්. ජනතාව පෙළපාළියකින් තමයි කනත්තට ආවේ. පාංශු කූලය දීලා ඉවරවෙලා මම අනුශාසනාව පටන් ගත්තා. ‍පොලිස් කැරලි මර්දන ඒකකය කඳුළු ගෑස් ගැහුවේ ඒ වේලාවේදී. මටත් කඳුළු ගෑස් වැදුණා. කනත්තෙන් එළියට යන්න විදියක් නෑ. ‍පොලීසියෙන් ගහනවා. ප්‍රධාන දොරටුව අවහිර කරලා. එළියට යන්න බැරිම තැන මම කනත්තේ තාප්පය උඩින් පැන්නා. කනත්ත කිට්ටුව නතර කරලා තිබූ මගේ මෝටර් රථය ළඟට ගිහින් බලන කොට මැරයන් ඒකට ගල් ගහලා කුඩු පට්ටම් කරලා තිබුණා. ඔය මගේ වාහනය කුඩුපට්ටම් කළ දෙවැනි අවස්ථාවයි. බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී මැරයන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රට හා මට පහරදුන් වේලාවෙත් මගේ වාහනයට  ගල්වලින් ‍පොලුවලින් ගහලා විනාශ කළා. ලලිත්ගේ අවමංගල උත්සවයට පැමිණි ජනගඟෙන් බොරැල්ල පිරිලා තිබුණේ. වාහනේ විනාශකර තිබූ නිසා යන්න විදියක් නැතිව මමත් පයින්ම පන්සලට යන්න  පිටත් වුණා. අතරමගදී මාව හඳුනාගත් අයෙකු වාහනයේ නග්ගගෙන පන්සලට ඇරලුවා.
ජේ.ආර්., ප්‍රේමදාස පමණක් නොවේ චන්ද්‍රිකා බණ්ඩාරනායකට එරෙහිවත් ඔබවහන්සේ පාරට බැස්සා.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කියන්නේ මා ඉතා ළඟින්ම ආශ්‍රය කළ නායිකාවක්. එනමුත් රටේ නායකයා ළඟින් ඇසුරු කළා කියලා ඔහු හෝ ඇය කරන වැරදි වැඩ අනුමත කරන්න බෑනේ.
දේශපාලනයේ පමණක් නොවේ යුද්ධය පැවැති කාලයේ සෙබළුන් අතරත් ඔබවහන්සේ බොහෝ ජනප්‍රිය චරිතයක්.
මම හමුදා කඳවුරුවලට ගිහින් සෙබළුන්ගේ සුබසාධන කටයුතු ගැන සොයා බැලුවේ අසූව දශකයේ පටන්. ඒ කාලයේ උතුරු නැගෙනහිර හමුදා කඳවුරුවලට ගියාම සෙබළුන්ට දේශන පවත්වන්න කියලා මට ආරාධනා ලැබුණා. යුද්ධය තිබූ කාලයේ අප ගියේ අවදානම් ගමන්. සමහර ගමන්වලදී ජීවිතය බේරා ගත්තේ අනූනවයෙන්. එක දවසක් අපි සෙබළුන්ට අවශ්‍ය භාණ්ඩ රැගෙන ලොරියකින් ගියා. නැවත කොළඹ  එන්න පිටත් වූයේ රාත්‍රියේ. අතරමගදී මහ කැලයක් මැද ලොරිය කැඩුණා. කැ‍ලේ තියෙන්නේ කොටි මායිමේ. ඉටිපන්දමක්වත් දල්වන්න විදියක් නෑ. කොටි දකීවි කියලා බියට. කරන්න කිසිම දෙයක් තිබුණේ නෑ. අපි ලොරියේ ලයිට් නිවලා රැය පහන් වනතුරා ලොරියේ නිදා ගත්තා. උදේ තමයි ලොරිය හදාගෙන කොළඹට ආවේ.
එක්දහස් නවසිය අසූ හතේ මැයි දිනයට ඔබවහන්සේ සම්බන්ධ වුණේ කොහොමද?
ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව එක්දහස් නවසිය අසූ හතේ අපේ මැයි රැලිය තහනම් කළා. ඒ වෙනුවට ආණ්ඩුව කීවේ මැයි විසි දෙවැනිදාට මැයි දිනය සමරන්න කියලා. ලෝකේ කොහේවත් ඔය වගේ විහිළු වුණේ නෑ. දකුණට මැයි දින තහනම් කළාට උතුරේ මැයි දිනවලට තහනමක් නෑ. මේක හරියට හතරබිරි කතාවක් වගේ. ආණ්ඩුවට එහෙම මැයි රැලි තහනම් කරන්න බෑ. ඒ නිසා අපි තීරණය කළා. මව්බිම සුරැකීමේ සංවිධානය ලෙස මැයි දිනය සමරන්න.
ඔබවහන්සේගේ මැයි දිනය කොහේද තිබුණේ?
නාරාහේන්පිට අභයාරාමයේ. මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවොත් මව්බිම සුරැකීමේ සංවිධානයේ සිටියනේ. උන්වහන්සේගේ පන්සල තමයි අභයාරාමය. මැයි දිනය තහනම් කර තිබුණ නිසා අපි ආශීර්වාද පූජාවක් ලෑස්ති කළා. හැඩිගල්‍ලේ පඤ්ඤාතිස්ස මුරුත්තෙට්ටුවේගම ආනන්ද හා මමයි එය සංවිධානය කළේ.
මැයි පළමුවැනිදා මොකද වුණේ.
අපි පන්සලට එනකොට ‍පොලිස් නිලධාරීන් සිය ගණනක් පන්සල වට කරලා හිටියා. ඔවුන් සියලු දෙනාගේම අතේ තුවක්කු. ‍පොලිස් අධිකාරි ගෆූර් තමයි ඔවුන්ට නායකත්වය දුන්නේ. ඔහු භයානක ‍පොලිස් නිලධාරියෙක්. අපි පස්වරු දෙකයි තිහට පමණ රැස්වීම පටන් ගත්තා. භික්ෂූන් වහන්සේලා ඇතුළු ගොවීන් කම්කරුවන්, ශිෂ්‍යයන් ඇතුළු විශාල පිරිසකගෙන් පන්සල් බිම පිරිලා තිබුණා. අපි පන්සිල් දීලා පිරිත් දේශනා කළා. ඊට පස්සේ මුලින්ම කතාව තිබුණේ මටයි.
කතාවේදී ඔබවහන්සේ ආණ්ඩුව තදින් විවේචනය කළා?
අසූවේ වැඩ වර්ජන කළ අයගේ රැකියා අහිමි කිරීම ගැන මා කතා කළා. ඒ වගේම අපේ මැයි රැලිය වට කරලා තුවක්කු, බැටන් ‍පොලු, කඳුළු ගෑස් ් රැගත් කැරලි මර්දන ඒකකයක්් යෙදීම ගැන මා විවේචනය කළා. අපේ සාමකාමී මැයි දිනය නතර කරන්නේ නැතිව උතුරට ගිහින් ඔය තුවක්කු ත්‍රස්තවාදීන්ට පත්තු කරන්න කියලා මා ‍පොලිස් අධිකාරී ගෆූර්ට කීවා. මගෙන් පසුව කථිකයෝ කීප දෙනෙක් කතා කළා. අපි කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් කළේ නෑ.
එතකොට ‍පොලීසිය වෙඩි තැබුවේ මොන වෙලාවේදීද?
රැලිය අවසන් වෙලා ජනතාව සාමකාමීව එළියට යනකොට ‍පොලීසිය පහර දෙන්න පටන් ගත්තා. ඔවුන් කීවේ රැලියට ආපු අය ගල්වලින් ගැහුවා කියලා. නමුත් එහෙම දෙයක් වුණේ නෑ. අපට පහර දීමේ මාර්ගයක් හදා ගැනීමට ‍පොලීසිය සංවිධානාත්මක පිරිසක් ලවා ගල් දෙක තුනක් ගස්සවා ගත්තා. ‍පොලීසිය පන්සලට කඳුළු ගෑස් ගැහුවා. ජනතාව සීසීකඩ දිව්වා. ඒ සමග ඔවුන් අපට වෙඩි තැබුවා. බැටන් ‍පොලුවලින් පහර දුන්නා. මගේ ඔළුව උඩින් උණ්ඩ යනවා. වෙඩි තියන එක නතර කරන්න කියලාභික්ෂූන් වහන්සේලා ඉල්ලුවත් එය ඉටු වුණේ නැහැ. ‍පොලිස් වෙඩි පහරින් බොහෝ පිරිසක් තුවාල ලැබුවා. මට මතකයි වෙඩි වැදුණු එක් අයකුගේ හිස පැ‍පොල් පලුවක් වගේ දෙකට පැලිලා තිබුණා. අපි සිවුරේ පටියක් ඉරලා ඔහුගේ හිස එකතු කරලා බැන්දා. හැඩිගල්‍ලේ පඤ්ඤාතිස්ස හාමුදුරුවන්ගේ වාහනයේ තුවාලකරු දාගෙන රෝහලට ගෙනයන්න හැදුවත් ‍පොලීසිය ඉඩ දුන්නේ නෑ. ඔහු මැරුණේ හාමුදුරුවන්ගේ අත් දෙක උඩ.
එතකොට ඔබවහන්සේ සරත් ෆොන්සේකා වෙනුවෙනුත් පෙනී සිටියා.
එතුමාටත් වුණේ අසාධාරණයක්. කේ.පී.ලා කරුණා අම්මාන්ලා එළියේ එතුමා ඇතුළේ. පුරවැසියෙකු ලෙස ඔහුට දේශපාලනය කරන්න අයිතියක් තිබෙනවා. අප ඒ අයිතියට ගරු කළ යුතුයි. අනෙක් කාරණාව එතුමා යුද්ධය අවසන් කරන්න අණ දුන් යුද හමුදාපතිවරයා.
ඔහු වෙනුවෙන් පෙනී සිටියාට ඔබවහන්සේට ප්‍රශ්න ඇති වුණේ නැද්ද?
මට මරණ තර්ජන ආවා. මට ආණ්ඩුවලින් තවම නොලැබුණේ මරණය විතරයි.
භික්ෂූන් වහන්සේට වැඩියෙන්ම වටිනා දේ තමයි චරිතය. එනමුත් ඔබ වහන්සේ  කලින් කලට නොයෙකුත්  කතා පැතිරෙනවා නේද?
ඒක මේ රටේ සිරිතක්නේ. බැණුම් අහන්න බැරිනම් අපහාස විඳින්න බැරිනම් ගුටි කන්න බැරිනම් සමාජ සේවයට එන්න එපා කියලා අනගාරික ධර්මපාලතුමා කීවානේ. ලෝකේ හැමදාමත් ඇත්ත වෙනුවෙන් පෙනී සිටි මිනිස්සුන්ට ලැබුණේ නින්දා අපහසත්  ධර්මපාලතුමාටත් අන්තිමේදී වුණා.  ඒබ්‍රහම් ලින්කන්ටත් ඒ දේ වුණා. ජේසුස් වහන්සේට ඇණ ගැහුවා.
ලෝකයේ ලොකුම සමාජ පරිවර්තනය කළේ බුදුන් වහන්සේ. උන්වහන්සේටත්  කොපමණ අපහාස කළාද?
බුදු දහම අනුව ඕනෑම අයකුගේ අවසාන අරමුණ නිවනයි. නිවන් දැකීම හැර ඔබවහන්සේට වෙනත් බලා‍පොරොත්තුවක් තියෙනවා නම් ඒ මොකක්ද?
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. ඕක තමයි රටට පහත්වූ ලොකුම හෙණේ. මම මැරෙන්න කලින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගැනීම මගේ ලොකුම බලා‍පොරොත්තුවයි.මිහිරි ෆොන්සේකා

– Lakbima