මාදුළුවාවේ සෝභිත හිමි අපවත් වුණේ කොහොමද? – Ven Sobitha Thero

0
832
Sobith-Thero

ගහක් ගලක් වගේ හොඳට හිටපු මාදුළුවාවේ සෝභිත හිමියන්  හදිසියේ අපවත්වූයේ කොහොමද? රට්ටු අහන්නේ එසේය. මීට දහදොළොස් මාසයකට පෙරදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමේ සටනේ තිරය පිටුපස සිටි දැවැන්ත ශක්තිය වූයේ සෝභිත හිමියෝය. දේශපාලන සුළි කුණාටු හමුවේ මහා මේරු පර්වතය මෙන් නොසැලී සිටි උන්වහන්සේගේ හදිසි අපවත්වීම හිතාගැනීමටත් නොහැකිය. හරියට උන්වහන්සේ හොරු අරන් ගියා සේය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේදීත් නිරෝගීව සිටි උන්වහන්සේ එක්වරම රෝගී වූ බව කන වැකුනු බොහෝ දෙනා පුදුමයට පත්වූයේ උන්වහන්සේ ගිලන්වීමට හේතුව කුමක්දැයි නොදැනය. බොහෝ දෙනා නොදැන සිටියත් සෝභිත  හිමියෝ කාලයක සිට රෝගාබාධ කිහිපයකින් පීඩා වින්දෝය. හදවත් රෝගී තත්ත්වයකින් පීඩා විඳි උන්වහන්සේගේ දියවැඩියා රෝගී තත්ත්වයද ඉකුත් කාලයේ උත්සන්නවී තිබුණි.

රෝගාතුරවී සිටි උන්වහන්සේ මුලින්ම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණේ කොඳු ඇට පෙළ ආශ්‍රිතව ඇතිවී තිබූ වේදනාවක් හා ඇවිදින විට හතියක් ඒම නිසාය. නිරන්තරයෙන් නිදිමත දැනීම නිසා උන්වහන්සේ මුලින්ම පරීක්ෂාවට ලක්කරන්නේ විශේෂඥ වෛද්‍ය පද්ම ගුණරත්නය. ඔහු යටතේ රෝහල්ගතවූ උන්වහන්සේ එම්.ආර්.අයි ස්කෑන් පරීක්ෂාවකට ලක්විය. ඉන්පසුව වෛද්‍ය ශාන්ති රාජ් යටතේ “එකෝ පරීක්ෂණයකට” ලක්විය. ඒ හදවතේ ඇති රෝගී තත්ත්වයක් ගැන වෛද්‍යවරු සැක පහළ කිරීම නිසාය.

සෝභිත හිමියන්ගේ හදවත සම්බන්ධයෙන් කළ මූලික වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණේ උන්වහන්සේ මයිට්‍රල් කපාටය නියමිත පරිදි වැසෙන්නේ නැති නිසා හදවතේ රුධිර ගමනාගමනය නිවැරදිව සිදු නොවන බවය.
මේ වන විට උන්වහන්සේගේ හදවතේ රෝගී තත්ත්වය සමගම වකුගඩුවල තත්ත්වයද නරක අතට හැරී තිබුණි. දියවැඩියා රෝගී තත්ත්වය නිසා වකුගඩුවල ආසාදනයක් ඇතිව තිබෙන බව වෛද්‍යවරුන්ගේ නිගමනය විය. ඒ වන විටත් උන්වහන්සේගේ දියවැඩියා තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට නොහැකිවී තිබුණි. දියවැඩියාව පාලනයට අධික ලෙස ඉන්සියුලින් ශරීර ගතකළ යුතුව තිබුණි. අධික ලෙස ඉන්සියුලින් ශරීරගත කිරීම සමග වකුගඩුවල තත්ත්වය තවදුරටත් නරක අතට හැරුණි.
මයිට්‍රල් කපාටයේ තත්ත්වය යථා අතට පත්කිරීමට හෘද රෝග දැඩිසත්කාගාර ඒකකයට සෝභිත හිමියන් ඇතුළත් කළේ ඒ වන විට උන්වහන්සේට ප්‍රතිකාර කරමින් සිටි වෛද්‍යවරිය යටතේමය. හදවත් සැත්කමක් කිරීමට පෙර සෝභිත හිමියන්ගේ ගලනාලය හරහා කැමරාවක් යවමින් ඩී.ඕ.අයි.
පරීක්ෂණයක් කර තිබුණි. ඇන්ජෝග්‍රෑම් පරීක්ෂණයක්ද කළ යුතුව තිබුණි. රුධිරයට ඩයි වර්ගයක් ඇතුළත් කරමින් කරන එම පරීක්ෂණයට සුදුසු මට්ටමක සෝභිත හිමියන් සිටියේ නැත. වකුගඩු නිරෝගී නැති නිසා එවැනි පරීක්ෂණයක් අවදානම් සහගත බව වෛද්‍යවරුන්ගේ නිගමනය විය. දිනෙන් දින වකුගඩු රෝගී තත්ත්වය වැඩිවන විට එය සෘජුවම බලපෑවේ උන්වහන්සේගේ හදවතටය.

මේ අතර සෝභිත හිමියන් ඉක්මනින්ම සැත්කමකට භාජනය කළ යුතුව ඇතැයි වෛද්‍යවරු පවසන්නට වූහ. ලංකාවේ සැත්කම කරනවාද එසේ නැතිනම් ලොව හොඳම රෝහලක් වන සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහ‍ලේ සැත්කම කරනවාදැයි යන්න ගැන වෛද්‍යවරු අතර විවාදයක් ඇතිවූයේ මේ අවස්ථාවේදීය. සෝභිත හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දැඩි අවධානයෙන් සිටි ශාන්ති රාජ්, ප්‍රසාද් කටුලන්ද, ප්‍රියංකර ජයවර්ධන, රුචිර ලැනරෝල් ඇතුළු වෛද්‍ය කණ්ඩායම පැය ගණනාවක් තිස්සේ මේ ගැන විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරන්නට වූහ. සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නද මේ අවස්ථාවේදී මැදිහත්වී තිබුණි. එහෙත් සෝභිත හිමියන්ගේ කැමැත්තවී තිබුණේ ජාතික රෝහ‍ලේදී සැත්කමකට භාජනය වීමටය.

ඒ අනුව සෝභිත හිමියන් ලංකාවේදීම හදවත් සැත්කමකට භාජනය කිරීමට වෛද්‍යවරු තීරණය කළහ. විශේෂඥ වෛද්‍ය අජිත් කරුණාරත්න යටතේ හදවත් සැත්කමට අවශ්‍ය කටයුතු සම්පාදනය වූයේ පුද්ගලික රෝහලකදීය. හදවත් සැත්කමකට පෙර කළ යුතු ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයද කළේ ද මෙම පුද්ගලික රෝහ‍ලේදීය.
මෙම සැත්කම පරිස්සමින් කළ යුතු සැත්කමක් විය. සැත්කම අතරවාරයේදී අධික ‍ලේ වහනයක් සිදුවුවහොත් ඒ සඳහා මුහුණදීමට වෛද්‍යවරු කල් ඇතිවම සූදානම්ව සිටියහ.
පළමු හදවත් සැත්කම අවසන් කළත් තවත් ගැටලුවක් වෛද්‍යවරු හමුවට පැමිණියහ. ඒ සැත්කමින් පසුව සෝභිත හිමියන්ගේ හදවතේ රිද්මය වෙනස්වීමය. හදවතේ රිද්මය යථා තත්ත්වයට පත්කිරීමට නම් හදවතට සම්බන්ධ කරමින් විශේෂිත උපකරණයක් සවි කළ යුතුව තිබුණි. වෛද්‍ය දුනුවිල තවත් සැත්කමක් කරමින් එම යන්ත්‍රය හදවතට සවි කළේ එමගින් හදවතේ රිද්මය යථා තත්ත්වයට පත්කරගැනීමට හැකියාව ලැබෙන නිසාය.

හදවත් සැත්කම්වලින් පසුව සෝභිත හිමියන්ට ඇමයිඩේ‍රා්න් නැමති ඖෂධය දෙන ලදි. එහි අතුරු ප්‍රතිඵලය වන්නේ ශරීරයේ තයිරොක්සීන් ප්‍රමාණය ඉහළ යාමය. එම ඖෂධය ගන්නා ඕනෑම අයෙක්ට මෙම අතුරු ආබාධයට මුහුණදීමට සිදුවේ. සෝභිත හිමියන්ගේ ශරීරයේ තයිරොක්සීන් ප්‍රමාණය අධික ලෙස ඉහළ ගියේය. ඒ අතරම රුධිරයේ සීනි මට්ටමත් අක්‍රමවත් වන්නට විය.

සෝභිත හිමියන් ඇදුම රෝගයෙන් ද පීඩා විඳින්නට ගත්තේ මේ අතරවාරයේදීය. ඇදුම තත්ත්වයට දිය හැකි හොඳම විසඳුම වූයේ දුම් ඇල්ලීමය. ඒ සමගින් ඇදුම රෝගී තත්ත්වයත් පාලනය වූයේ හදවත් රෝගී තත්ත්වයද ක්‍රමයෙන් සුව අතට හරවමිනි. ටික දිනක් ගතවන විට සෝභිත හිමියන්ගේ අවදානම් තත්ත්වය පහව ගියේය. උන්වහන්සේට තනිවම පඩිපෙළක් නැගීමට හැකි තත්ත්වයටම සුව විය. ඒ නිසා වෛද්‍යවරු සෝභිත හිමියන්ට රෝහලින් පිටත්ව යාමට අවසර දුන්හ.
මේ අතර පසුගිය කාලයේදී පුද්ගලික රෝහලකින් සෝභිත හිමියන්ට ආරාධනාවක් පැමිණියේය. ඒ විහාරස්ථානයට ගොස් විවේකයෙන් කාලය ගත කරනවා වෙනුවට රෝහලට ඇතුළත්වී විවේක ගන්නා ලෙසය. ඒ අනුව සෝභිත හිමියෝ සැත්කමට ලක් කළ රෝහලෙන් පිටත්ව ගියසේක. සෝභිත හිමියන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ඉදිරිපත්වී තිබූ රෝහල් බිල ගෙවනු ලැබුවේ ජනාධිපති අරමුදලිනි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ විශේෂ නියෝගයක් මතය.

සෝභිත හිමියන් දෙවැනි පුද්ගලික රෝහලට ගොස් දින හතරකට පහකට පසුව නැවත සැත්කමට ලක් කළ රෝහලට යළිත් ඇතුළත් විය. ඒ සෝභිත හිමියන් විජලනය තත්ත්වයකට ලක්ව සිටීම නිසාය. විජලනයකට ලක්වීමත් ක්ලාන්තය හා සිහිමද ගතිය නිසාත් රෝහලට ඇතුළත් කළ උන්වහන්සේගේ රෝගී තත්ත්වය යථා තත්ත්වයට පත්වූයේ නැවත ප්‍රතිකාර කිරීමෙන් පසුවය.

සෝභිත හිමියන්ට ආහාර ගැනීමේ අපහසුතාවක් ඇතිවූයේ මේ අතරවාරයේදීය. කටහඬ නැතිවී ගොස් ආහාර ගිලීමට නොහැකිවූයේ බෙල්‍ලේ ඇති මාංශ පේශී අක්‍රියවීමෙනි. ඒ සමගම සෝභිත හිමියන්ගේ හිස, පපුව සී.ටී. ස්කෑන් පරීක්ෂණයකට ලක් කර දැඩිසත්කාගාර ඒකකයට ඇතුළු කරන ලදී.
කතා කිරීමට නොහැකිවූ සෝභිත හිමියන්ගේ වම් පෙණහැල්‍ලේ නිව්මෝනියා තත්ත්වයක් ඇතිවී විෂබිජ ආසාදනයකට ලක්විය. ඒ වන විට සෝභිත හිමියන් උණ රෝගයෙන්ද පීඩා විඳිමින් සිටියහ. වකුගඩුවල තත්ත්වයද නරක අතට හැරෙමින් තිබුණි. බෙල්‍ලේ මාංශ පේශි අක්‍රියවීම නිසා පෙණහැල්ලට බටයක් දමා වෙන්ටලින් පරීක්ෂාවක් කළේය. සෝභිත හිමියන්ගේ පෙණහලු වලට රෝහල් ආශ්‍රිතව තිබෙන  ‘ඇසිටිනෝ බැක්ටර්’ නමැති බැක්ටීරියාව ආසාදනයවීම නිව්මෝනියාවට හේතුව බව වෛද්‍යවරු අනාවරණය කරගත්තේ මේ අනුවය.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියත් සෝභිත හිමියන්ගේ තත්ත්වය දිනෙන් දින නරක අතට හැරුණා මිස හොඳ අතට හැරුණේ නැත. සෝභිත හිමියන්ගේ තත්ත්වය බැලීමට කථානායක කරු ජයසූරිය පැමිණ සිටියේ අගමැති රනිල් වික්‍රමසිංහ කළ දැනුම්දීමකට අනුවය. ඒ අනුව සෝභිත හිමියන් වහාම සිංගප්පූරුවේ ‘මවුන්ට් එලිසබත්’ රෝහලට රැගෙන ගොස් ප්‍රතිකාර කළ යුතු යැයි වෛද්‍යවරු යෝජනා කළහ.

සෝභිත හිමියන් සිංගප්පූරුවට රැගෙන යාමට විශේෂිත ගිලන් ගුවන් යානයක් කටුනායකට පැමිණියේ සිංගප්පූරුවේ සිටමය. වෛද්‍ය උපුල් ගුණසේකරත් වෛද්‍ය කටුලන්දත් සෝභිත හිමියන් සමග සිංගප්පූරුව බලා පිටත්ව ගියේ ඔවුන් දෙදෙනා සෝභිත හිමියන්ගේ ප්‍රතිකාර ගැන මුලසිටම මැදිහත්වූ වෛද්‍යවරු දෙදෙනෙක් ලෙසය. සෝභිත හිමියන් සිංගප්පූරුවට රැගෙන යන විටත් සිටියේ සිහි නැතිවය. එහෙත් ‘මවුන්ට්  එලිසබත්’ රෝහ‍ලේදී කළ ප්‍රතිකාරවලින් පසුව සෝභිත හිමියන්ගේ තත්ත්වය යහපත් අතට පත්වන ලකුණු පෙන්නුම් කළත් එක් වරම වකුගඩු රෝගී තත්ත්වය, පෙණහලුවල ආසාදනය, හදවත යන අභ්‍යන්තර අවයවවල ඇතිවූ දැඩි රෝගී තත්ත්වය නිසා කම්පනයක් ඇතිවිය. එහි ප්‍රතිඵලය වූයේ කිසිවෙක් බලා‍පොරොත්තු නොවූ මොහොතක, උන්වහන්සේගේ සේවය රටට වැඩියෙන්ම දැනෙන මෙහොතක දැයෙන් සමුගෙන යාමය.

ඡායාරූප : ප්‍රියන්ත ගමගේ
– Lakbima